මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

267

අලි කතාව

මට දැන් දවස් ගානක ඉඳලා රෑට නින්ද යන්නෙ නෑ. ගෙයි දොරට කවුද තඩිබානවා මට ඇහෙනවා. ටොක්… ටොක්… ටොක්… දැනුත් ඇහෙනවා සද්දෙ මට. රෑ – දවල් කියල වෙනසකුත් නෑ. කොයි වෙලාවෙත් දොරට ගහනවා ඇහෙනවා. මං ළඟ සොරුන්ට ගන්න දෙයක් නෑ. සොරුන්ට ගන්න එකයි තියෙන්නෙ මං ගාව. මගෙ පොත් ටික. හොරු පොත් කියවනවාද කියල මං දන්නෙ නෑ. හොරු වාර්තා කියවනවා කියල මං අහලා තියෙනවා. එල්.එල්.ආර්.සී. වාර්තාව එහෙම කවුද පානක් අල්ලලා කියවනවා මං දැක්කා. ඒත් මේ පොත්. පොත් ලියනවා හොරු. කියවනවා මං අහලාම නෑ. ඒත් හොරු ආවා නම් හොරාම ගෙට රිංගනවා මිසක් දොරට ගහයිදෟ මොන විකාරද මං මේ කියවන්නෞ ඇත්ත. හොරු භාණ්ඩාගාරෙට රිංගන්නෙ කාටවත් අහු නොවෙන්න. අහු වුණත් හොරා හිරේ දානවා බොරු. ඒත් ඊයේ මුළු රෑම මං හිටියේ ඇහැරිලා. මට මං ගැන බය වෙන්න දෙයක් නෑ. මට ඔටුනු පළඳවන්න කුමාරයෙක් නෑ. රකින්න ස්මාරකයක් නෑ. ස්මාරකේ අර කාලකන්නි කඩලා බිඳලා දැම්මා. කජු ඇටදෟ කොස් ඇටදෟ තාත්තගේ සල්ලිෟ මට එකම බය අපේ කොල්ලා ගැන. ඌ තවම ඉස්කෝලෙ යනවා. නෑ, පන්ති යනවා. උදේටත් යනවා. රෑටත් යනවා. රෑට ඔන් ලයින්. එකම ගුරුවරයා දෙකටම අය කරනවා.

සමහර වෙලාවට ඇහැරිලා ඉද්දි මට හීන පේනවා. ඇහැරිලා ඉද්දි කොයි මිනිහාටද හීන පේන්නෞ හීන කියන්නෙ නින්දෙදි පේන දෙයක්නෙ. ඒත් මං ඒ කතාව විශ්වාස කරන්නෙ නෑ. දැන් අපි හීනෙකින්වත් හිතුවාද අපි හිඟාකයි කියල කවදාහරි. අපි දත් මදින්නෙ නැතුව, රැවුල කපන්නෙ නැතුව වැඩට යයි කියල. සබන් ගාන්නෙ නැතුව නායි කියල. ඒත් අපි ඒවා දැන් කරනවා. ඒ කියන්නෙ අපි ඇහැරිලා ඉන්න ගමන් හීන දකිනවා. නපුරු හීන දකිනවා.

දැන් මං එකක් තීරණය කරලා තියෙනවා. කවුරු තඩිබෑවාත් මං එළියට යනවා. මං ළඟ අයිනමඩයක් තියෙනවා. කලාකිරිඤ්ඤෙකුත් තියෙනවා. මං ඒවා එළියට ගන්නෙ නෑ. මොකද මං අඩිපුඩි දන්නවා. අඩිපුඩිවල තරම කොච්චරද කියනවා නම් තවම දියවැඩියාවට බෙහෙත් බොනවා. ඒත් මැරෙන්න බය නෑ මං. මම එඩිතරව පපුව ඉස්සරහට දානවා. මැරෙනවා නම් මං කැමතියි මද්දුමබණ්ඩාර වගේ මැරෙන්න. බියගුල්ලො වගේ නෙවෙයි. මට ඕන මෙච්චරයි. ඇයි මාව මංකොල්ලකන්නෙ කියල හොරාගෙන් අහන්න. ඇයි මට පාඩුවේ ඉන්න දෙන්න නැත්තෙ කියල අහන්න. මං පව් කරලා ඇති. ඒත් නිදහසේ නිදාගන්න බැරි තරම් පාපයක් මං කරලා තියෙනවාද? එහෙම කරලා තියෙනවා නම් මං දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ඇයි මාව එක පාර මරලා දාන්නෙ නැත්තෙ කියල. මොකද නිදහසක් නැති ජීවිතේකින් වැඩක් නෑ. නිදහස ලබලා අපි කොච්චර කල්ද? අවුරුදු හැත්තෑපහක්ෟ එච්චර වෙනවාද? එච්චර රටකට දුවන්න බෑනෙ. දිව්වා නම් වෙනම සම්මානයක් දෙන්න ඕන මේ රටට.

මං අද උදේ දැකපු හීනය කියන්නම්. මං දැක්කා කකුල්වලට කළුගෙඩි පහර දීපු, යටිපතුල්වලට ඇණගහපු, වල්ගෙ කෙඳි ගලෝපු, ඒවගේම ඇස් දෙකත් බාගෙට අන්ධ කරපු ඇත් රජෙක් අපේ ගේ ඉස්සරහා වැටිලා ඉන්නවා. ඌට ඇවිදගන්න බෑ. උගේ ඇඟ පුරා සීරීම්. ලේත් ගලනවා.

මගෙ පපුව හෝස් ගාලා ගියා. මං ඇහුවා කොහේ ඉඳලාද ඇත් රජුනි මේ වඩින්නෙ කියල. ඌ වචනයක් දෙඩුවේ නෑ. මට තේරුණා ඌට කථා කරගන්න බෑ කියල. අලි කථා කරනවාද මනුස්සයො? ඇයි බැරි? අලි හීනවල කථා කරනවා. ඉතිං මං ඇතාට ඉස්සෙල්ලා වතුර කළගෙඩියක් දීලා පස්සෙ ගෙයි පිළිකන්නෙ කෙහෙල් ගහේ බාගෙට ඉදිච්ච කැනෙන් ඇවරි තුනක් කපලා දුන්නා. ඇතා ඒක බුක්ති විඳලා මගෙන් තව කෙහෙල් ඉල්ලුවා. මං කැනේ ඉතිරි ඇවරි ටිකත් ඌට කපලා දුන්නා. අනතුරුව ඇතා හෙමින් සැරේ වාඩි වෙලා මං අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා. “මං ආවේ කන්දෙ පන්සලේ ඉඳලා. ඒත් මගෙ ගම මෙහෙ නෙවෙයි.” “එතකොට ගම?” “මං සියමෙන් මෙහෙට ආවේ.” එහෙම නම් මෙච්චර කරදර වුණේ කොහොමද? මෙන්න ඇතාගේ කතාව:

“මං එහෙ සැපවත් ජීවිතයක් ගත කළා. ඒත් එහේ හිටපු කට්ටිය කිව්වා මෙහෙට වඩා උඹට හොඳ තැනකින් ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒක බුදුන් තුන්පාරක් පාද ස්පර්ෂ කරපු තැනක්. ඒවගේම අවුරුදු දෙදහස් පන්සීයක් කල් බුද්ධ ශාසනය ඉතිරි වන බව කියන ලෝකයේ එකම රට. යන්නෙත් කොටන් අදින්න නෙවෙයි, භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වගේම විෂ්ණු දෙයියොත් වැඩ ඉන්න විහාරස්ථානයකට කියල. ඉතිං මං දෙපාරක් හිතුවේ නෑ, මේ රටට ආවා.”

ඇතා කතාව මොහොතක් නතර කළා. පස්සෙ කන වනලා වන වෙච්ච කනේ වහපු මැස්සො එළවලා ආයෙත් කථා කළා.

“මං අපේ රටේ හාමුදුරුවන්ට හුඟක් ගරු කරනවා. ඒ ගරු සරුවෙන් තමයි මේ කියන පන්සලටත් ආවේ. ඒත් මට උහුලන්න සිද්ධ වුණේ වනේ වන හතුරෙකුටත් උහුලන්න පුළුවන් දුක් කන්දරාවකට නෙවෙයි. මට දරන්නම බැරි වුණේ මෙච්චර මට වද දෙද්දි පන්සලේ ලොකු උන්නාන්සේත් අන් උන්නාන්සේලාත් නෑසූ කන්ව බලා සිටි එක.”

ඇතාගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. “ඉතිං මේ කොහෙද යන්නෙ?” මං අන්තිමේ ඇත් රජාගෙන් විමසුවා. “මං ආපහු සියමෙට යනවා. සියමෙන් පස්සෙ ජිනීවාවලට යනවා.” ඒ මක්කටෙයි කියල මං අහන්න කලින්ම ඇතා මෙහෙම උත්තර දුන්නා: “ධර්මද්වීපෙ කියල පාරම්බාන මේ මිහිපිට අපායේ අපේ අලි සංහතියට සිද්ධ කරන අපරාධ මං ලෝකෙට කියනවා.”

ඇත් රජුගෙන් මං තව මොනවත් ඇහුවේ නෑ. අහන්න කලින් මං ඇසිපිය ගහලා බලද්දි ඇතා අතුරුදන් වෙලා සියමෙට. මේක කුරිරු හීනයක්. මෙහෙම හීන දකින්නෙ මං පෙර කරපු අකුසලයක් නිසා වෙන්න ඇති. මේ භවයේ මං අකුසල් කරලා නෑ. නෑ, එකක් කළා. කවදාවත් හැන්ද අල්ලලා නැති බාසෙකුට මේසන් හැන්ද දුන්නා. දැන් බාසා රිවට් වෙන්න හදපු ගෙයි මං ජීවත් වෙන්නෙ. ඒකෙ බිත්ති, වහල කොයි වෙලාවෙ ඔළුවට පාත් වෙයිද කියන්න බෑ.

ඇත් හීනය අවසන් වුණාට පස්සෙ මං මුහුණ දුන්නු තව අත්දැකීමක් තියෙනවා. මං ඒකත් කියල ඉවර කරන්නම්. ඇතා අතුරුදන් වෙච්ච ගමන් මට අපේ ගෙයි දොරට තඩිබානවා ඇහුණා. මං වෙන දෙයක් වෙද්දෙන් කියල ඉස්සරහට ගිහින් දොර ඇරියා. දන්නවාද මං දැක්ක දේ? සත පහේ මුහුණු තියෙන පිරිමි දෙන්නෙකුයි ගෑනියෙකුයි මගෙ ඉස්සරහට ඇවිත් චං චුං භාෂාවකින් මොනවද කියනවා. ඔවුන් අපේ ජාතියේ මිනිස්සු නෙවෙයි. ඇඟ සුදුපාටයි. මුහුණ හැබැයි සතපහ. වැඩක් ඇති මුදලක් නෙවෙයි. මං ඇහුවා මොනවාද ඔබතුමන්ලා හොයන්නෙ කියල. මට තේරුණා ඔවුන්ට සිංහල තේරෙන්නෙ නෑ කියල. මං ඒගමන ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කළා. මට තවම කැඩිච්චි ඉංග්‍රීසි වචන දෙක තුනක් මතකයි. හොඳ වෙලාවට ඔවුන් අතරත් කැඩිච්ච ඉංග්‍රීසි දන්න එක්කෙනෙක් සිටියා. ඔහු අර අයට චං චුං ගාලා මං කී දේ තේරුම් කළා. පස්සෙ ඔවුන්ගේ උත්තරේ ලැබුණා මට: “අපේ නැති වෙච්ච අලියෙක් ඉන්නවා. අපි ඌ හොයනවා අපේ රටට ගෙනියන්න. ඔහේ දැක්කෙ නැද්ද අපේ අලියා?” මට තේරුණා මේත් සියමෙ කට්ටියක් කියල. ඔවුන්ගෙන් පෙනුණෙ බොහොම දරුණු බවක්. මං ඔවුන්ට බයපක්සපාත ලීලාවෙන් මෙහෙම කිව්වා: “අපේ පන්සලේ කාලෙකට උඩදි අලියෙක් හිටියා. දැන් ඌ පන්සලේ නෑ.” චං චුං කට්ටිය පිටත් වෙන්න කලින් තව ප්‍රශ්නයක් ඇහුවා: “කවුද උඹලාගේ පරිසර ඇමතියා?” මං ඒකට දෙන්න උත්තරයක් දැනගෙන සිටියෙ නෑ. කවුරු ඉන්නවාද, ඉන්නෙ ගෑනියෙක්ද, මිනිහෙක්ද කියලවත් මට මතකයක් තිබුණෙ නෑ. ඉතිං මං ටික වෙලාවක් අරගෙන මෙහෙම කිව්වා: “දිගාමඩුල්ලෙ චාලිං තමයි ඔය ඇමතිකමේ හිටියෙ. උන්දෑ ඒ දවස්වල අලිවැටක් එහෙමත් ගැහුවා. ලෝකයේ දිගම අලිවැට ගහනවා කියලත් කිව්වා. ඒත් පහුගිය කාලෙ උන්දැගේ ගේ කඩලා තිබුණා මොක්කුද තරුණයො වගයක් විප්ලවයක්ද මොකක්ද කරන්න ගිහින්. දැන් උන්දෑ වැඩිය එළිපහළියට එන්නෙ නෑ. අන්තිමටම මං දැක්කෙ බුලත්විට කඩයක් දාගෙන ඉන්නවා ඔය මොනරාගල පැත්තෙ.” මං ඒ කතාව අමාරුවෙන් ගැටගැහුවත් මගේ කතාව අහන්න චුං චුංලා සිටියේ නෑ. ඔවුන් ඇතා වගේම අතුරුදන් වෙලා එක් සැණෙන්.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment