ජනපති කැඳවූ IMF හමුව විපක්ෂය වර්ජනය කරයි

122

සාකච්ඡාවට නොඑන හේතු විපක්ෂ නායක ජනපතිට දන්වයි

මම යන්නෙත් නැහැ – ආචාර්ය හර්ෂද සිල්වා

අපි යන්නෙත් නෑ – විජිත හේරත්

පහත් ක්‍රියාවක් – ෂෙහාන් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් සමග අද (11දා) ජනාධිපති කාර්යාලයේදී පවත්වන සාකච්ඡාවට සහභාගි නොවන බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය.

IMF නියෝජිතයන් සමග තම පක්‍ෂය සාකච්ඡා කරන බවත් තමා ප්‍රකාශ කළේ IMF නියෝජිතයන් සමග නොව ණය ප්‍රතිව්‍යුහගත කරන පාර්ශ්ව සමග සිදුකරන සාකච්ඡාවලට සහභාගි විය යුතු බවත් ඔහු කීය.

ජනපති කැඳවූ IMF හමුව විපක්ෂය වර්ජනය කරයි

ණය ප්‍රතිව්‍යුහගත නොකළ නිසා රට බංකොළොත් වූ බවත් නැවත ණය නොගෙවන තත්ත්වයක් ඇතිවුවහොත් රට යන දිශාව සොයා ගැනීමට නොහැකි වනු ඇති බවත් ඔහු කීය. ණය ප්‍රතිව්‍යුහගත කරන පිරිස් සමග රජය එකඟවන ස්වෛරී ගිණුම් සඳහා ඊළඟට පැමිණෙන රජයන් වුවද ගෙවීමට වගකීමෙන් බැඳෙන බවත් එම නිසා ණය ප්‍රතිව්‍යුහගත කරන පිරිස් සමග සියලු දෙනා එක්ව සාකච්ඡා කළ යුතු බවත් තමා ප්‍රකාශ කළ බව හෙතෙම කීය.

මේ අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඒ මහතාගේ ලේකම් සී. බී. විජයගුණවර්ධන මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත සාකච්ඡා සඳහා නොපැමිණෙන බව සඳහන් කරමින් ලිපියක් යවා ඇත. විපක්‍ෂයට ආරාධනා කර ඇත්තේ යහපත් චේතනාවකින් නොවන බවද එම ලිපියේ සඳහන් කර ඇත.

ජාතික ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද ජනාධිපතිවරයා කළ ආරාධනාව අනුව සාකච්ඡාවට නොයන බව ප්‍රකාශ කර ඇත.

මේ අතර ජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්‍ෂේප කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට විපක්‍ෂය සහභාගි නොවීමට ගනු ලැබූ තීරණය ඉතා පහත් ක්‍රියාවක් බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ඊයේ (10දා) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

විපක්‍ෂයක් සෑම විටම රජයේ මතයට එකඟ විය යුතු නැති වුවත් වග කියන විපක්‍ෂයක කාර්ය භාරය වන්නේ රටක් කිසියම් අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවේදී රට බේරා ගැනීම සඳහා කටයුතු කිරීම යැයි ද සේමසිංහ මහතා මෙහිදී පැවසීය. දෙමළ පක්‍ෂ ද සාකච්ඡාවට යෑම පිළිබඳව ඊයේ (10දා) එකිනෙකට වෙනස් තීරණවල නිරතව සිටියහ.

චමින්ද සිල්වා, මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment