ත්‍රස්ත විරෝධි පනත – (හැම පැත්තම බලමු)

697

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා වූ නව පනතක් මේ වනවිට ගැසට් කර ඇත. නොබෝ දිනකින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය. මෙම නව පනත පිළිබඳව සමාජයේ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරමින් සිටිති.

මේ වනවිට ආණ්ඩුවට එරෙහිව විරෝධතා රැල්ලක් ගොඩනැඟෙමින් පවතී. ඔවුන් එය මර්දනය කිරීමට නීත්‍යනුකූලභාවයක් ලබාදීම මෙම නව පනතේ අරමුණ බව විපක්‍ෂය නඟන චෝදනාවයි. ගොවියන්ගෙන්, කම්කරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් සහ වෘත්තීයවේදීන්ගෙන් රජයට එරෙහිව ගොඩනැඟෙන විරෝධතා රැල්ල මර්දනය කිරීමට නීතිය ඉදිරියේ සුජාත භාවයක් ලබාදීම මෙම පනතේ අන්තර්ගතය බවට විපක්‍ෂය නඟන ප්‍රධාන චෝදනාවයි.

මෙම නව පනත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරු පසුගියදා ඒකාබද්ධව නිවේදනයක් කළහ. රටේ ස්වෛරීභාවයත් භෞමික අඛණ්ඩතාවත් ආරක්‍ෂා කර ගනිමින් පුද්ගල සහ සමාජ ආරක්‍ෂණය උදෙසා විධිවිධාන සම්පාදනය කිරීම රජයේ යුතුකම සහ වගකීම ලෙස තමන් වහන්සේලා පිළිගන්නා බව එම නිවේදනයේ තහවුරු කර තිබිණි. එහෙත් යෝජිත නව තස්ත්‍ර විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වන බවත් එනිසා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ත්‍රෛනිකායික මහ නාහිමිවරු සිය නිවේදනය මගින් කරුණු ප්‍රකාශ කර තිබිණි. මෙම තත්ත්වය හමුවේ විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතේ ඇති නුසුදුසු වගන්ති ඉවත්කොට යළි සකස් කිරීම උචිත බව මහ නාහිමිවරු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ අතර අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පසුගියදා සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදුටුවේය. එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ නව ත්‍රස්ත පනත් කෙටුම්පත මගින් වෘත්තීය සමිති අයිතිවාසිකම්, මාධ්‍ය අයිතිවාසිකම් හා අරගල වැනි දේ මර්දනය කරන බවට ඇතැම් පිරිස් ජනතාව මුලාවට පත් කරමින් සිටින බවයි. නව පනත් කෙටුම්පත පිළිබඳව විවේචනය කරන අය ඊට ඇතුළත් විය යුතු සංශෝධන පිළිබඳව යෝජනා ඉදිරිපත් නොකරන බව ද ඇමැතිවරයා මෙහිදී චෝදනා කළේය. කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාගේ අදහස්, යෝජනා සැලකිල්ලට ගනිමින් නව තස්ත්‍ර පනත් කෙටුම්පතට සංශෝධන ඇතුළත් කිරීමට කටයුතු කරන බවයි. එම නම්‍යශීලීභාවය ගැන කාට වුවද සතුටු වීමට පුළුවන. මේ මොහොතේ අවශ්‍ය වනුයේ රටට හෝ රටේ කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන සේ මෙම පනත ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සම්පාදනය කිරීමයි.

මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමත් සමග කරළියට ආ තවත් මාතෘකාවක් වූයේ ‘ත්‍රස්තවාදය’ යන්න කෙසේ නිර්වචනය විය යුතු ද යන්නයි. නව පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හෝ සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන වඩා සුදුසුම අර්ථකථනයක් ලබාදීම වඩා යෝග්‍ය වනු ඇත. විශේෂයෙන් මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන්ගේ අදහස්, යෝජනා සැලකිල්ලට ගෙන එය නිර්වචනය කර ගැනීම වඩාත් උචිතය. ‘ත්‍රස්තවාදය’ යන්නට නිසි අර්ථකථනයක් ලබාදීමට නොහැකි වුවහොත් මෙම නව පනත ගැන ජනතා විශ්වාසය බිඳවැටෙනවා පමණක් නොව එය තවත් ප්‍රශ්න ගණනාවකට මුලපිරීමක් වීමට පුළුවන.

මෙම නව කෙටුම්පත සමග සමාජය හමුවට ආ තවත් කාරණයක් වී ඇත්තේ භාෂණයේ නිදහසට මේ නිසා බාධා ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බවට නඟන චෝදනාවයි. මෙම තත්ත්වය හමුවේ මාධ්‍යට මෙන්ම සමාජ මාධ්‍යට සීමා වැටකඩුලු වැටේ නම් එය අනුමත කළ නොහැක. එය එසේ නොවන්නේ නම් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම රජයේ පාර්ශ්වයෙන් අනිවාර්යයෙන්ම කළ යුක්තකි.

රටකට නීති අණ පනත් අවශ්‍ය වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම වෙනුවෙනි. රට නිසි පීල්ලට ගැනීමට රජයක් ගන්නා ක්‍රියාමාර්ගවලට අප සියලුදෙනා සහයෝගය දිය යුතුය. එහෙත් ගෙනෙන අණ පනත් පිළිබඳව විනිවිධභාවය සුරක්‍ෂිත කිරීම රජයේ වගකීමකි. රටේ සියලුදෙනාටම පිළිගත හැකි අයුරින් සෑම පාර්ශ්වයකම අයිතීන් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මෙන්ම රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවන තැනක සිට මෙම නව පනත් කෙටුම්පත සකස් කිරීම වඩා ප්‍රායෝගික වනු ඇතැයි අපේ විශ්වාසයයි.

advertistmentadvertistment
advertistmentadvertistment