වැඩි මුදලට ඩොලර් ගත් මුදල් හුවමාරු ආයතනයක ලයිසන් කැන්සල් කරයි

239

විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ප‍්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත් කර ඇති බලපත‍්‍රය ඊයේ (31) දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර ඇත.

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ‍්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් 2022.03.30 දින ප‍්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබේ.

එකී විමර්ශනයට අනුව, ප‍්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත‍්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිලදී ගන්නා බවත්, එමගින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කරන බවත් මහ බැංකුවට නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව, විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ප‍්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත් කර ඇති බලපත‍්‍රය 2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව මෙසේ අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර ඇත. මේ ගැන ශ‍්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේද කියයි.

2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි ප‍්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට බලයලත් මුදල් හුවමාරු කරන්නකු ලෙස මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල යෙදීමට තවදුරටත් අවසර නොමැති බව මෙයින් මහජනතාවට දැනුම් දෙනු ලැබේ. තවද, මෙම අත්හිටුවන ලද කාල සීමාව තුළ ප‍්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම සමඟ කරන ඕනෑම ගනුදෙනුවක් විදේශ විනිමය පනතෙහි ප‍්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් ලෙස සැලකෙන බව ද මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සම්බන්ධයෙන් ස්ථානීය විමර්ශන තීව‍්‍ර කර ඇති අතර විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති උපදෙස්වලට අනුගත නොවන බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත‍්‍ර අත්හිටුවීමට/අවලංගු කිරීමට ද කටයුතු කරනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment