සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට මාලාවෙහි ධාරා දෙකකට අයත් නිර්මාණ දකින්නට ලැබේ. පළමු ධාරාවට අයත් වන්නේ ‘පොඩිමල්ලී’, ‘සිරිබො අයියා’, ‘සරුංගලේ’, ‘සුදු සෙවණැලි’, ‘ක්ෂීර සාගරය කැලඹිණ’ වැනි විචාරක පැසසුමට පාත්‍ර වූ චිත්‍රපට ය. ‘සිරිබො අයියා’, 1981 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද ‘සුදු සෙවණැලි’, 2002 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද ජනාධිපති සම්මාන දිනා ගත්තේ ය.

දෙවන ධාරාව වනාහි blockbuster චිත්‍රපට හෙවත් මහාකෘති ය. ඔහු ඒ චිත්‍රපට නිර්මාණය කළේ යම් අරමුණක් උදෙසා ද ඒ අරමුණ තුළ ඔහු උපරිම මට්ටමෙන් සාර්ථකත්වය ලැබී ය. ‘කුස පබා’ (2012), ‘පත්තිනි’ (2016), ‘යශෝධරා’ (2018), ‘විජයබා කොල්ලය’ (2019), ඒ ඒ වර්ෂවල වැඩිම ආදායම් ලබමින් box office වාර්තා බිඳ හෙළී ය. ඒ අතුරින් ‘යශෝධරා’ හැර සෙසු චිත්‍රපට සම්භාව්‍ය සිනමාව වෙනුවෙන් පෙනී සිටි විචාරකයන්ගේ සහ ප්‍රේක්‍ෂකයන්ගේ නිර්දය ගර්හාවට සහ අවමානයට පාත්‍ර විය.

‘කදිර දිව්‍ය රාජ’ ද යථෝක්ත දෙවන ධාරාව නියෝජනය කළ චිත්‍රපටයකි. එය 2023 වර්ෂයෙහි වැඩිම house full දර්ශන වාර සංඛ්‍යාව සහිතව දින 100 ක් ප්‍රදර්ශනය වූ එකම චිත්‍රපටය වූ අතර සිංහල සිනමා ඉතිහාසයෙහි වැඩිම ආදායම් වාර්තා සහිත චිත්‍රපට කිහිපය අතරටද එක්විය.

උපුටා ගැනීම – කදිර දිව්‍යරාජ සිනමා තිරනාටකය කෘතියෙනි.

සුනිල් ආරියරත්නයෝ සිනමා තිරනාටක සතරක් මේ වනවිට මුද්‍රණද්වාරයෙන් පාඨකයා වෙත පිරිනමා ඇත්තාහ. ක්‍රිස්තු චරිතය, පත්තිනි, බිම්බා දේවී හෙවත් යශෝධරා ඉන් මුල් නිර්මාණයි. අවසන් තිර නාටකය 2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලයේ විශිෂ්ට කෘති නිර්දේශය බවට ද පත්වී ඇත. ඒ සියල්ල පරයා ‘කදිර දිව්‍ය රාජ’ කැපී පෙනෙන බව කිව යුතුය. ඊට හේතුව අන් කිසිවක් නොව, මෙය ඔහුගේ සැබෑ පර්යේෂණයක මහඟු ප්‍රතිඵලයක් වීමයි.

අනගි පර්යේෂණයකින් බිහිවූ සිනමා තිරනාටකයක්

‘මහේශාක්‍ය දෙවියකුගේ සහ මනුෂ්‍ය යුවතියකගේ ප්‍රේම වෘතාන්තය’ මැයෙන් නම්කර ඇති පිටු පනසකට මඳක් වැඩි මේ ලිපිය කදිර දෙවිඳුන් පිළිබඳව මෙරට පර්යේෂකයකු අතින් බිහිවූ පළමුවැන්න බව පැවසීම කිසිසේත් සාවද්‍ය නොවන්නකි. එපමණක්ද නොවේ සිනමා තිර නාටකයක් ගොඩනඟා ගැනීම උදෙසා, මෙවන් පරිශ්‍රමයක් දැරූ අවස්ථාවක් පිළිබඳව අපට සිහිපත් කළ නොහැකිය.

“දේව ප්‍රේමය සිංහල සාහිත්‍යයට සමාජයට – සංස්කෘතියට ආගන්තුක සංකල්පයකි. එහෙත් චිරත්තන දෙමළ සාහිත්‍යයෙහි දේව ප්‍රේමය සහිත රචනා සුලබය. ආණ්ඩාල් නම් කිවිඳිය විෂ්ණු දෙවියන්ට ප්‍රේම කළාය. මතු දැක්වෙනුයේ ඇයගේ විෂ්ණු භක්ති ගීතවලින් උපුටා ගත් වැකි කිහිපයකි. සුනිල් සිය පර්යේෂණයට ප්‍රවිෂ්ට වන්නේ මෙලෙසිනි. ද්‍රවිඩ භාෂා සාහිත්‍යයට ඇති ඇල්මත්, පරිචයත් මීට මුල් වන්නට ඇති බව ද නිසැකය.

කතරගම රාජධානිය පිළිබඳව අවධානය යොමු කරන ලේඛකයා එහි රජවරුන්ගේ ලාංඡනය වූ මත්ස්‍යයා සිහිත ලෙන් ලිපි තුනක් ගැන පවසයි. බෝවත්තේගල කොටාදැමූහෙළ, හෙන්නානිගල යන ප්‍රදේශවල හමුවූ සාධක ගැන පවසා ප්‍රදේශයේ විශාලත්වය ගැන තහවුරු කිරීමට මහාචාර්ය විමල් විජේරත්නයන් සංස්කරණය කළ සිංහල ධාතුවංශයට යොමු වෙයි.

කදිර දෙවිඳුන්ට ‘මහාඝෝස’ යන නාමය භාවිතා වූ බව තහවුරු කිරීම උදෙසා මහාචාර්ය නන්දසේන මුදියන්සේ විසින් විරචිත “ ලංකාවේ ද්‍රවිඩ සිහිවටන” කෘතියට නැඹුරුව රචකයා හෙළ හවුලේ නියමුවා වූ කුමාරතුංග මුනිදාසයන්ගේ ‘ප්‍රබන්ධ සංග්‍රහය’ කතරගම දෙවි සිංහල බෞද්ධයෙකි’ යන මැයෙන් සෝමපාල ජයවර්ධන ලියූ ලිපියකටත් යොමුවෙයි. ‘පියුමුපුල කළඹ – බඳරන් ඇගෑහි සිරින් බිජී වැඳ සුගතිඳුහු – කඳකුමරු එක් පස්හී” යන කතුවරයා කවුරුන්දැයි නොදත් සසදාවතෙහි 185 වන ගීය උපුටා දක්වමින් සිංහල සාහිත්‍ය කෘති අතරින් මුලින්ම කඳ කුමරු පිළිබඳ සඳහන සිහිපත් කරයි.

සිංහල ලේඛකයන්ගේ කෘතිවලින් කදිර දෙවිඳුන් පිළිබඳව විමසා නොනවතින සුනිල් ආරියරත්නයෝ වරෙක මෙවන් සඳහනක් කරති.

“සංස්කෘත වීර කාව්‍ය යුග්මය වන රාමායණය සහ මහා භාරතය යන කෘතිවල ද ස්කන්ද ගැන සඳහන් වේ. රාමායණයෙහි අසුරයන් විනාශ කළ මුහුණු සයක් ඇති කාර්තිකේය ගැන සඳහන් වන අතර මහා භාරතය, අසුරයන් නැසූ ස්කන්ද ගැන සඳහන් කරන්නේය.”

මෙකී භාරත කවීන් පමණක් නොව, අපට බෙහෙවින් හුරු පුරුදු තවත් විදෙස් ලේඛකයන් රැසකගේ මති මතාන්තර මගින් ද කදිර දෙවිඳුන් පිළිබඳ විග්‍රහ කිරීමට සුනිල් ආරියරත්නයෝ පෙලඹී ඇත්තාහ. ඒ. එල් බෂාම්, ආර්. එල්. සපිටල්, ලෙනාඩ් වුල්ෆ් ඒ අතරින් කැපී පෙනේ. 1908 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර ඒජන්ත පදවියට පත් ලෙනාඩ් වුල්ෆ්ගේ ස්වයං ලිඛිත චරිතාපදානයෙන් උපුටා ගන්නා ලද අදහස් අනෙකුන්ගේ මති මතාන්තරවලට වඩා රමණීයයි යැයි හැඟේ.

“1910 ජූලි මාසයේදී කතරගමට ගොස් එහි සුප්‍රකට පූජෝත්සවය අධීක්‍ෂණය කිරීමට මට සිදුවී තිබිණි. ඌව පළාතේ ඝන කැලයක් මැද පිහිටි කුඩා ගමක් වූ කතරගම මගේ දිස්ත්‍රික්කයට අයත් නොවීය. එහෙත් ඌව පළාතේ ජනාකීර්ණ කිසිදු පෙදෙසක සිට කතරගමට පැමිණිය හැකි මාර්ග එහි නොතිබුණු හෙයින්…”

ඔහු නැවත වසර පනහකට පසු කතරගම ගැන මෙසේ ලියා තිබේ.

“තිස්ස සිට කතරගම දක්වා එදා තිබුණු කැලෑ පාර මෙදා ඉතා හොඳ මහ මාවතක් බවට පත්වී තිබුණු අතර ඒ ඔස්සේ මම ඉතා සුවදායක සේ රිය පදවාගෙන ගියෙමි.”

සුනිල් ආරියරත්න සියලු සන්දේශ කාව්‍යයන් ඇසුරින් ද රුපියල් තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු, ගුණදාස අමරසේකර වැනි නූතන කවීන්ගේ නිර්මාණ ආධාරයෙන් ද කදිර දෙවිඳුන් පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබේ. අමරසේකරගේ ‘කතරගම’ කවිපෙළ අමතක නොවූ ඔහුට, එකී නිර්මාණකාරකයාගේ කතරගම දෙවොල අබියස රචනය මඟහැරී තිබුණි.

මෙතෙක් අප විසින් සාකච්ඡා කරන්නට යෙදුණේ “කදිර දිව්‍ය රාජ” සිනමා තිර නාටකය නිර්මාණය උදෙසා මූලාශ්‍ර සෙවීමට ගත් අගනා ප්‍රයත්නයේ මහිමය පිළිබඳවයි. මෙවන් වූ ශාස්ත්‍රීය ගවේෂණයකින් සොඳුරු සිනමා නිර්මාණයක් බිහිකිරීමේදී බොහෝ අවස්ථාවල පරිගණක සජීවීකරණයෙන් ලද ප්‍රභාව පැහැදිලිව පෙනේ. මෙය ‘ක්‍ෂීර සාගරය කැලඹිණි’ තරම් උත්තරීතර නොවූවත් ප්‍රේක්ෂකාකර්ෂණය අතින් ඉතා ඉහළ තලයක වැජඹුණේය. අද්‍යතනයේ ප්‍රේක්ෂකයාගෙන් දුරස්වී ඇති සිනමාව නැවත නඟාසිටුවීම උදෙසා මෙවන් නිර්මාණවලින් සිදුවන මෙහෙය සුළුපටු නොවේ. ස්කන්ද උදෙසා සමර් වීරමානි වැනි නළුවකු යොදා ගැනීමත් ඔහුට බිමල් ජයකොඩි ලවා හඬ කැවීමත් මගින් කවර තරමේ සොඳුරු බවක් එක්කර තිබුණි ද? සරත් කොතලාවල, වසන්ත විට්ටච්චි ප්‍රේක්ෂකාකර්ෂණය තවත් ඔපවත් කළහ.

මානවසිංහ, මහගමසේකර වර්ධනය කර දුන් සිංහල ගේය පදමාලා සාහිත්‍යයේ පෙරමුණේ, සුනිල් ආරියරත්නයන්ගේ වැජඹීමට අභියෝග කළ හැක්කේ කවරකුට ද? පාසල් වියේදී විරචිත ‘සියොතුන්ට රැකවල්’ කාව්‍ය සංග්‍රහයෙන් මතුවූ කවිකම ඊට නොමඳ අනුබලයක් විය.

අනගි පර්යේෂණයකින් බිහිවූ සිනමා තිරනාටකයක්

“පවනේ සෙලවෙන නා දලු
පාවී එයි දෙතොල්වලට
තිසරු දියේ පීනා විත්
ගොඩවෙන්නේ අපේ ළැමට
බලන්න අරුමේ

වළා කැරැලි අතර තිබුණු අඬ සඳ වැටිලා නළලට
ඹමරු බමන්නේ මොකටද
අනේ අපේ මුහුණු අවට
බලන්න අරුමේ

කාලාන්තරයක් තිස්සේ අපේ කවි කිවිඳියන් භාවිතා කළ සංකල්ප රූප ගතානුගතික යැයි නොසිතෙන පරිදි උපයුක්ත ආකාරය කෙතරම් රමණීය දැයි අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙවන් අනගි, නැවුම් පර්යේෂණ සිදුවේ නම් එයම සැබෑ සහෘදානන්දයක් බවට පත් නොවන්නේද?

● සුනිල් ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment