ඇමරිකාවේ නාසා ආයතනය සංවිධානය කළ චිත්‍ර තරගයෙන් ලෝකයේ අංක එකට පැමිණි තිරප්පනේ දහම් ලෝෂිත ශිෂ්‍යයා

3283

ඇමරිකාවේ නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයකින් වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ ශ්‍රී ලාංකීය නාමය ඉහළට ඔසවා තබමින් ලොව ප්‍රථමස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහම් ලෝෂිත ප්‍රේමරත්න ශිෂ්‍යයා සමත් වී ඇත.

ලෝකය පුරා විහිදී සිටින තරු සොයන දරුවන්ට අභ්‍යවකාශ ගවේෂණය සමඟ සම්බන්ධවීමට උපකාර පිණිස මෙම චිත්‍ර තරගය සංවිධානය කර ඇත. එහිදී “අභ්‍යවකාශයේ ජීවත්වීම හා වැඩ කිරීම” යන තරඟ ශීර්ෂය යටතේ දහම් ලෝෂිත ශිෂ්‍යයා ඉදිරිපත් කළ මෙම සිතුවම ලොව ප්‍රථමස්ථානය බවට පත්වීමත් සමඟ නාසා ආයතනය මගින් සම්පාදිත 2024 දින දර්ශනයේ ජූලි මස පිටුව සඳහා ද එම සිතුවම තෝරාගෙන ඇත.

චිත්‍ර ඇඳීම අතින් සුවිශේෂී දක්ෂතාවක් දක්වන දහම් ලෝෂිත, ජාත්‍යන්තර චිත්‍ර තරගයකට නිර්මාණ ඉදිරිපත් කළ පළමු චිත්‍ර තරගයෙන් ම ලොව ප්‍රථම ස්ථානය ලබාගැනීම සුවිශේෂී කරුණකි. මීට අමතරව පළාත් හා ජාතික මට්ටමේ තරගවලින්ද ජයග්‍රහණ වාර්තා කර ඇත. එමෙන්ම ඉන්දියාව, ජපානය, ඕස්ටේ්‍රලියාව වැනි රටවල පැවැත්වෙන තවත් ජාත්‍යන්තර චිත්‍ර තරග කීපයකට නිර්මාණ යොමු කර ඇති ඔහු එම ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී.

චිත්‍ර ඇඳීමට මෙන්ම ගීත ගායනයටද දහම් සුවිශේෂී දක්ෂතාවයක් පෙන්වයි. පී. චමින්ද ප්‍රේමරත්න හා ඉසුරිකා උදයංගනී රණබාහු වන ඔහුගේ දෙමාපියන් සමඟ තිරප්පනේ සෙම්බුකුලම ප්‍රදේශයේ ජීවත් වෙති. දරුවාගේ දක්ෂතා හඳුනාගෙන එම දෙමාපියන් සුදර්ශනී රණබාහු නැගණියගේ සහාය ඇතිව අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රම මගින් මෙම චිත්‍ර තරගවලට අයැදුම් කරයි. මොහුගේ දෙමාපියන් ද කලා කටයුතු සඳහා සුවිශේෂී හැකියාවන් පෙන්වන කලා පවුලකි.

පිංතූරයදහම් සිය තාත්තා හා අම්මා සමඟ
දහම් ගේ චිත්‍ර ඇතුලත් කර නාසා ආයතනය මගින් සම්පාදනය කර ඇති 2024 දින දර්ශනය

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment