විභාග වෙබ් අඩවියෙන් සිසුවා දත්ත සොරාගෙන නෑ

203

විභාග කොමසාරිස් ජනරාල් කියයි

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වෙනත් වෙබ් අඩවියක් සකස් කළ සිසුවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළු වී දත්ත සොරා ගැනීමක් සිදුකර නැතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවසීය.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර සතියකට පමණ පසු ඔහු විසින් විභාග අපේක්‍ෂකයන්ගේ තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් කොපිකරගෙන, එම තොරතුරු සිසුන්ගේ විභාග අංකය නොව, නම සඳහන් කර ඔහුගේ පෞද්ගලික වෙබ් අඩවියක පළකර ඇති බවද ඒ මහතා කීය.

මෙම සිසුවා පසුගිය වසරේ ද මේ ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, මෙවර ඔහු ද උසස් පෙළ විභාගට පෙනී සිටි සිසුවකු බවත් ධර්මසේන මහතා කීය. ඔහු සකස් කළ වෙබ් අඩවියේ එම සිසුවාගේ හෝ වෙනත් සිසුන්ගේ ප්‍රතිඵලවල වෙනසක් කර නොමැති බව විමර්ශනවලදී හෙළිවී ඇති බවත් හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය වෙත පැමිණිල්ල යොමු කළ බවත් මීට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට මේ ආකාරයෙන්වත් යෑමට නොහැකි ආකාරයට කිරීමට සැලසුම් සකස් කිරීමට තීරණය කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment