බේරුවල කොට්ඨාස අන්තර් ක්‍රීඩා සමාජ ශූරතාව පාත් ක්‍රීඩා සමාජයට

42

2024 ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ අන්තර් ක්‍රීඩා සමාජ සමස්ත ශූරතාවය දිනා ගැනීමට පාත් ක්‍රීඩා සමාජය (PATH Sports Club) සමත් වුණා. සමස්ත ලකුණු 138 ක් පාත් ක්‍රීඩා සමාජය (PATH Sports Club) ලබාගත් අතර ලකුණු 102 ක් ලබාගත් ස්ටාර්ලයිට් ක්‍රීඩා සමාජය (Starlight Sports Club) අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූයේය.

ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සහ තරුණ තරුණියන් හට නොමිලේ මලල ක්‍රීඩා පුහුණුව ලබාදෙන පාත් ඇකඩමියේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ක්‍රීඩා උළලේදී වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගත් අතර, තරග සඳහා සහභාගි වූ එම ක්‍රීඩා සමාජයේ බහුතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් බේරුවල කොට්ඨාසය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික් තරගාවලියට සහභාගි වීම සඳහා සුදුසුකම් ලැබීය.

ක්‍රීඩා සමාජ 11 ක් තරග වැදුණු මලල ක්‍රීඩා උළලේ දක්ශතම ක්‍රීඩකයා බවට තුන්පිම්ම ඉසව්ව ජයගත් එච්. පී. ටී. වර්ණකුලසූරිය පත් වූ අතර මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කළ කුශානි මදුශිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජය සංකේත ලැබුවාය.

මෙහිදී අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී බාලක සහ බාලිකා ශූරතාවයන් ජයග්‍රහණය කිරීමට පිළිවෙළින් පයාගල සිරිකුරුස විදුහල සහ අලුත්ගම සංඝමිත්තා බාලිකා විදුහල සමත් වූයේය.

එම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස පොතුවිල මහ විද්‍යාලයේ පන්සිළු ආකාශ් සහ අලුත්ගම සංඝමිත්තා විදුහලේ ඉනරි හසාරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සම්මානයට පාත්‍ර වූහ.

උළලේ ත්‍යාග ප්‍රධානය ඔලිම්පික් ක්‍රීඩිකා ජයමිනී ඉලේපෙරුම මහත්මිය සහ බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් පී. පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා නිලධාරිනිය ලෙස කටයුතු කරන (ඔලිම්පික් ක්‍රීඩිකා) නිම්මි ද සොයිසා මහත්මිය විසින් ක්‍රීඩා උළෙල සංවිධානය කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment