කුසල්ලාගේ පත්වීම් පිළිබඳව පොලීසියටම සතුටුයි – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර

481

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක කුසල් ජනිත් පෙරේරා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත වීම පිළිබඳව සමස්ත පොලීසියම සතුටට පත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් ක්‍රිකට් සමාජයේ සභාපති කමල් පුෂ්පකුමාර මහතා පැවසීය.

කුසල්ලාගේ පත්වීම් පිළිබඳව පොලීසියටම සතුටුයි - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර

මහජන ආරක්ෂක ඇමැතිවරයා පත්වීම් ලබා දෙමින්

කුසල් ජනිත් පෙරේරා සහ හිටපු මැද පෙළ පිතිකරු චාමර සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ලෙස එහිදී පත්වීම් ලද අතර නුවන් ප්‍රදීප් හා අශේන් බණ්ඩාර පොලිස් පරීක්ෂකවරු ලෙස පත්වීම් ලදහ. ඔවුන් සිව්දෙනා ඇතුළුව ක්‍රීඩකයෝ 12 දෙනෙක් පසුගිය සෙනසුරාදා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූහ.

“ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් මෙසේ පොලිස් දෙපාර්තමේන්තුවට ඇතුළත් කර ගැනීමට හැකි වුණේ. ක්‍රීඩකයන්ට වගේම පොලිස් ක්‍රීඩා සමාජයටත් මෙය හොඳ අවස්ථාවක්. මෙහිදී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන්ට අපේ ගෞරවය පුද කරන්න ඕන. එමෙන්ම ප්‍රධාන පෙළේ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මෙවර පළමුවරට සම ශූරයන් වීමටද පොලීසිය සමත් වුණා. කුසල් ඇතුළු මෙම ක්‍රීඩකයන්ගේ පත්වීම් පිළිබඳව පොලිසියම සතුටුයි” යැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතා කීය.

පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූ මෙම ක්‍රීඩකයන් මෑත කාලයේ සිට පොලිස් කණ්ඩායම නියෝජනය කරමින් දේශීය තරග සඳහා සිය දායකත්වය ලබාදී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment