කුඩු සහ කුඩේ කුඩු

997

මේ රටේ සිටින ජනගහනයෙන් 75% කට වැඩි පිරිසකට ගීත ගායනා කිරීමට හැකි බව සිරස සුපර්ස්ටාර් එනතුරු අප දැන සිටියේ නැත. ඒ තාක් කල් අපේ අදහස වූයේ දැනට වේදිකාවල ගීත ගයන ගායක ගායිකාවන් 30 – 40 කට හැර සෙසු අයට ගීත තබා කතන්දරවත් කීමට බැරි බවය.

ලංකාව කුඩුවලින් මේ තරමට ස්වයංපෝෂිත රාජ්‍යයක් බව ටිරාන් අලස්ගේ යුක්තිය වැඩසටහන පටන් ගන්නා තුරු අප දැන සිටියේ නැත. එම වැඩසටහනේ විවිධ විශේෂාංගවලින් හෙළිදරව් වූ පරිදි මේ රටේ සෑහෙන ජන කොටසකගේ ජීවන වෘත්තිය වන්නේ කුඩු වෙළෙඳාමය. ඒ අතර තැනින් තැන කසිප්පු මුදලාලිලා ද සිටිති. එහෙත් කුඩු ජාවාරම කසිප්පු ජාවාරම අභිබවා පැතිර ගොස් තිබේ. යුක්තිය වැඩසටහනට අනුව ගණනය කළ හැකි වැදගත් ආර්ථික සාධකයක් තිබේ. එනම් කුඩු ජාවාරම බැරල් එකක් නම් කසිප්පු ජාවාරම දිදාලයකි. (දිදාලය යනු ඇඟිල්ලේ පළමුවැනි පුරුක වැසී යන ආකාරයේ කුඩා ලෝහ වැස්මකි. ඉස්සර කාලේ ජනයා ඉඳිකටු නූල්වලින් අතේ මහන විට ඉදිකට්ට ඇනී ඇඟිල්ල හිල්වීම වැළැක්වීම සඳහා දිදාලයක් පැළඳුවේය.) යුක්තිය වැඩසටහන බෙහෙවින් සාර්ථක වී ඇති බව පෙනේ. මෙතෙක් කල් රුපියල් දෙදහට වික්ක කුඩු පැකට් එක අද රුපියල් අටදාහකි. එනම් මාකට් එකේ කුඩු මිල සියයට 400 කින් ඉහළ ගොස් තිබෙන බවය. එහෙත් කසිප්පු මිල ස්වල්පයක්වත් වෙනස් වී නැත. කුඩු උද්ධමනය කුඩු කාරයා මත ඉතාම දරුණුවට බලපාන බව පෙනේ. කුඩු නැතිව සික් එක ගහන කට්ටිය දැන් ඉතින් කැස්සට ගන්නා විවිධ සිරප් වර්ග සොයමින් ෆාමසි පීරනවා ඇත. මේ නිසා තුණ්ඩු නැතිව බෙහෙත් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට ෆාමසි හිමියන් පියවර ගත යුතුව ඇත. කුඩු කාරයාට කුඩු සික් එක ගැසූ විට ඉතා දුක් සහගත දර්ශනයක් උපදී. කුඩු නැති නිසා ඔහුගේ ඇඟපත බෙහෙවින් වේදනා ගෙන දෙයි. මේ නිසා ඔහු හඬා වැළපෙමින් කුඩු බිංදුවක් ඉල්ලයි. එසේ දුක් විඳන මිනිහාට කැස්ස සිරප් එකක් දී සික් එක අඩු කිරීම සමහර විට පිනක් වීමට ඉඩ තිබේ. අප එසේ සිතුවද තුණ්ඩු නැතිව කැස්ස සිරප් විකිණීම ආණ්ඩුව දකින්නේ පවක් ලෙසය. තුණ්ඩු නැතිව සිරප් විකුණන ෆාමසිකාරයන් අත්අඩංගුවට ගන්නේ එබැවිනි.

ලංකාව යනු ආසියාවේ කුඩු හබ්එක බව විවිධ විද්වත්හු විටින් විට කියති. ඒ අතර පාකිස්තානයේ විද්වතුන් කියන්නේ ආසියාවේ කුඩු හබ්එක ඉන්දියාව බව ය. එම කුඩු හබ්එක පාකිස්තානය බව ඉන්දියානුවෝ කියති. නේපාලය සහ බංගලාදේශය යන දෙරටේ ද කුඩු ඇත. තායිලන්ත බුරුම දේශ සීමාව යනු කුඩු රාජධානියකි. ලෝකයේ කුඩු නැති ප්‍රදේශ දෙකක් තිබේ. ඉන් පළමුවැන්න භූතානයයි. දෙවැන්න එස්කිමෝ ජනයා වෙසෙන ආක්ටික් ප්‍රදේශයයි. යුක්තිය ආරම්භ වීමත් සමඟ කුඩු වෙළෙන්දන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්වූහ. කුඩු රොෂාන්, කවිදු මධුරංග වැනි මොඩන් නම් තිබෙන කුඩු වෙළෙන්දන් ද, ශ්‍රියානි හෙට්ටිආරච්චි වැනි පසුගිය ශත වර්ෂයට අයත් නම් ඇති කට්ටිය ද පොලිසියට අසු වූහ. මේ අයට අයත් මිල අධික වාහන ද, ගෙවල් හා ඉඩම් ද මේ වන විට හසු වී තිබේ. ඒවා තහනම් කර ඇත. පසුගිය දිනවල අත්අඩංගුවට පත් වූ තිදෙනකු සතුව රුපියල් ලක්‍ෂ 1060 දේපළ තිබිණ. මේ දේපළ ඉපයූ විදිය ඒවායේ අයිතිකරුවනට ඔප්පු කිරීමට බැරි විය. ඒ නිසා මේ මුදල් කුඩු මූලාශ්‍රවලින් ලැබුණු ආදායම් බවට සැක කෙරේ. කිසියම් දේපළක් ආණ්ඩුවෙන් තහනම් කළ විට එය ආපසු ලබා ගැනීම ගලෙන් පට්ටයක් ගන්නවා වැනි අමාරු වැඩකි. අපගේ වැටහීමට අනුව කුඩ්ඩන්ට සිය දේපළ කවදාවත් ආපසු ලබා ගැනීමට හැකි වන්නේ නැත. ඒ නිසා ඔවුන් පාවිච්චි කළ වටිනා වාහන උසාවි භූමිවල දිරා යෑමට ඉඩ නොදී කෙළින්ම රාජසන්තක කිරීමටත්, ඔවුන් සතු ඉඩකඩම් විකුණා මුදල්කර ගැනීමටත්, ඔවුන්ගේ බැංකුවල ඇති සල්ලි පවරාගෙන මහා භාණ්ඩාගාරයට ගෙන්වා ගැනීමටත් ආණ්ඩුව ක්‍රියාකළ යුතුය.

යුක්තිය මෙහෙයුම මගින් පෙනී යන්නේ මේ රටේ කුඩු කර්මාන්තය නිදහසේ වර්ධනය වීමට සියලු දෙනාම ඉඩ දී තිබූ බව ය. පසුගිය දිනවල පැවති සෝදිසි මෙහෙයුම්වලදී ගෙවල් දහයකට පොලිසියෙන් පැන්නේ නම් අඩුම ගණනේ ඉන් ගෙවල් දෙකකවත් කුඩු තොග සහ මාරක ආයුධ තිබී හසුවිය. පාරේ යන මෝටර් සයිකල් දහයක් චෙක් කරන විට ඉන් එකක හෝ දෙකක කුඩු තිබී හමුවිය. යුක්තිය දැනට ක්‍රියාත්මක වී ඇත්තේ රටේ ප්‍රදේශ කිහිපයක පමණි. දෙමටගොඩ පළාතේ එම මෙහෙයුම ක්‍රියාත්මක නොවන බව හිරුණිකා ප්‍රේමචන්‍ද්‍ර පවසා තිබේ. දෙමටගොඩ යනු කුඩු විමානයකි. දෙමටගොඩ, කොළොන්නාව, අංගොඩ ඇතුළු අවට ප්‍රදේශවල පාන්පිටිවලට වඩා කුඩු තිබෙන බව අපි විශ්වාස කරමු. ඒ නිසා හිරුණිකාට ගෞරව පිණිස හෝ දෙමටගොඩ සුද්ධ කළ යුතුය.

අපගේ වැටහීමට අනුව උතුර හා නැගෙනහිර පළාත් ද ඇතුළුව මේ රටේ සියලු ප්‍රදේශවල කුඩු වැටලීම් කළ පසු අල්ලා ගැනීමට ලැබෙන කුඩු තොගවලින් මාස දෙක තුනක් මුළු රටටම රොටී හදා කෑමට හැකි තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ. ඒ තරම් විශාල කුඩු තොගයක් මේ රටේ ඇත. ආසියාවේ කුඩු හබ්එක නොවුණත් ආසියාවේ වැඩි වශයෙන් කුඩු පරිභෝජනය කරන කාලකණ්ණි සිටින රටවල් දෙක තුනෙන් එකක් ලෙස ලංකාව ලෝක ඉතිහාසයට එක්වෙයි. මේ ඉතිහාසය ලියා කවදා හෝ දවසක පොතක් පළ කළ විට එම පොත කියවන අය ද ඉබේටම මත් වී බිම ඇද වැටෙනවා ඇත. ඒ තරමටම ලංකාවේ කුඩු තත්ත්වය දරුණුය. යුක්තිය මෙහෙයුම දිගටම ගෙන ගොස් කුඩු සම්පූර්ණයෙන් ම විනාශ නොකළොත් ඉදිරි අවුරුදු 5 තුළ මුළු ලංකාව කුඩේ කුඩු වීමට ඉඩ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment