පොරොන්දු ලොසිංජර දෙන දේශපාලනයක් අපි ළඟ නැහැ

331

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
බිංගිරිය තරුණ බල මණ්ඩලයේදී කියයි

තරුණයන්ට දේශපාලන පොරොන්දු ලොසිංජර ලෙස ලබාදී තරුණයන් අතරමං කරන දේශපාලන සංස්කෘතියක් අප රටේ තිබුණත් සමගි ජන බලවේගය බංකොලොත් රට තුළ තාරුණ්‍යය වෙනුවෙන් දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය(16)දා බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලය අමතමින් පැවසීය.

තමා සතු එම වැඩපිළිවෙළ ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත වන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

තමා මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනසක් ඇති කරන්න අපේක්ෂා කරන බවත් එහිදී කටපාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනස් වී මුල් ළමා විය, ප්‍රාථමික, ද්විතීයි සහ තෘතීයික යන කොටස් 4 ගුණාත්මකභාවයෙන් යුත් අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත් ඒ හරහා ගෝලීය සමාජය සමඟ තරග කළ හැකි සූරයන් වීරයන් බිහි කළ යුතු බවත් සුහුරු ගෝලීය පුරවැසියා බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෝලීය ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලු‍මට සරිලන නූතනවාදී සහ අනාගතවාදී අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා සෑම පාසලකම සුහුරු පන්ති කාමරයක්, ඉංග්‍රීසි භාෂාගාරයක් ඇති කළ යුතු බවත් ඒ තුළින් සුහුරු අධ්‍යාපනයක්, සුහුරු පාසලක්, සුහුරු සිසුවෙක්, සුහුරු තරුණයෙක්, සුහුරු පුරවැසියෙක් සහ සුහුරු රටක් ඇති කළ යුතු බවත් මේ සඳහා අධ්‍යාපනයේ වෙනසක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම තරුණයන්ට ව්‍යවසායකයන් ලෙස කටයුතු කළ හැකි නිපුණතා කුසලතා ඇති කළ යුතු බවත් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි මූලික ප්‍රාග්ධනය ලබාදී දේශීය නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් ශක්තිමත් කළ යුතු බවත් තරුණ තරුණියන්ට කුසලතා මත රැකියා ලැබීමේ අවස්ථාව ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අපේ රට බිත්තරවලින් ස්වයංපෝෂිත වී නැති බවත් එයට හේතුව ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා විශාල වශයෙන් බදු ගැසීම බවත් ඒ නිසා බිත්තර පවා විදේශ රටවලින් ගෙන්වීමට සිදුව ඇති බවත් එම නිසා සීමාසහිත විදේශ විනිමය පවා කැප කිරීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් දුරට හිමිකම් තිබුණත් එය හරියාකාරව ප්‍රායෝජනයට නොගන්නා බවත් රටට මුදල් නොමැති නම් ඒකාබද්ධ ව්‍යාපෘති හරහා තිරසර සංවර්ධනයක් ක්‍රියාත්මක කළ හැකි බවත් එවැනි නව නිර්මාණශිලී විසඳුම් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment