සිසුවියකට අතවර කර වසර 10ක් සැඟවී සිටි වරෙන්තුකරු කූරුගනී

499

පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටිමින් වසර 10 ක් සැඟව සිටි වරෙන්තුකරුවකු මාවනැල්ල ප්‍රදේශයේදී ඉකුත් 08 දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. කපිල විජේරත්න මහතා පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ 29 හැවිරිදි අයෙකි.

සැකකරු ඔහු පදිංචිව සිටි වත්තේ 11 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කිරීමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය මගින් එවකට අත්අඩංගුවට ගැනීමට සූදානම් වී සිටි අවස්ථාවේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟව සිට විවිධ රැකියාවල නිරතව සිට ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටී. වෙස් වලාගෙන කඩල විකුණමින් සිටින බවට නෝටන්බ්‍රිජ් පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත යුක්තියේ මෙහෙයුමට සමගාමීව හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිපුණ දෙහිගම මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ උපදෙස් පරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටී.

අත්අඩංගුවට ගත් වරෙන්තුකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නෝටන්බ්‍රිජ් පොලිසියේ බුද්ධි අංශයේ පො.කො. රාමනාදන් (89032), අපරාධ විමර්ශන අංශයේ පො.සැ. හරෙන් (72735), පො.කො. සඳරුවන් (81203), පො.කො. නුවන් (77577) යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment