නව සභාපති උතුරාවල ධම්මරතන හිමි

166

ශ්‍රී ලංකා පොදුජන පොරමුණේ නව සභාපතිවරයා ලෙස පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පොරමුණේ මහ සභා රැස්වීම පසුගිය 22දා එම පක්ෂ මූලස්ථානයේදී පැවති අතර එම රැස්වීමට සහභාගි වන ලෙස හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ආරාධනා කර ඇතත් ඒ මහතා ඊට සහභාගි වී නැත. ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ලෙස කටයුතු නොකරන බැවින් නව සභාපති ලෙස උතුරාවල ධම්මරතන හිමියන් පත්කර ගන්නා ලෙස යෝජනා වී ඇති අතර එම යෝජනාව ඒකඡන්දයෙන් සම්මත වී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නම වෙනස් කර දේශපාලන කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ නමැති ලියාපදිංචි පක්ෂය වන අතර එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ද මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ය. නව පත්වීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර ඇතත් ඊයේ සවස් වනතුරුත් ඒ පිළිබඳව කිසිදු දැනුම්දීමක් කර නොතිබිණි.

පසුගිය 22දා පැවති මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, ජාතික සංවිධායක ලෙස බැසිල් රාජපක්ෂ මහතාත්, මහ ලේකම් ලෙස නීතිඥ සාගර කාරියවසම් මහතාත් එකඡන්දයෙන් යළි පත් කරගෙන ඇත.
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment