රුහුණු මාගම්පත්තුවේ ශාසනික දියුණුවට උරදුන් රිදියගම ශ්‍රී ඤාණවිමල නාහිමි

50

(රිදියගම ශ්‍රී ඤාණවිමල නායක මාහිමියන් අපවත් වී ජූලි 14 දිනට 85 වසරක් සැපිරීම නිමිත්තෙනි.)

රෝහණ පුරවරය ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ දේශපාලනික, ආර්ථික හා ආගමික වශයෙන් සුවිශේෂී අවස්ථා නිර්මාණය කළ ප්‍රදේශයක් ලෙස ඉතිහාසයට එක්වී නැත. ඒ අතර රුහුණු මාගම්පත්තුවේ වර්තමාන ශාසනික දියුණුවට මහඟු සේවාවක් ඉටුකළ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස රිදියගම ශ්‍රී ඤාණවිමල නාහිමිපාණන් වහන්සේ ශාසනික ඉතිහාසයට සම්බන්ධ වී ඇත.

අම්බලන්තොට කොග්ගල්ලේ විවේකාරාමය මුල්කරගෙන උන්වහන්සේ ශාසනික සේවාව ආරම්භ කළහ. විසුද්ධි මාර්ගයේ සඳහන් වන අග්‍ර ඛීනාශ්‍රවයන් වහන්සේ නමක් වන චිත්ත ගුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිය රුහුණු රිදියගම කරණ්ඩක ලෙන් විහාරය 1926 දී එවකට හම්බන්තොට උපදිසාපති වූ ඉංග්‍රීසි ජාතික ආර්. එම්. එම්. වර්ස්ලි මහතාගේ නිසි අවසරයෙන් එකී පැරණි සිද්ධස්ථානය දියුණු කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව අප නායක ස්වාමින් වහන්සේ ඉපැරණි ගල්ලෙන් ප්‍රතිසංස්කරණය කරන ලද අතර, චෛත්‍ය රාජයාණන් වහන්සේ, බෝධින් වහන්සේ, ගල්ලෙන් විහාරයන් සහ ධර්ම ශාලාව ඉදිකොට ඒවා බෞද්ධ සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පත් කරන ලදී. උන්වහන්සේ සමග උරෙන් උර ගැටෙමින් ශාසනික සේවාවක් ඉදිරියට ගෙන යෑමට සහාය වූ වළවේ ශ්‍රී ජයවර්ධනාරාමාධිපතිව වැඩවිසූ ගුණපාල නාහිමි ද මෙම ශාසනික සත්කාරයට සෑම අතින්ම සහාය දුන්හ.

එවකට ඉංග්‍රීසි පාලකයන් වරප්‍රසාද ලැබූ අන්‍යාගමිකයන්ට හම්බන්තොට, කිරින්ද, අම්බලන්තොට ආදී ප්‍රදේශවල ඉඩම් ලබාදීම සිදු වූ අතර මෙම හේතුව නිසා පූජනීය ස්ථානයන්ට අයත් ඉඩම් ද බෞද්ධයන්ට අහිමිවන්නට විය.

එම තත්ත්වය වෙනස්කොට බෞද්ධ හඬක් නංවා ඉංග්‍රීසි ආණ්ඩුවට පවා විරෝධයක් පාන්නට මෙම නාහිමිවරු සමත් වූ අතර එම හේතුව තුළින් රුහුණු මාගම්පත්තුවේ විසිරී පැතිරී තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමට ද නිරන්තරයෙන්ම හැකි විය. විහාරාරාම ඉදිකරමින් ආවාස ගෙවල් තනවමින් බෞද්ධ උවැසි උවැසියන්ගේ සහයෝගය මත එම ප්‍රදේශවල බෞද්ධ බලය ශක්තිමත් කිරීමට රිදියගම ශ්‍රී ඤාණවිමල නාහිමියන් අප්‍රතිහත ධෛර්යයකින් යුක්තව කටයුතු කරන ලදී. ඈත අතීතයේ සිට අද දක්වා ගම්මානවල බෞද්ධ පරිසරය ගුණවත්, බුද්ධිමත් පරිසරයක් බවට පත්වූයේ මෙවන් ආගමික හා ප්‍රජා සේවාවන් නිසාය.

රිදියගම ශ්‍රී ඤාණවිමල නාහිමියන් වහන්සේ 1937 ජූලි මස 14 වැනි දින අපවත් වූහ. අවුරුදු 85කට කලින් ආරම්භ කරන ලද ශාසනික මෙහෙවර රුහුණු මාගම්පත්තුවට පමණක් සීමා නොවී අද වනවිට ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇත. උගත්, ගුණවත් භික්ෂූන් වහන්සෙ විහාරාරාම ආරම්භ කරමින් පොදු ජනතාවගේ සැදැහැවත් බව තව තවත් දියුණු කරන අතර ඔවුන් තුළ සමාජයට වැඩදායක ආකල්ප ඇති කිරීමත් ඒ තුළින් අවංක හා නිහතමානී රටට දැයට ආදරය ඇති ප්‍රජාවක් බිහිකිරීම නිරන්තරයෙන්ම සිදුවේ.

වර්තමානයේ අමරපුර සද්ධම්ම යුක්තික (මාතර) මහ නිකායේ අනුනායක පදවියට පත් නැදිගම්විල රාජමහා විහාරාධිපති, ශ්‍රී නාරද පරිවේණාධිපති, ශාස්ත්‍රපති උයන්වත්තේ සද්ධාරාම නාහිමි, කොග්ගල්ලේ විවේකාරාමයේ හා මාලිගාවත්තේ ඤාණවිමලාරාමාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ වළකුඹුරේ ධම්මාධාර මාහිමි, එහි වර්තමාන විහාරාධිපති නලගම රාහුල හිමි, අමරපුර සිරි සද්ධම්ම යුක්තික (මාතර) මහා නිකායේ මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති බැරගම විමලබුද්ධි නාහිමි ඇතුළු උගත් විනයධර භික්ෂූන් වහන්සේ රාශියක් ඤාණවිමල භික්ෂු පරපුර වෙනුවෙන් රටට දැයට ඉමහත් ආගමික සේවාවක් කරන අතර, එම නිරන්තර සේවාව රුහුණු මාගම්පත්තුව තුළ නිරන්තරයෙන්ම රැව්දෙන බව ප්‍රකාශ කළ යුතුව ඇත. අපවත්වී වදාළ රිදියගම ශ්‍රී ඤාණවිමල නාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත්වී වදාළ සෙසු නාහිමිවරුන්ට ද නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමි.

කොග්ගල්ලේ ප්‍රේමදාස ගමගේ (තර්ස්ටන් විද්‍යාලයේ හිටපු ආචාර්ය)

advertistmentadvertistment
advertistmentadvertistment