අභිමානවත් 176 වැනි සංවත්සරය සමරන දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලය

57

ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලය බොහෝ ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ විදුබිමකි. 1847 ජූලි මස 17 වැනි දින එංගලන්ත සභාවෙන් මේ කීර්තිමත් විදුබිම ආරම්භ කොට ඇත. ඇමරිකානු ජාතිකයකු වූ ඩ්වින්ටන් සාමිවරයා විදුහල්පති ධුරය දැරූ යුගය මෙම විදුහලේ ස්වර්ණමය යුගය වශයෙන් හඳුන්වනු ලබයි. දෙවන ලෝක සංග්‍රාමය පැවති අවදියේ මේ විදුහල භාරව කටයුතු කර ඇත්තේ ඩී. ජේ. කොකල් නම් පියතුමාය.

ආරම්භයේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදුන් මෙම පාසල දිවයිනේ තිබූ පාසල් අතර ප්‍රමුඛස්ථානය ලබාගත් කීර්තිමත් විදුබිමකි. මැතිව් නම් ශාන්තුවරයා සිහිවීමට ආරම්භ කළ මේ විදු බිමෙන් කේම්බි්‍රජ් මෙට්රිකියුලේෂන් විභාගයෙන් අති විශිෂ්ටයන් බිහිකිරීමට සමත් වූ බව විදුහලේ ඉතිහාසය සාක්‍ෂි දරයි.

1961 වසරේ විදුහල රජයට පවරා ගැනීමෙන් පසු ශීඝ්‍ර දියුණුවකට අවැසි මංපෙත් විවර විය. ආරම්භයේ සිටම අප විදුහල ආලෝකමත් කළ විදුහල්පතිවරුන් සිහිපත් කිරීමේදී ඒ. ජේ. ප්‍රෙෂර් (1887-1895), ඩී. වැන්කබුලන්බර්ග් (1895-1905) කොකල් පියතුමා (1905-1915), ඒ. ශිවරත්නම් (1930-1936), බැසිල් ජයවර්ධන පියතුමා (1936-1949), පී. ටී. අයි. ඒකනායක (1949-1950), ආචාර්ය ඒ. රාජේන්ද්‍රන්, (1950-1960), පී. එෆ්. ඕ. ද සිල්වා (1961-1972), ඩෙන්සිල් සිල්වා (1972-1977), ඩී. බී. ජයතිලක (1978-1988), ජේ. අයි. කරුණාරත්න (1988-1996), ජයන්ත මොහොට්ටාල (1996-2015), යූ. ඩී. එස්. වික්‍රමරත්න (2015-2022) විදුහල්පතිවරුන් ඉටුකළ අගනා මෙහෙවර ඉතාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුව ඇත.

2023 ජනවාරි මස සිට අද දක්වා චුලනි හෙට්ටිආරච්චි මහත්මිය විදුහල්පතිනිය වශයෙන් ශාන්ත මැතිව් විදුහල උසස් විදුහලක් බවට පත් කිරීමට දැඩි ඇප කැපවීමෙන් වැඩකටයුතු කරමින් සිටී. විදුහලේ අතීත ශ්‍රී විභූතිය ගැන වර්තමාන විදුහල්පතිනි චුලනි හෙට්ටිආරච්චි මහත්මිය, පුරා වසර 176 කට උරුමකම් කියන අපගේ ගෞරවණීය විදුබිමෙන් සමාජයට දායාද කළ උගතුන්ගේ හා වියතුන්ගෙන් රණවිරුවන් පමණක් නොව කලාකරුවන්ගේ ද අඩුවක් නොවූ අප විදුහල් මෑණියන් රටට දයාද කළ වියතුන් හා කලාකරුවන් අතරින් කීපදෙනකු මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත. ඒ අනුව විචිත්‍ර ධර්ම කථික අපවත් වී වදාළ කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි, තවමත් අප අතරේ වැඩ සිටින විචිත්‍ර ධර්ම කථික බොරැල්ලේ කෝවිද හිමි, ද මෙල් පියතුමා, විශ්‍රාමලත් බන්ධනාගාර අධිකාරි ලාල් වික්‍රමසිංහ, හෙළ සිනමා වංශ කථාවේ නිළි රැජින හා ප්‍රසිද්ධ ගායිකා රුක්මණණීදේවි, ප්‍රකට නළු ඩී. ආර්. නානායක්කාර, ළමා ගායිකාවක් මෙන්ම නිළියක් වූ කැලණි සරසවියේ කථිකාචාර්යවරියක් වූ ටි්‍රලීෂියා අබේකෝන්, සංගීත නිපුන් සනත් නන්දසිරි, චිත්‍ර ශිල්පි ජෝ දඹුලුගල, සිනමා නිළි රමණි ෆොන්සේකා, ප්‍රවීණ ටෙලි සිනමා නළු ලංකා පතිරාජ, හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස, හිටපු ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි, හිටපු නියෝජ්‍ය අමාත්‍ය එදිරිවීර ප්‍රේමරත්න, ක්‍රිකට් ක්‍රීඩක ශිව බාලසිංහ, වී. මහේන්ද්‍රන්, හිටපු නාගරික මන්ත්‍රී බන්දුල කොලොන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පාලක මණ්ඩලයේ විනිසුරු යූ. එස්. සී. පෙරේරා, ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩක ජගත් නෙත්තිකුමාර, ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු නායක මහින්ද පාලිත, පාපන්දු ක්‍රීඩක ඩේන් ෆ්‍රීනා, පාර්ලිමේන්තුවේ හිටපු ඕම්බුස්ඩ්මන් තිස්ස පෙරේරා, වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ ශ්‍රීමති කොඩිකාර, හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ උවයිස් අහමඩ්, මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අතර නිලංග බුද්ධික, ඩබ්ලිව්. කේ. චන්දන ඔෂධ, කපුගේ නිශාන්ත මෙන්ම නීතිඥ ලියනාරච්චි, ප්‍රවීණ තාරකා විද්‍යාඥ අසේල ධර්මසිරිවර්ධන, මහජන බැංකුවේ හිටපු කළමනාකරු නිහාල් ප්‍රේමසිරි ඇතුළු තවත් බොහෝ දෙනෙකි.

අප විදුහලේ භෞතික දියුණුව වෙනුවෙන් කොළඹ නාගරික මන්ත්‍රී නෙවිල් මිල්රෝයි, කොටිකාවත්ත මුල්ලේරියාවේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉඳුනිල් ජගත් මහතා ඇතුළු මහජන නියෝජිතයන්, පාසල් සංවර්ධන සමිතියේ හා පාසලේ ආදි ශිෂ්‍යයන් වන මොහොමඩ් රමේෂ්, වෙළෙඳ ව්‍යාපාරික ලලිත් කුමාර, මොහොමඩ් ඩීන් යන මහත්වරුන් ද, සුබ පතන්නන්ද දායකත්වය ලබාදෙන ලදී. ඔවුන්ගෙන් විදුහලට ලැබෙන සහයෝගය මේ මොහොතේ අගේකොට සලකමු.

විදුහලේ දියුණුව වෙනුවෙන් අප දිරිමත් කරන පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඒ. ජී. නිමල් ජයවීර මහතා ද කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පී. ආර්. දේවබන්දු මහතාද ද බොරැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා එන්. කේ. ඩබ්. ප්‍රියදර්ශනි පෙරේරා මහත්මිය ද මේ අවස්ථාවේ සිහිපත් කරමු.

අවසන් වශයෙන් 176 වැනි ජන්ම දිනය සමරන අප විදුහල් මෑණියන් තවත් චිරාත් කාලයක් අනාගත පරපුර වෙනුවෙන් දැනුම බෙදාදෙමින් වැජඹේවා යනු ආදි සිසුවන් වන අපගේ ඒකායන පැතුමයි.

ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්, ශාන්ත මැතිව් විද්‍යාලයේ සහකාර විදුහල්පති ජී. කේ. අයි. බන්දුල පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment