සෝමපුර විද්‍යාලය අලි රංචුවක් ඇවිත් විනාශ කරයිගුරුවරු සහ දරුවෝ අසරණ වෙති

73

සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සෝමපුර ප්‍රාථමික විද්‍යාලයට ඉකුත් සිකුරාදා පැමිණි වල් අලි රංචුවක් විදුහලේ ගොඩනැඟිල්ලක් විනාශ කොට විදුහල් භූමියද වනසා දමා ගොස් ඇතැයි සේරුනුවර පොලිසිය කියයි.

විදුහලේ පළමු, දෙවන හා තෙවන පන්ති කාමර හා ක්‍රීඩා කමරයද මෙලෙස වනසා දමා ඇති අතර මේ නිසා ගුරුවරු මෙන්ම දරුවන්ද පත්ව ඇත්තේ මහත් අසරණ තත්ත්වයකටය.

තුන්සීයකට අධික දරුවන් පිරිසක් ඉගෙනුම ලබන මෙම පාසලේ පන්ති කාමරවල ඇති යකඩ දැල් දොරවල් හා බිත්තිද බිමට පෙරළා දමා ඇත.

සෑම දිනකම වාගේ හවස් කාලයේ එන වන අලින් තිහක් හතළිහක් අතර ප්‍රමාණයක් විදුහල් භූමියට කඩා වදින බවට මීට කලින් තෙවතාවක් භූමියට වැදී මහත් වූ විනාශයන් කර ඇති බැවින් පාසල වටා විදුලි වැටක් හෝ ඉදිකර දෙන මෙන් ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

දේශපාලකයින් ජනතාව රවටා ඡන්දය අරන් ගියත් දැන් අපි ඉන්නවාද නැද්ද කියා බලන්නේ නැති බවද ස්වේච්ඡාවෙන් උදවු කරන ගුවන් විදුලි නාලිකා වලින් හෝ සමාජ සත්කාරක ආයතනයකින් හෝ යම් උදව්වක් ලැබේවි යන විශ්වාසය මත තමන් මෙම ඉල්ලීම කරන බවද ඔවුහු අප සමග පැවසූහ.

මේ අතර වඩාත්ම ඛේදවාචකය වන්නේ මුරකරුවකු හෝ වෙනත් කිසිදු ආරක්ෂාවක් නොමැති නිසා වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණ ඉමහත් සේවයක් කරන ගුරුවර ගුරුවරියන් හට ගුරු නිවාස තිබුණද ඒවායේ නොසිට කාලයත් මුදලුත් වැයකොට කිසිදු පහසුකමක් නොමැතිව පිට නිවෙස්වල නවාතැන් ගැනීමට සිදුවීමයි.
කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment