සිතාසි නැතත් උසාවියේ පෙනී සිටි වීරතුංග හා කබ්රාල්ගේ සිතාසි ආපසු කැඳවයි

120

සිතාසි ලැබී නොතිබියදීත් අධිකරණයට ගරු කරමින් ස්වෙච්ඡාවෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණයට කැඳවමින් නිකුත් කොට තිබූ සිතාසි ආපසු කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (17දා) නියෝග කළේය.

සිය සේවාදායකයන්ට පසුගිය ජනවාරි 26 වැනිදා අධිකරණය විසින් නිකුත් කොට තිබූ සිතාසි මේ දක්වා ලැබී නැතත් එම නඩුව ඊයේ (17දා) කැඳවන බවට මාධ්‍ය මගින් දැනගත් නිසා අධිකරණයට සිදුකරන ගරු කිරීමක් ලෙස ඔවුන් ස්වෙච්ඡාවෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි බව ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් හා කාංචන රත්වත්තේ යන මහත්වරු අධිකරණයට පැවසූහ. පැමිණිල්ල නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් කටයුතු කර ඇති බවත්, කෙසේ නමුත් සිතාසි ලැබී නොතිබියදීත් සැකකරුවන් නීතියට ගරුකර අධිකරණය හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් සතුටු වන බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයට පැවසීය.

එම සැකකරුවන් දෙදෙනාට විදේශ ගතවීම වළක්වන නියෝග නිකුත් කරන ලෙසට පැමිණිල්ල ඉල්ලා නොසිටින නමුත් විදේශගත වන විට අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසට ඔවුන්ට නියෝග කරනා ලෙසටද ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත එම සැකකරුවන් මුදාහැරීමටත් පැමිණිල්ල විසින් අධිකරණයට භාරදී ඇති සියලු ලේඛනවල පිටපත් විත්තියට ලබාදීමටත් නියෝග කළේය.

2014 වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි පකිස්ථාන ජාතිකයකු වන ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට නිත්‍යානුකූල අවසරයකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවීම ඇතුළු චෝදනා නගමින් පූජ්‍ය කීනියාවල පාලිත හිමියන් එම පෞද්ගලික නඩුව ගොනුකර තිබිණි. එම නඩුව ලබන මාර්තු 21 වැනිදා යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් පැමිණිල්ලේ ලේඛන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මූලික විරෝධතා ගොනු කරන බවද ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා හා නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණයට පැවසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment