පුත්තලමේ මන්ත්‍රීවරු තිදෙනෙක් රිය අනතුරුවලින් මියගිහින්

229

ගෙවීගිය වසර 30ක කාලයේ පුත්තලමේ ප්‍රබල දේශපාලනඥයින් තිදෙනකුම මාර්ග රිය අනතුරු වලින් මරණයට පත්වී ඇත. (ඊයේ 25) අලුයම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මියගිය ජල සම්පාදන රාජ්‍ය ඇමැති, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මෙන්ම පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවූ නීතිඥ ගොඩ්ප්‍රි ජෝසප් ප්‍රනාන්දු සහ හිටපු රාජ්‍ය ඇමැතිවරයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අශෝක වඩිගමංගාව යන මහත්වරුන්ද රිය අනතුරුවලින් මීට පෙර මරණයට පත්වී ඇත.

1994 නොවැම්බර් 09 වැනිදා සිට 2024 ජනවාරි 25 වැනිදා දක්වා කාලයේ මෙම රිය අනතුරුවලින් මෙම දේශපාලකයෝ මරුමුවට පත්වූහ. ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා 2015 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා 2020 අගෝස්තු මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව ජල සම්පාදන රාජ්‍ය ඇමැති ධුරයට පත්විය.

1981 ආනමඩුව අතුරු මැතිවරණයෙන් එජාප මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අශෝක වඩිගමංගාව මහතා 1989 මහා මැතිවරණයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට එජාපයෙන් තේරී පත්විය. 2019 ජනාධිපතිවරණයේදී හෝ ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තරග කළ අතර 2020 අගෝස්තු මහා මැතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයකු ලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා භාරදී තිබිය දී කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාදෙණිය මොරගස්ගොල්ල ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් මරුමුවට පත්විය.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 1994 අගෝස්තු 16 වැනිදා තේරී පත්ව සිට නීතිඥ ගොඩ්ප්‍රි ප්‍රනාන්දු මහතා එම වසරේ නොවැම්බර් 09 වැනිදා පැවැති ජනාධිපතිවරණ දිනයේ පුත්තලම කච්චේරියේ සිට සිය රථයෙන් ගමන් කරමින් සිටිය දී වාහනය ලිස්ස ගොස් සිදුවූ රිය අනතුරකින් හේ මරණයට පත්විය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment