මහ බැංකුව මැයි මාසයේ ඩොලර් මිලියන 662.50ක් මිලදී ගනී

278

පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 662.50 ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇත.

මේ අනුව 2023 වර්ෂයේ මුල් මාස 05 තුළ ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති මුළු ඩොලර් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,897.54 ක් බව මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.

මීට පෙර 2023 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 348.79 ක්, පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 287 ක්, මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 451.50 ක් හා අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 147.75 ක් වශයෙන් ඩොලර් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබේ.

මෙම මාස 05 තුළ මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළේ විකුණා ඇති ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 226.17 ක් වේ. 2023 අප්‍රේල් සහ මැයි මාසවල දී කිසිදු ආකාරයේ ඩොලර් විකිණීමක් සිදු නොකිරීම මෙහිදී විශේෂත්වයකි.

මේ අනුව මේ වසරේ 2023 මුල් මාස පහ තුළ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ වශයෙන් මිලදී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,671.37 කි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment