ඝාතන රැල්ල නිසා කන්න බොන්න නැතිව සිටින ජනතාවට පාරට බහින්නත් බැරිවෙලා – ජේ. සී. අලවතුවල (සජබ)

72

අරගලයක් නිර්මාණය වී ජනතාවගේ ඇස් ඇරුණේ සමාජ මාධ්‍ය නිසයි – රෝහිණි කවිරත්න (සජබ)

යුක්තිය මාධ්‍ය සංදර්ශනයක්:

ජීවත් වීමට නොහැකිව අරගලයක නිරත වී සිටින ජනතාවට අද වනවිට ආරක්ෂාව සම්බන්ධයෙනුත් ප්‍රශ්න මතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ (24 දා) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා මේ බව පැවැසූ අතර මෙම මාධ්‍ය හමුවේදී රෝහිණි කවිරත්න මහත්මියද අදහස් දැක්වූවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා:

ජනතාව ජීවන අරගලයක සිටින මොහොතක රටේ අදවන වනවිට ඝාතන රැල්ලක් ද නිර්මාණය වෙලා තිබෙනවා. මේ නිසා ජනතාවට තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට මහ මගට බැසීමට පවා නොහැකිවෙලා තිබෙනවා.

පසුගිය සතිය තුළ ඝාතන ගණනාවක් සිදුවෙලා තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ දී ජීප් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් 05 දෙනෙක් මියගිහින් තිබුණා.

නාරම්මලදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී පුද්ගලයකු මියගියා. පන්සලක් තුළදී ස්වාමීන් වහන්සේනමකට ද වෙඩි තියලා ඝාතනය කරලා තිබෙනවා. ඒ වගේම පසුගිය දිනවල රට තුළ සිදුවුණ ඝානතවලට ගොදුරු වුණ පිරිස් අතරින් කිහිපදෙනෙක් අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නෙවෙයි.

මාධ්‍ය සංදර්ශන පවත්වමින් මත්ද්‍රව්‍ය අල්ලන බව කියමින් පොලිසිය විසින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ රට තුළ ඝාතන රැල්ලකුත් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අතර රටේ සිදුවුණ අපරාධවලට හේතු දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හවසට මාධ්‍ය හමුවක් තියලා ඒ ගැන රටට කියනවා. රටේ තිබෙන අපරාධ රැල්ල මැඬපත්වන්න මේ කටයුත්ත පමණක් ප්‍රමාණවත් නෑ. රටේ සිදුවන ඝාතන රැල්ල පිළිබඳ විශේෂ කමිටුවක් පත්කරලා ඒ පිළිබඳව සොයාබලා රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය වහාම පියවර ගත යුතුයි.

පසුගිය වසර ගණනාවක් තුළ විශාල ප්‍රමාණයක් ඝාතන සිදුවෙලා තිබෙනවා. වර්තමානය වනවිට දවසින් දවස රටේ ඝාතන රැල්ල වැඩිවෙලා තිබෙනවා. මේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පොලිසියට හැකියාව තිබෙනවා.

පොලිසිය භාර ඇමැතිවරයාට මේ සිද්ධීන්වලට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් කරන්න පුලුවන් කෙනෙකුට භාර දෙන්න. ආණ්ඩුව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිනොවීමට අවශ්‍ය පියවර ගතයුතුව තිබෙනවා. රටේ ජනතාවට කන්න බොන්න නැතිව සිටින අවස්ථාවක පාරට බහින්න බැරි තත්ත්වයක් ද අද ඇතිවෙලා තිබෙනවා.

යුක්තියේ මෙහෙයුම අතර කාලයේදී තමයි මේ ඝාතන සියල්ල සිදුවෙලා තිබෙන්නේ. යුක්තියේ මෙහෙයුම තුළ ඝාතන රැල්ල අඩුවෙලා නෑ වැඩිවෙලා තියෙන්නේ. යුක්තියේ මෙහෙයුම කියන්නේ මාධ්‍ය සංදර්ශනයක්.

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කරන එකට රටේ ජනතාව කැමැතියි. ජනතාව ඊට විරුද්ධ වෙන්නේ නෑ. මෙහෙයුම් කරන්න කරන්න අපරාධ රැල්ල වැඩි වෙන්න බෑ අඩුවිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය,

මාර්ගස්ථ ආරක්ෂණ පනත ඉස්සරහටත් හැමෝම ඉස්සරහට දාන වෙළෙඳ භාණ්ඩය තමයි දරුවන් සහ කාන්තාවන්. මාර්ගස්ථ ආරක්ෂණ පනත ගේන්නේ රටේ සිටින දරුවන්ට සහ කාන්තාවන්ට සමාජ මාධ්‍ය හරහා සිදුවන හිංසනය වළක්වා ගන්න. නමුත් ඒ පනතේ කාන්තාව සහ දරුවා කියන වචනය ඇතුළත් වෙන්නේ නෑ.

මේ රටේ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් සිදුවන හිංසනයන්ට රටේ නීති පද්ධතියක් තිබෙනවා. හිංසනයට වළක්වාගන්න කියලා රටේ නිදහස නැති කරන එක කරන්න ඕන දෙයක් නෙවෙයි. කාන්තාවන් සහ දරුවන් ගැන සැබෑ කැක්කුමක් තිබෙනවානම් රටේ තිබෙන නීති බලාත්මක කරන එකයි තියෙන්නේ.

සමාජ මාධ්‍ය තුළින් රටේ දරුවන් සහ කාන්තාවන් හිංසනයට ලක්වෙනවා. ඒ සඳහා රටේ තිබෙන නීති ක්‍රියාත්මක කළ යුතුයි. ඒවාට අධිකරණයේ නඩු පැවැරිය යුතුයි. ඒ නඩු වලට කඩිනමින් තීන්දු ලබාදීම සිදුකළ යුතුයි. රටේ අධිකරණවල කාන්තාවන් සහ දරුවන් සම්බන්ධ නඩු විශාල ප්‍රමාණයක් ගොඩ ගැහිලා තිබෙනවා. ඒ නඩුවල තින්දුව ලැබෙනකොට ඒ කාන්තාව මියගිහින් දරුවන් විවාහ වෙලා. මෙවැති තත්ත්වක් තමයි රටේ දරුවන් සහ කාන්තාවන් සම්බන්ධයෙන් තිබෙන්නේ.

නිවැරදි තොරතුරු ලබානොදීම නිසා රටේ තිබුණ නිදහස නැති කරගෙන ඉන්න හිටින්න රටක් හොයන්න ගිහින් වහලුන් වෙච්ච යුගයක් අපි දැක්කා. ඒ තුළ සමාජ මාධ්‍ය කළ කාර්යය ඉතාම වැදගත්. ඒ නිසා තමයි අරගලයක් නිර්මාණය වෙලා ජනතාවගේ ඇස් ඇරුණේ. තොරතුරු දැන ගන්න සමාාජ මාධ්‍ය වැදගත් වෙනවා.

විශ්වාසනීය තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගන්න. ඒ තුළින් සමාජයේ ප්‍රගමනයක් ඇතිවෙනවා විකල්ප මතවාද ඇතිවෙනවා. මේ නිදහස තමයි මාර්ගස්ථ ආරක්ෂණ පනත ගෙනල්ලා නැති කරන්න යන්නේ.

සමාජ මාධ්‍ය තුළ වැරැද්දක් තිබෙනවානම් ඒවා නිවැරදි කරන්න නීතිවලින් විතරක් කරන්න ලැස්ති වෙන්නේ නැතිව ආකල්පමය වශයෙන් අපි ලියන කියවන මිනිසුන් සංවර්ධනය කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment