කරුණාව සහ පරාර්ථකාමිත්වය මගින් අප රට වෙනස් කළ හැකිද?

111

අපි ජීවත් වන්නේ බොහෝ බෙදීම් හා දුක් වේදනා සමග ය. ජාතිය, ආගම්, කුලය, පාසල, පොහොසත්, දුප්පත්, මහලු සහ තරුණ, ඔබ උපන් නගරය පක්‍ෂ දේශපාලන ආදී වශයෙන් අපි බෙදී සිටිමු. වඩා දයානුකම්පිත කරුණාවන්ත ලාංකික ජනතාවක් ප්‍රාර්ථනා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. වෙනසට බලපාන දයානුකම්පාව හිතාමතා භේදයක් නොමැතිව එදිනෙදා භාවිතයෙන් දුක් වේදනා සමනය කර, අපට ලෝකය සුවකළ හැකිය.

දයානුකම්පාව පුරුදු කිරීම ශාරීරික ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තරම් සෞඛ්‍යයට වැදගත් බව විද්‍යාත්මකව ද වටහාගෙන ඇත. කරුණාව මෛත්‍රිය සහ පරාර්ථකාමිත්වය දහම් පාසලේ පමණක් සාකච්ඡා කොට ඒ පිළිබඳ විභාගයකට උත්තර දීමට සලස්සන මාතෘකාවක් නොවේ. එය අද විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංකීර්ණ ප්‍රශ්නවලට විසඳුමකි. පිළිකාවක් මෙන් සමාජගත වී ඇති දූෂණය, ආකල්ප සහ සදාචාරාත්මක වටිනාකම් පිරිහීම, අධික තණ්හාව, රාජ්‍ය සේවයේ අඩපණ වීම, අධ්‍යාපනය කඩාවැටීම, වැඩිවෙමින් පවතින අපරාධ, ආර්ථිකය කඩාවැටීම, මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි වීම, සෞඛ්‍ය සේවයේ බිඳවැටීම.

අප රටේ ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය ඉතා වැඩිවෙමින් පවතී. මේ සියල්ල කරුණාව සහ පරාර්ථකාමිත්වය මුල් තැන ගැන රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමෙන් විසඳිය හැකි බව අද විද්‍යාත්මකවත් තහවුරු වී ඇත.

කරුණාව සහ පරාර්ථකාමී බව නිතර භාවිතයේ දී පවුලේ ද, පාසලේ ද, සමාජයේ ද, රැකියා කරන ආයතනයේද විශාල වෙනසක් වෙන බව විද්‍යාත්මකව ද තහවුරු වී ඇත. එය සමාජයේ විශාල යහපතට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. වෘත්තීයවේදීන්, දෙමාපියන්, විශ්‍රාමිකයන් සහ ජීවිතයේ සෑම තරාතිරමකම රටේ වෙනසක් කරන්න උත්සහ ගන්නා නායකයන් ප්‍රායෝගික අනුකම්පා පුහුණුව සඳහා සහභාගි විය යුතුය.

දලයි ලාමා ලෝක ප්‍රකට මනෝවිද්‍යාඥ ඩැනියෙල් ගෝල්මන්ගෙන් ඉල්ලා සිටියේ වඩා හොඳ ලෝකයක් සඳහා වූ ඔහුගේ දැක්ම සහ විද්‍යාවට ඉටුකළ හැකි කාර්යභාරය පිළිබඳ පොතක් ලිවීමට. ඔවුන්ගේ සහයෝගීතාවයේ ප්‍රතිඵලය වූයේ A Force for Good: The Dalai Lama’s Vision for Our World, නමින් පොතක් ප්‍රකාශ කිරීමයි. (දලයි ලාමාගේ ලෝකය සඳහා දැක්ම මෙන්ම ක්‍රියාවට ආරාධනාවක් වේ.) ඔහු කතා කරන්නේ බෞද්ධ දෘෂ්ටිකෝණයකින් නොවේ. ඔහු ඇත්තටම කතා කරන්නේ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින්. ඔහු Stanford, Emory සහ Wisconsin විශ්වවිද්‍යාලය වැනි ස්ථානවලින් එන විද්‍යාත්මක සාක්ෂි භාවිතා කරයි. එසේම, Max Planck ආයතනයේ Tanya Singer ගේ පර්යේෂණ – මිනිසුන්ට මෛත්‍රිය වර්ධනය කිරීමේ හැකියාව ඇති බව පෙන්නුම් කරයි.

මෙම පර්යේෂණය ඉතා දිරිගන්වන සුළුය. මන්ද යත් විද්‍යාඥයන් විසින් මොළ සංකල්පනා භාවිතා කරන්නේ අනුකම්පාව පාලනය කරන විශේෂිත මොළයේ පරිපථ හඳුනාගැනීම සඳහා පමණක් නොව, මෛත්‍රී කරුණා ක්‍රියාවලින් ස්නායු පරිපථ ශක්තිමත් වන බවත්, මිනිසුන් වඩාත් පාරාර්ථකාමී බවට පත් වන බවත්, ඔවුන් කරුණාව ප්‍රායෝගිකව වර්ධනය වන විට, අනෙක් පුද්ගලයන්ට උපකාර කිරීමට කැමති බවත් පෙන්වන බැවිනි.

කරුණාව හා මෛත්‍රිය වර්ධනය කිරීමට සම්ප්‍රදායික මෛත්‍රී කරුණා වැඩි භාවනා ඉතාම සුදුසු යැයි විද්‍යාත්මකව තහවුරු වී ඇත. මෙය ඉතා දිරිගන්වන සුළුය, මන්ද එය අපගේ සදාචාර සුක්කානම ලෙස අපට අනුකම්පාව අවශ්‍ය වන මූලික අවශ්‍යතාවකි.

කරුණාව සහ මෛත්‍රිය දියුණු කිරීමෙන් මානසික සහ කායික සෞඛ්‍යය, අන් අය සමග හොඳ සම්බන්ධතා ගොඩනැගීමට ද, ආත්ම අභිමානය වැඩිකළ හැකි බවද පර්යේෂණ මගින් තහවුරු කර ඇත. කරුණාව සහ මෛත්‍රිය සහජයෙන්ම ඇති වන අතර, එය ඉගෙන ගැනීමට ද පුලුවන. ඒ වගේම දියුණු කළ හැකිය. එබැවින් අපගේ සංකීර්ණ ජාතික, සමාජීය සහ පවුල් ප්‍රශ්න විසඳීම සඳහා සැමට කරුණාව සහ මෛත්‍රිය පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම වැදගත් වේ.

මෙම සංකීර්ණ, විශාල හා තීරණාත්මක ගැටලු ප්‍රතිපත්ති, ක්‍රියාවලීන් සහ නීතියෙන් පමණක් විසඳිය නොහැක.

කරුණාව සහ පරාර්ථකාමිත්වය මගින් අප රට වෙනස් කළ හැකිද?

ඉංජිනේරු ලලිත් ද සිල්වා
සභාපති විද්‍යාලංකාර සභාව
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්
හිටපු ප්‍රධාන විධායක

advertistmentadvertistment
advertistmentadvertistment