වතු නිවාස ටෙන්ඩරයෙන් පිට පනී

114

ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක වන වතු කම්කරුවන්ට නිවාස සාදාදීමේ ව්‍යාපෘතියේදී ටෙන්ඩර් පටිපාටියන් උල්ලංඝනය වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම නිවාස ව්‍යාපෘතියේදී නිවාස 1,300ක් ඉදිකිරීම සඳහා ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ රුපියල් මිලියන 375ක් ලැබී ඇත. මෙහිදී එක් නිවසක් ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්ෂ 28කි.

යහපාලන ආණ්ඩු සමයේදී මෙම නිවාස ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස නිවාස 4,000ක් ඉදිකර තිබූ අතර ලංකා රතු කුරුස සංගමය, ජාත්‍යයන්තර රතු කුරුස සංගමය සහ යූ එන්. හැබ්ටාට් ආයතනවලට එම ව්‍යාපෘතිය පූර්ණව අධීක්‍ෂණය කිරීමේ අවස්ථාව හිමිව තිබිණි.

නමුත් මෙහි දෙවැනි අදියරේ එම නිරීක්‍ෂණ ආයතන ත්‍රිත්වයම ඉවත්කර එහි පූර්ණ බලතල ජාතික නිවාස සංවර්ධන අධිකාරියට,රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යන ආයතන ද්විත්වයට පවරා දී ඇත.

මෙම දෙවැනි අදියරේ වතු නිවාස ඉදිකිරීමේ කොන්ත්‍රත්කරුවන් තෝරා ගැනීම වතු යටිතල පහසුකම් පිළිබඳ ඇමැතිවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයකු ලැයිස්තුවක් මත සිදුකර ඇති බව වතුකරයේ පක්ෂ චෝදනා කරයි.

2017 වසරේදී මෙරටට පැමිණි ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් මෙරට වතුකරයේ ජනතාව සඳහා නිවාස 10,000ක් ලබා දීමේ පොරොන්දුව මත මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

මේ පිළිබඳව මෙරට සහ ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් ඉන්දියානු තානාපති කාර්යාලයෙන් කරුණු විමසා ඇති අතර, ටෙන්ඩර් කැඳවීම හෝ කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම ඔවුන්ගේ කාර්යයක් හෝ වගකීමක් නොවන බව පවසා ඇතැයි ද වාර්තා වේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment