ශීලයේ දානයේ ඵලය

92

පින්වත අපේ රටේ දේශපාලනයට අතීත අකුසල් නිසාම ඒරාෂ්ඨකයන් උදාවෙලයි තිබෙන්නේ. දේශපාලනයට ඒරාෂ්ඨකයක් උදාවෙත්දි, පූජක පක්ෂයටත්, ජනතාවටත්, පරිසරයටත්, භව බෝග සම්පත් වලටත්, ඒරාෂ්ඨකයේ අකුසල් ඕජාව සිත්සේ විපාකයන්ට එනවා. පින්වත වර්තමානයේ අපි අකුසලයෙන් පිබිදෙන ජාතියක්. දස දිශාව බැලීමේදී අපිට පෙනෙන්නේ අකුසලයේ පිබිදීමයි. රටේ දේශපාලනය බොරුවෙන්, බල තණ්හාවෙන්, වංකකමෙන් පිබිදෙනවා. නගරයත් ගමත් යන දෙකම ආකර්ෂණීය අරක්කු කඩවලින්, කුණු ලිංගිකත්වය විකුණන සම්භාහන ආයතන වලින් පිබිදෙනවා. අපේ රටේ වෙළෙඳපොළ, පාරිභෝගික ජනතාව මානසිකව මරාදමන මිල නියම කිරීම් වලින් පිබිදෙනවා. පාතාලය, මත්ද්‍රව්‍ය, හොර මැරකම්, ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් පිබිදෙනවා. මේ සියල්ලන්ගෙන්ම බලාපොරොත්තු කඩවුණ යහපත් මනුෂ්‍යයන්ගේ කලකිරීම් හුස්මක් හුස්මක් පාසා පිබිදෙනවා. බලය උදෙසා සමස්ත ජාතියම ජාත්‍යන්තරයේ මහා ණය උගුලක සිරකොට තබන, බියකරු අනාගත වහල්භාවයෙන් සමස්ත ජාතියම පිබිදෙනවා. පින්වත ඉවසීමෙන් පමණක්මයි සැනසිල්ල ලැබෙන්නේ. පින්වත සිංහල, දමිළ, මුස්ලිම්, සමස්ත ජාතියටම උදාවී ඇති මේ අකුසලයේ ඒරාෂ්ඨකය යම් පමණකට හෝ ජයගැනීමට නම්, ශීලය සහ මෛත්‍රියමයි අපේ කල්‍යාණ මිත්‍රයා විය යුත්තේ.

පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, ධාර්මිෂ්ඨ පාලකයෙක් තම රටේ සිදුවෙන බරපතළ වැරදිවලට දැඩි දඬුවම් නොදිය යුතුද කියලා. පින්වත ධාර්මිෂ්ඨ රජ කෙනෙක් කියලා කියන්නේ කර්මය කර්මඵලය හඳුනන රජ කෙනෙක්. චේතනාවයි කර්මයට මුල්වෙන්නේ කියන ධර්මානුකූල අර්ථය දන්න කෙනෙක්. ඔහු වරදකරුට හෝ වරදට දඬුවම් දෙන්නේ ද්වේෂයෙන් හෝ පළිගැනීමෙන් නොවේ. ඔහු වරදකරුට දඬුවම් දෙන්නේ, වරදකරු කෙරෙහිත් සමාජය කෙරෙහිත් මෛත්‍රී සිතෙන්මයි. පින්වත් ජනතාව කෙරෙහි කරුණාවන්ත ධාර්මිෂ්ඨ රජ කෙනෙක් කියන්නේ වරදට දියයුතු උපරිම දඬුවම් දෙන කෙනෙකුටයි. යම් රජ කෙනෙක් වරද නොසලකා හරිනවා නම්, වරද සුළුකොට තකනවා නම්, වරදට දඬුවම් නොදෙනවා නම් එම රජතුමා නිතිපතා පංචශීලය ආරක්ෂා කළත් ඔහු ධාර්මිෂ්ඨ රජ කෙනෙක් නම් වෙන්නෙ නැහැ. එම අධාර්මිෂ්ඨ රජතුමා වැරදි ප්‍රවර්ධනය කරන, ජනතාව වැරදිවලට පොළඹවන රජ කෙනෙක් බවට පත්වෙනවා. හෙට දවසේ යම් අසංවර පුද්ගලයෙක් පාසල් වයසේ දරුවෙක්ට අමානුෂිකව කායික හිංසනයන්ට ලක් කළොත් එම වරදකරුට උපරිම දඬුවම් ලබාදීම ධාර්මිෂ්ඨ රජ කෙනෙකුගේ වගකීම විය යුතුයි. සමාජය තුළ සිදුවෙන වැරදි වලදී වරදකරු කෙරෙහි මෛත්‍රි සිතෙන් වරදකරුට උපරිම දඬුවම් ලබාදීම තුළින් ධාර්මිෂ්ඨ පාලක පින්වතෙකුගේ චේතනාව විය යුත්තේ බහුතරයක් ජනතාවගේ ආරක්ෂාවයි. වරදට පෙළඹීමට බලාපොරොත්තු වෙන අයට දණ්ඩනය කෙරෙහි බිය ඇතිකොට දීමයි. පින්වත සමාජය යහපත් සමාජයක් බවට පත්කොට ගැනීමට නම් වරදට දඬුවම් දීම දේව භාෂිතයක්සේම අකුරට ක්‍රියාත්මක විය යුතුයි. එයමයි රජකෙනෙකුගේ ධාර්මිෂ්ඨ භාවයේ එක ලක්ෂණයක් යැයි කියන්නේ. පින්වත වැරදි කරන රජවරු, අනුනගේ වැරදිවලට දඬුවම් දෙන්න බයයි. වැරදි කරන රජවරු තම වැරදි සඟවාගෙන අනුනගේ වැරදිවලට දඬුවම් දෙත්දී තම හෘද සාක්ෂිය තමාටම දොස් කියනවා. එම නිසා ම වැරදි කරන රජවරු හැමදාමත් කරන්නේ වැරදි ලිහිල් කොට තැබීමයි. වැරදි නොදැක්කා සේ සිටීමයි. පාලක පින්වතුන්ලාගේ ඉහත දුර්ගුණයම ඔවුනගේ අධාර්මිෂ්ඨභාවය වෙනවා. පින්වත හෙට දවසේ සමාජය යම් පමණකට හෝ නිවැරදි වීමට නම් අද දවසේ වරදට දිය යුතු උපරිම දඬුවම් මෙත්සිතින් දියු යුතු වෙනවා. පින්වත සමාජය නිවැරදි වෙනතෙක් ඔබ බලාගෙන සිටින්න එපා. ඔබ වහ වහා නිවැරදි වෙන්න. එවිට සමාජය නිවැරදි වේවි.

පින්වත ජනප්‍රියභාවය කියන්නේ මෛත්‍රියේ, ශීලයේ, දානයේ ඵලයක්. ජනප්‍රිය භාවය අපිට මාධ්‍යවල දැන්වීම් පළකරලා ලබාගන්න බැහැ. මාධ්‍යය තුළින් ජනප්‍රිය වෙන්නත් මෛත්‍රියේ, ශීලයේ, දානයේ ආනිශංස අපේ ජීවිත පසුපස්සේ තිබෙන්නට ඕනේ. පින්වත ඔබ ධර්මයෙන් ගුණාත්මක වෙන්න. ජීවිතය තුළ මනුෂ්‍ය ධර්මයන් වර්ධනය කොට ගන්න. එවිට කුසල් සංස්කාරයෝ විසින්ම ඔබව ජනතාව අතරට අරගෙන යාවි. පින්වත් ජනතාව විසින් ම ඔබව ජනතාව අතරට අරගෙන යාවි. පින්වත වර්තමානයේ සමාජයට අත්‍යාවශ්‍ය වෙලා තිබෙන්නේ මාධ්‍ය විසින් ජනතාව අතරට අරගෙන යන නායකයෝ නොවේ. අද සමාජයට අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාව විසින් ම ජනතාව අතරට අරගෙන යන නායකයෙක්. පින්වත අප්‍රමාදී වෙන්න. නව වෙනසක විළිරුදාවෙන් සමාජය ඔත්පලවයි සිටින්නේ. ඔත්පල වූ ජාතියේ හෘද සාක්ෂිය නගන කෙදිරිලි හඬ සිහිනුවනින් තේරුම් ගන්න. මේ නැගෙන කෙදිරිලි හඬ විනාශයේ අඳෝනාවක් නොව, ඔත්පල වූ ජාතියට නව වෙනසක් අවශ්‍ය යැයි කියාදෙන පාඩමක්.

පින්වත කෙලෙසුන්ගෙන් තොරව ලෝකය දකින්න. එවිට ලෝකය හරිම නිරවුල්. ඒ නිරවුල් ලෝකය ඉද්ද ගැසුවා සේම සතිසම්බොජ්ඣංගය ළඟම නවතිනවා. එවිටයි ජීවිතය තුළින් ධර්මය කථා කරන්නේ. පින්වත ඔබේ ජීවිතය තුළින් අධර්මය ගොළු කරලා ධර්මය කථා කරවන්න. ධර්මය කථා කරන ජීවිතයක් කෙටි කාමයේ සහ රූපයේ ආශ්වාදයට වැට බඳින්නේ සැබෑ ප්‍රීතිය සහ ඵස්සද්ධියේ හැඩරුව අත්දකිමින්මයි. පින්වත පංචනීවරණ කියන්නේ කෙටි ආශ්වාදයට ගොදුරක් වූ අකුසල් මූලයන්ගේ ගොදුරු බිමක්. පංචනීවරණ කියන්නේ විඤ්ඤාණය නමති මායාවේ තවත් භව කුරුමාණමක්. පින්වත පංචනීවරණ යැයි කියන්නේ මිථ්‍යා දෘෂ්ඨියට පාර පෙන්වන භව සිතියමක්. පින්වත භව සිතියමක නවාතැන් පළවල් කොච්චර නම් තිබෙනවාද? උපාදාන පච්චයා භවය, ඉඳිකටු තුඩක තරම් පුංචි උපාදානයක් ජාති, ජරා, ව්‍යාධි, මරණ, මහා දුක් ගොඩක උරුමය වෙනවා. පින්වත පුංචි සිතුවිල්ලකින්වත් බැඳීයන්න එපා. එම බැඳීයාම තවත් කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයක ආරම්භයක් වෙනවා. පින්වත අපි හැමෝම වරින් වර දිනුම් කණුව පසුකරගෙන යන පරාජිතයෝ. වරෙක අපි දිනනවා. තවත් වරෙක් අපි පරාජය වෙනවා. අපි ගොඩනගන සංස්කාර ලෝකයත් අපිම කඩලා බිඳලා විසුරුවලා දමනවා. පින්වත අපි සියල්ලෝම එකම මාතෘ භූමියේ දරුවෝ. එකම මහපොළොවේ සාරයෙන් ඉණූ රස ඕජාවෙන් උපන් දරුවෝ. අපි කෙනෙක් පරාජය කොට තව කෙනෙක් දිනිය යුතු නැහැ. පින්වත ජයග්‍රාහකයෙක් ඇති තැන පරාජිතයෙක් අනිවාර්යයෙන් ම සිටිනවා. කෙනෙක් පරාජය කොට තව කෙනෙක් ජයග්‍රාහකයෙක් විය යුතු නැහැ. පින්වත අපි සියල්ලෝම දිනමු. පරාජිතයෙක් ඇති ජයවේවා යැයි කියන අර්ථයට සමුදී අපි සියලු සත්ත්වයෝ සුවපත් වේවා යැයි කියමු.

පින්වත අපේ රටේ පෙරහැර සංස්කෘතියට අකැමැති ගොඩක් දෙනෙක් සිටිනවා. මෙවැනි පින්වතුන්ලාට පෙරහැර කියන්නේ සත්ත්ව හිංසනයක්. මෙවැනි පින්වතුන් පෙරහැර නරඹන්නේ අධ්‍යාත්මික සතුටක් ලබන්නට නොවේ. අලි ඇතුන්ට සිදුවෙන හිංසනයන් ගැන ඕපාදූප සොයන්න. පින්වත සත්ත්ව හිංසනය පංචශීලයේ පළමුවැනි සිල්පදයෙන්ම ප්‍රතික්ෂේප කළ ධර්මතාවයක්. හීලෑ අලි ඇතුන්ට ගිහි සහ පැවිදි අපි කායිකව, මානසිකව, හිංසා කිරීම බලවත් වරදක්. නමුත් අපි ඇත්ත ඇති සැටියෙන් ම දකින්න ඕනේ. පින්වත කැලයේ ජීවත්වෙන අලි ඇතුන් මනුෂ්‍යයාට සිදුකරන දේපළ හානි. වගා හානි, බියගැන්වීම්, මරා දැමීම් හේතුවෙන් මොතරම් නම් අකුසල් සිද්ධකොට ගන්නවාද? අලි ඇතුන්ගෙන් තම වගාවන් සහ දේපළ ආරක්ෂාකොට ගැනීම උදෙසා කොතෙක් නම් ජනතාවක් මුළු රාත්‍රිය පුරා නිදිවරණවාද? ගම්මාන ආශ්‍රිතව වගාබිම් වලදී කොතෙක් නම් අලි ඇතුන් ගොවි ජනතාවගේ අලි වෙඩි දැමීමේ, රතිඤ්ඤා දැමීම්, පහරදීම්, හක්ක පටස් ආහාරයට දීම්, වසවිස දීම් හේතුවෙන් මරණීය වේදනාවන්ට පත්වෙනවාද? සමාජගත අලි මිනිස් ගැටුම් හේතුවෙන් මේ දෙපාර්ශ්වය අත්විඳින අකුසල් කන්ද, ඇත්තු ලක්ෂ ගණනකගේ බරක් ඉක්මවා යනවා. පින්වත කැලයේ අලියෙක් ස්වභාවික හේතුවකින් හෝ අස්වාභාවිකව මියයත්දී හුඟ දවසක් රෝගීව නිරාහාරව දුක්විඳලා මියයන අවස්ථාත් තිබෙනවා. රෝගී අලි ඇතුන්ගේ මස්, පණ තිබියදීම කිඹුලන් කබරයින් වැනි සතුන් විසින් කඩාගෙන කන අවස්ථා ඕනෑ තරම් කැලෑවල සිද්ධ වෙනවා. කැලයේ අලි ඇතුන්ට මඳ ලකුණු පහළ සමයට අලි සහ අලි මරණීය ගැටුම් සිද්ධ කොට ගන්නවා. පින්වත වන අලින්ට තම වන ජීවිතයේදී සිද්ධ වෙන සහ සිදුකොට ගන්නා මහා හිංසනයන් දෙස සිහි නුවණින් දකිත්දී පන්සලේ හෝ දේවාලයේ බැඳ දමා සිටින හීලෑ අලි ඇතුන් මොනතරම් නම් අකුසලයෙන් යම් පමණකට හෝ මිදී ද්වේෂය නොවඩා මිනිස් හිංසනයන්ට නොයා ජීවත්වෙන සතුන්ද?. පින්වත පෙරහැරේ යන අලි ඇතුන්ගේ දෙපා විලංගු දැකලා කලබල වෙන්න එපා. ඔබේ මිථ්‍යා දෘෂ්ටියේ යදම් කඩා බිඳ දමන්න. එවිට ඔබට වැටහේවි හීලෑ අලි ඇතුන් මොනතරම් නම් අකුසලයෙන් මිදී ජීවත්වෙනවාද කියලා. හීලෑ අලි ඇතුන්ගෙන් හිංසාකාරී ලෙස බර වැඩ ගැනීම සහ බීමත් ඇත් ගොවුවන්ගෙන් අලින්ට සිදුවෙන හිංසාවන් සහ අවශ්‍ය ආහාර ලබානොදීම බලවත් සත්ත්ව හිංසනයන් බව ගිහි සහ පැවිදි අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ.

පින්වත අලි ඇතුන් කියලා කියන්නේ පෙර ජීවිතයක මනුෂ්‍ය ජීවිත ලබලා, හොඳින් දානය පූජාකළත්, බොහෝ ම නරකින් සිල්පද දුර්වලකොට ගැනීමේ හේතුඵල ධර්මයක්. පින්වත ඔබ මේ මනුෂ්‍ය ජීවිතයේ දී මහා ධනවතෙක් වෙලා, තෙරුවන් උදෙසා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ලෝභ සිත් දුරුකොට, එහෙත් කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව සිල්පද දුර්වලකොට ගනිමින් ඇත් දළ පූජා කළත් රන්, මැණික්, දියමන්ති පූජා කළත් ඔබටත් පට්ච්චසමුප්පන්නව ආකර්ෂණීය ඇත් දළ දෙකක් සහිත ප්‍රමාණවත් ඇත් රජෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉතිං ඔබ අයිති වෙන්නේ සතර අපායට. පින්වත් සුන්දර ඇතෙක්ගෙන්, ප්‍රතාපවත් අලියෙක්ගෙන් අපි දැකිය යුත්තේ ඔය ධර්මයයයි. වර්තමානයේ කර්මය කර්මඵල විශ්වාසයකින් තොරව දුශ්ශීලව දන්සල් ආදී වූ මහා දානයන් දෙන පින්වතුන්ලාගේ වර්ධනය දෙස බලද්දී අනාගතයේදී අලි ඇතුන්ගේ ගහනය අඩුවේවි යැයි සිතන්න නම් බැහැ. පින්වත වන අලියෙක් සහ හීලෑ අලියෙක් තරාදියේ දෙපැත්තට දැම්මොත් අකුසලයේ බර, ඇතෙක් බරට වැඩි, වන අලියාගේ බව කරුණාවෙන් තේරුම් ගන්න.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment