ඔබෙ රුව ඡායා සැඟවේ පායා

631

ඔබ නැති ලොවක කොපමණ කල්ගියත් ගෙවී
මතකය රැඳී පවතිනු ඇත අලුත් වෙවී

(අදට (16 දාට) යෙදෙන විජය කුමාරතුංගයන්ගේ 36 වෙනි ගුණ සැමරුම වෙනුවෙනි.)

1945 වර්ෂයේ සීතල වප් පස 09 දින සිනමා අඹරේ දිදුලන තාරකාවක් මෙන්ම ආදරණීය මිනිසෙකු ජනතාවාදී නායකයකුගේ ජන්ම ලාභය සිදුවිය.

සීදූව ග්‍රාමයේ ගම්මුලාදෑනියකු ලෙස කටයුතු කළ බෙන්ජමින් කුමාරතුංග සහ ක්ලේරා බියට්‍රිස් කුමාරතුංග දෙපළගේ සිව්වැනි දරුවා නොහොත් පවුලේ බාලයා වූයේ කෝවිලගේ විජය ඇන්ටනී කුමාරතුංගයි.

සීදූව ද්විසමර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් ඔහු සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයට අතුළත් වී තිබෙන අතර ඉන් එවකට තිබූ විෂයයන් 06න් 05කට සම්මාන සාමාර්ථද, චිත්‍ර විෂයට විශිෂ්ට සාමාර්ථයක්ද ලබා තිබෙනුයේ කලාවට ලැදි නිසාම විය හැක.

උසස් අධ්‍යාපනය සඳහා කඳාන ‘ද මැසනද්’ විද්‍යාලයට ඇතුළත් වූ ඔහුට තම පියතුමාගේ අභාවයෙන් පසු තම පවුලේ ආර්ථික ශක්තිය ගොඩ නැංවීමට අවශ්‍ය නිසා අකමැත්තෙන් වුවද අධ්‍යාපන කටයුතු අතහැර දැමීමට සිදුවිය.

‘සරසවිය’ පුවත්පතේ පළවූ දැන්වීමකට අනුව සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ සිනමා පටය තුළින් සිනමාවට ප්‍රවිශ්ට වන විජය කුමාරණතුංග සැබැවින්ම ඒ සඳහා යොමු වනුයේ තම සොහොයුරියගේ ඉල්ලීමකට අනුවය. නැතිනම් ඔහු නීතිය හා සාමය සුරකින පොලිස් නිලධාරියෙකි.

‘තුෂාරා’, ‘සංගීතා’, ‘දුලීකා’ වැනි මුල් යුගයේ චිත්‍රපට මෙන්ම ‘ඔබටයි ප්‍රියේ ආදරේ’, ‘මමයි රජා’, ‘නොම්මර 17’ වැනි ඔහු ඝාතනය වන යුගයේ සිනමාපට තුළින්ද ඔහු ජනාදරයට පත්විය. ‘මහගෙදර’, ‘මරුවා සමග වාසේ’, ‘පොඩි මල්ලී’, ‘දෙව්දුව’ ආදී චිත්‍රපට සඳහා කුසලතා සම්මාන දිනාගත් ඔහු 1983 වසරේ සිට 1987 වර්ෂය දක්වා නොකඩවා ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගත් අතර ඝාතනයෙන් පසුව වුවද 1988 වර්ෂයේ දී නැවත වරක් එම සම්මානයට උරුමකම් ලැබූහ. ඒ සැබෑ ජනතා කැමැත්තෙනි.

1989 වර්ෂයේදී වසන්ත ඔබේසේකරගේ ‘කැඩපතක ඡායා’ චිත්‍රපටයේ ධනරත්නගේ චරිතය වෙනුවෙන් හොඳම නළුවා ලෙස OCIC සම්මානය සහ ස්වර්ණහංස සම්මානය ලබා ජීවත්ව සිටි අවධියේ තිබූ බලාපොරොත්තු මියගිය පසු හෝ ඉටුකර ගැනීම සබැවින්ම පුදුම සහගතය. 1988 වර්ෂයේදීම කලාකරුවකු සඳහා ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන රණතිසර සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීත ගුරුතුමන්ගේ මඟපෙන්වීම යටතේ ගායන ලොවට අවතීර්ණ වී ගායන හැකියාවද මැනවින් පිළිබිඹු කළ විජය, ‘ගඟ අද්දර’, ‘ඩොරින්ගේ සයනය’, ‘කවුළුව’, ‘ඉන්දුට මල් මිටක්’, ‘රන්දෙනිගල සිංහයා’, ‘අහිංසා’, ‘සූරියකන්ද’ ආදී චිත්‍රපට ගණනාවක ගීත ගායනා කළ අතර 1991 වර්ෂයේ දී සහරාවේ සිහිනය චිත්‍රපටයේ වළාකුළක් ගෙන ගීතයට සහ 1992 ‘දොළොස්මහේ පහන’ චිත්‍රපටය උදෙසා සරා ගුවන විදා නැගුණු ගීතයට හොඳම ගායකයා ලෙස සරසවි සම්මානයට පාත්‍ර වූයේ මියයෑමෙන් පසුවය. එයද ජීවත්ව සිටි කාලය තුළ තිබූ ඔහුගේ එක් බලාපොරොත්තුවකි. රූස්ස ගහ ළඟ, මංගල නැකත, වේදනා ආදී කැසට්පට සඳහා ද ඔහුගේ ගායනා එක්විය.

1977 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කටාන අසුන තරග කළ අතර ඉන් පරාජයට පත්වූයේ සුළු ඡන්ද සංඛ්‍යාවකිනි. 1983 වර්ෂයේදී අතුරු මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනය තරග කළ ඔහුට අනන්ත බාධක එල්ල විය. අන්තිමේ ඔහු පරාජය වුවද ජනතාවගේ හදවතේ මන්ත්‍රීවරයා වූයේ විජය යි.

1984 අතුරු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් මින්නේරිය ආසනය තරග කළ විජය අනිකුත් අපේක්‍ෂකයන්ගේ සහයෝගයද තමන් වෙත නම්මවා ගනිමින් දෙවැනි තැනට පත්වූයේ ප්‍රබල ශ්‍රීලනිප අපේක්‍ෂකයා තෙවැනි තැනට පත් කරවමිනි. ජාතීන් අතර සමගිය උදෙසා ද කැපවෙමින් වරෙක උතුරට ගිය ගමනද අපට අමතක කළ නොහැක.

ඔහුගේ විවාහ දිවියට වසර 10ක් සම්පූර්ණ වන දිනය උදාවිය. ඒ 1988 පෙබරවාරි දහසය වන දිනයයි. සැබෑ මිනිසෙකුගේ ජිවිතයේ අවසන් හෝරා කිහිපය ගතවෙමින් තිබිණ. තමන් ජීවත් වූ පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිට දහවල් 12.20ට පමණ නිවස ඉදිරිපිට අඹ රුක් සෙවණ යට සිත්පිත් නැති අධම දේශප්‍රේමීන් යැයි කියා ගන්නා දේශද්‍රෝහීන් විසින් මෙම ජනතා පිළිගැනීම, ජනතා ගෞරවය ඉවසාගත නොහැකිව ඔබගේ ප්‍රාණය නිරුද්ධ කළද ඔබ ගැන මතකය වසර 36කට පසුව වුව අද දිනයේදීද රැඳී පවතිනුයේ අලුත් වෙමිනි.

ලෑලි පියස්සට මුවාකර ගත් මුහුණින් යුතුව අවසන් නින්දේ සැතපුණද, ඔබගේ එම පින්බර මුව මඬල මෙරට ජනතාවගේ හදවතෙහි සදාකල් රැඳී පවතිනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment