‘ඉස්සර බැඳි පෙම සිත්වල සුවඳයි’

1725

24 වැනිදා මහරගමදී

යොවුන් ගී සංගීත කණ්ඩායම තුළින් 1980 දී මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත තරුණ පිරිසකගේ ආකර්ෂණයට නතු වුණු සෝමසිරි මැදගෙදර කලාකරුවාගේ කලා ජීවිතයට වසර 45 ක් පිරීම නිමිත්තෙන් එළැඹෙන 24 වැනිදා සවස මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ‘ඉස්සර බැඳි පෙම සිත්වල සුවඳයි’ ලෙසින් ප්‍රසංගයක් පැවැත්වේ.

මේ සඳහා යුග ගායනයෙන් විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද දමයන්ති ගමගේ, විශාරද කුමුදුනී විජේතිලක සම්බන්ධ වන අතර කථනයෙන් සේනක උබේසිංහ, සංක හිරාන් ජයලත්, චූටි මල්ලි සහ පොඩි මල්ලි ද එකතු වේ.

මෙහි සංගීතය Coversclub Guys වන අතර සෝමසිරි මැදගෙදරගේ පුත් යසස් මැදගෙදර සහ දුව යශෝධා මැදගෙදරත් ගායනයෙන් සම්බන්ධවීමට නියමිතය.

ඔහුගේ රිදවන්න එපා මෙතරම්, ඔබේ ආදරේ මහා සාගරේ, අසා ඉමු අපි මුහුදු වෙරළට, සඳයි තරුයි නිසංසලේ වැනි ගීත වගේම ඉස්සර බැඳි පෙම, මුතු මුතු වැස්සේ, සිතක් බිඳුණු පසු, ඔබගෙ දෝතින් පිදූ ආදරේ. පිපෙනවාලු මල්, රිදවන්න එපා මේ තරම් වැනි ගීත 1980-90 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වුණු ගීත ය.

‘ඉස්සර බැඳි පෙම සිත්වල සුවඳයි’ ලෙසින් නම්කර ඇති මෙම ප්‍රසංගය ගැන සෝමසිරි මැදගෙදර සිනමා කලා වෙත පැවසුවේ මෙවැන්නකි.

‘ඇත්තටම මම මගේ ජීවිතය ගැන හරිම සතුටින් ඉන්නේ. ඒ මොකද මම මෙතැනට ඇවිල්ල තියෙන්නේ හරිම පහසු ගමනක් නෙමෙයි. මම උපන්නෙ නුවරඑළියේ හද්දා පිටිසර ගමක් වුණු වලපනේ තෙරිපැහැ. අපිට යන්න පාරවල් තිබුණේ නැහැ. දරුවො හයදෙනකුගේ ගොවි පවුලේ බාලයා විදිහට ඉපදිලා අම්මා තාත්තා එක්ක එකතුවෙලා හේන් කුඹුරු කොටලා, පැල් රැකලා, හැන්දෑවට පැල් කවි කියලා ගත්තු අත්දැකීම් අරගෙන තමයි 1980 මම කොළඹ එන්නේ, යොවුන් ගී කණ්ඩායමට බැඳෙන්න. ලංකාවේ මුල්ම යොවුන් ගී කණ්ඩායමේ සාමාජිකයෝ විසිදෙනයි. දාසයදෙනෙක්ම වාදකයෝ. මමයි චන්ද්‍රසේනයි, චන්ද්‍රලේඛයි, මාෂල් ජනතායි, ධම්මිකා කරුණාරත්නයි, තේජා දමයන්තියි විතරයි ගායක ගායිකාවෝ. එහෙම තමයි අපි සංගීත ගමන පටන් ගත්තේ.

‘මම මේ ප්‍රසංගය පවත්වන්නේ යසස් පුතා සහ යශෝධා දුවත් එකතු කරගෙන. බාල පුතාව ගෙනඑන්න විදිහක් නැහැ, විදෙස්ගත වෙලා ඉන්න නිසා. ලොකු පුතා යසස්ට වෙනම අනන්‍යතාවක් සහිත හඬක් තිබෙනවා. තරුණ පරපුරේ බොහෝ අය ඒ ගැන දන්නවා. මේ ප්‍රසංගයේදී මා මෙතෙක් ආ ගමන, ආ දුර එහිදී මා ඉතුරු කරගත් රසික ජනතාවගේ ආදර ගෞරවය හා ප්‍රසාදය ඔවුන්ට පිරිනමනවා.’

advertistmentadvertistment
advertistmentadvertistment