ඔන්ලයින් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය 18 – 19 – 20 දිනවල

40

රජය විසින් පසුගිය 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මාර්ගස්ථ ක්‍රමවේදවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විභාගය ලබන 18, 19 සහ 20 යන දිනවල පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියමකර තිබේ.

ඊයේ (11 දා) පස්වරුව වන විට එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය,

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, රංග කලංසූරිය හා සමාජ ක්‍රියාකාරිකයකු වන සාරංග ගුණසේකර ඇතුළු පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් 17 ක් ගොනුකර තිබිණි.

යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට දින 14 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමේ නීතිමය අවසරය හිමිවන බැවින් ලබන 17 වැනිදා දක්වා ඉදිරිපත්වන පෙත්සම් හෝ අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ අවස්ථාව පාර්ශ්ව නියෝජනය කරන නීතිඥවරුන්ට හිමිවේ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment