STC දොර වසා වෙඩි බෙහෙත් ගැහිල්ලක්

89

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ඇමෝනියා නයිට්‍රේට් (වෙඩි බෙහෙත්) කිලෝවක් රුපියල් 975ක් වැනි මිලකට කළුගල් කර්මාන්තකරුවන්ට අලෙවි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබානොදී පෞද්ගලික අංශයෙන් වෙඩි බෙහෙත් කිලෝවක් රුපියල් 2,100කට පමණ අලෙවි කිරීමට අනුමැතිය ලබාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව ද එම ආරංචි මාර්ග ඉල්ලා කියා සිටී.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව 2024 ජනවාරි මාසයේදී වෙඩි බෙහෙත් මෙට්‍රික් ටොන් 110ක් ගෙන්වා ඇතත් ඒවා අඩු මිලට කළුගල් කර්මාන්තකරුවන්ට ලබාදීමට හැකියාව ලබාදුනහොත් කළුගල් මිල ද පහළ යනු ඇතැයි එම ආරංචි මාර්ග පැවැසීය.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව එතෙක් ගෙන්වමින් තිබූ වෙඩි බෙහෙත් ගෙන්වීමට 2021 – 2022 වර්ෂවලදී ඩොලර් නොමැති වීම නිසා නොහැකි වී ඇති අතර එම නිසා පෞද්ගලික අංශයට වෙඩි බෙහෙත් ගෙන්වා ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම මත අලෙවි කිරීමට අවස්ථාව ලබාදී ඇත.

එහිදී පෞද්ගලික අංශය මගින් වෙඩි බෙහෙත් මෙට්‍රික් ටොන් 4000ක් ගෙන්වා තිබූ අතර ඉන් ඉතිරි වූ ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශයේ එක්තරා ඉහළ නිලධාරියකුගේ මැදිහත්වීම මත මිලදී ගෙන වැලිසර ආරක්ෂක අංශයකට අයත් ගබඩාවක තබා වැඩි මිලට අලෙවි කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියා සිටී.

එහෙත් මේ වනවිට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ගෙන්වා ඇති වෙඩි බෙහෙත් අඩු මුදලට ලබාදෙන ලෙසත් එසේ වුවහොත් කළුගල්වල මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමට හැකි බවත් කර්මාන්තකරුවන් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියාසිටියේ, ජනවාරි මාසයේ ගෙන්වූ වෙඩි බෙහෙත් මෙටි්‍රක් ටොන් 110 අලෙවි කිරීම සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නැති බවත් තවත් මෙටි්‍රක් ටොන් 500ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත්ය. අනුමැතිය ලැබුණහොත් වෙඩි බෙහෙත් කිලෝවක් කළුගල් කර්මාන්තකරුවන් සඳහා රුපියල් 975ක් වැනි මිලකට ලබාදීමේ හැකියාව පවතින බව ද ඔහු කීය.

කළුගල් කර්මාන්තයේ සුළු, මධ්‍ය සහ මහා පරිමාණ කර්මාන්තකරුවන් 3000ක පමණ පිරිසක් සමග ලක්ෂ 10ක පමණ පිරිසක් ක්ෂේත්‍රයේ සැපෙන්නන් සිටින බව ද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment