දූෂණ වසා ගන්න අධිකරණය යොදා ගන්න දෙන්න එපා

255

සත්‍ය වසන් කළ ශම්මිගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන්න
නීතිඥයා අභියාචනාධිකරණයෙන් ඉල්ලයි
ක්‍රිකට් පෙත්සම අදට කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇත්තේ සත්‍ය කරුණු වසන් කිරීමෙන් වන බැවින් එම පෙත්සම්කරු ඉදිරිපත් කර ඇති පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඊයේ (22 දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා අන්තර් පාලක මණ්ඩලයක් පත් කරනු ලැබුවේ ද්වේශ සහගතව බවට එකී ආයතනයේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් චෝදනා නැගුවත් එකී චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බව ද පැවසූ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා රජයේ විගණකාධිපතිවරයා, විමර්ශන කමිටුව ඉදිරිපත් කළ විගණන වාර්තා හා විමර්ශන වාර්තා සලකා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වී ඇති දූෂණ හා අක්‍රමිකතා වහාම සාක්ෂි සහිතව සනාථ කර ගැනීමෙන් අනුව ගත් එම තීරණය නිවැරදි බව පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළ යෝජනා මගින්ම තහවුරු වන්නේ යැයි ද පැවසීය.

ඔස්ටේ්‍රලියාවේ පැවැති පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේදී සිදු වී ඇති අක්‍රමිකතා, රට තුළ ක්‍රීඩා පිටි ඉදිකිරීමේ මුවාවෙන් සිදු කර ඇති දූෂණ ක්‍රියා වසා ගැනීමට අධිකරණය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා උත්සාහ දරන බවත් එය කූට උත්සාහයක් බවත් ඊට ඉඩ නොදෙන ලෙසට ඉල්ලා සිටින බවත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පැවසීය.

එම නඩුවේ වැඩිදුර විභාගය අද (23 දා) දක්වා කල්තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය. ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ අන්තර් පාලක මණ්ඩලයේ සභාපති අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර, ශම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, නීතිපතිවරයා හා එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු එහිදී අධිකරණයට කරුණු දැක්වූහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment