තුවායට මුවාවී කෝටි 27ක කුඩු ගෙනැල්ලා

291

සැකකරුවෝ තිදෙනා කටුනායකදී මාට්ටු

රුපියල් කෝටි විසිහතක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන්ට “තුවා” ලෙස ප්‍රකාශ කර පකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින් පෙරේදා (21 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

පකිස්තානයේ ලාහෝර් නුවර සිට පාර්සල් 08 ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය ඉකුත් 10 දා ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි.

මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙත එවා තිබුණි.

පෙරේදා රාත්‍රී මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කරගෙන යෑමට කොළඹ-05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබේ. එහිදී මෙම ගුවන් භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේදී කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 500 ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතාද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියේය. මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කරගෙන යෑමට පැමිණි පුද්ගලයා සහ මෙම භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීමට තැත්කළ වාප්පු ලිපිකරුවන් දෙදනකුද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්පසුව මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment