හරක්කටා බේරා ගැනීමේ උත්සාහය:ඩූ ඕ ඩයි මෙහෙයුමේ කමාන්ඩෝ සෙබළා දැලේ

237

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන හරක්කටා අත්අඩංගුවෙන් මුදා ගැනීමේ ‘ඩූ ඕ ඩයි’ මෙහෙයුමට සම්බන්ධ වී සිටි යුද හමුදා කමාන්ඩෝ බළකායේ හිටපු ස්නයිපර් සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදා කමාන්ඩෝ බළකායේ හිටපු සෙබළුන් සහ වර්තමාන සෙබළුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කඩා වැදී එහි නිලධාරීන්ට වෙඩි තබා අත්අඩංගුවේ සිටින හරක්කටා මුදා ගැනීමේ මෙහෙයුම සම්බන්ධීකරණය කර තිබුණේ ඩුබායි හි සැඟවී සිටින මිදිගම රුවන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් බව හෙළි විය.

මෙම මෙහෙයුම සඳහා කමාන්ඩෝ සෙබළුන්ට රුපියල් කෝටි 10 ක මුදලක් ගෙවීමට ද මිදිගම රුවන් පොරොන්දු වී සිටි බව අනාවරණය වී තිබේ.

ඩු ඕ ඩයි යනුවෙන් නම් කළ මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වී සිටි හිටපු කමාන්ඩෝ සෙබළුන් දෙදෙනකු මීට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වනවිට බන්ධනාගාරගත කරනු ලැබ ඇත.

එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මාතර ප්‍රදේශයේ සැඟවී සිටි මෙම ස්නයිපර් සෙබළා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සමත් විය.

සතුරු බල ප්‍රදේශවලට යන කමාන්ඩෝ බළකායේ කුඩා කණ්ඩායම් ඒකකයට සම්බන්ධ වී සිටි මෙම ස්නයිපර් සෙබළා මීට වසර කීපයකට උඩදී එම බළකායෙන් ඉවත් කර ඇත්තේ මාතර නගර මධ්‍යයේදී කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකෑමේ චෝදනාවක් මතය.

හරක්කටා බේරා ගැනීමේ මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටි තවත් හිටපු කමාන්ඩෝ සෙබළුන් තිදෙනකු සහ සේවයේ සිටින සෙබළුන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම ස්නයිපර් සෙබළා රඳවා තබාගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment