මිලියන තුනකට ජලය බෙදා මිලියන 05ක ලාභයක් ලැබුණත් ජනතාවගෙන් බිලියන 9.5ක පොල්ලක්

59

රාජ්‍ය ආයතන පිළිබඳ කන වැකුණු සැණින් අප සිතට පහළ වන්නේ විශාල ණය කන්දක හිර වී ජාතියට බරක් වූ ආයතන ප්‍රතිරූපයකි. නමුත් මේ තත්ත්වය වඩා සුබදායක අනාගත ඉලක්ක කරා ගෙන යෑමටත්, අලාභයකින් තොරව ජනතා සේවයක් සලසමින් ඉදිරියට යෑමටත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වනවිට දූර දර්ශීව කටයුතු කරමින් පැවතීම, බදු ගෙවන, බිල්පත් ගෙවන ජනතාවට අස්වැසිල්ලට කාරණයකි.

මිලියන 03කට සපයන සේවය

ඉදිරියේ ලෝකයේ සෑම රටකම පාහේ පත්වන ආණ්ඩුවකට තම රජයේ වැදගත්ම ප්‍රතිපත්තීන් ගොනුවට “ජල සැපයුම හා කළමනාකරණය” පිළිබඳ යෝජනා වඩා වැඩි වුවමනාවකින් යුතුව එකතු කිරීමට සිදුවීම අනිවාර්ය කරුණකි.

ලෝකයේ පරිසර “විනාශය වැඩිවීම හා ස්වාභාවික සම්පත් හීන වීම” මත සතුන්ගේ හා මිනිසුන්ගේ ප්‍රධානතම අවශ්‍යතාව වන්නේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව බැවින් ඉන්ධන, ආහාර ඇතුළු අනිකුත් අවශ්‍යතාවන් අතර අංක 01ට “ජල සම්පාදනය හා බෙදා හැරීම” වගකිව යුතු සියලු බලධරයන්ගේ හිස මත පැටවෙනු ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ද, පිරිසිදු පානීය ජල ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර එම පාරිභෝගික සමස්ත ජල සැපයුම් සංඛ්‍යාව 2024 ආරම්භ වන විට මිලියන 03 ඉක්ම වූ බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අතරින්,

රාජ්‍ය ආයතන සඳහා ජල සැපයුම් සංඛ්‍යාව : 16,795

පෞද්ගලික ආයතන සඳහා ජල සැපයුම් සංඛ්‍යාව : 205,194

ගෘහස්ථ ජල සැපයුම් සංඛ්‍යාව : 2,782,891 ලෙස වාර්තා කළ හැකිය.

2023 වර්ෂයේ ඉපයූ රුපියල් බිලියන 5ක දළ ලාභය

රටට බරක් නොවූ රාජ්‍ය ආයතනයක් ලෙස ඉදිරියට යන, සුවිශේෂි ආයතනයක් වීමට එහි ආදායම හා වියදම අතර පරතරය ධන ශේෂයක් පවත්වා ගනිමින් අඛණ්ඩව ලාභදායකව ප්‍රගතිය වාර්තා කළ යුතුය. එමෙන්ම ආයතන පරිපාලනය වියදම් නිසි පරිදි කළමනාකරණය කරගනිමින් අනවශ්‍යය වියදම් කපා හරිමින් පෞද්ගලික ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදය රාජ්‍ය ආයතන ද තම ආදර්ශය කරගත යුතු පසුබිමක් දැන් අත්‍යවශයෙන් භාවිත කළ යුතු කාලය ද එළැඹ තිබේ.

ඒ අනුව 2023 වර්ෂයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සමස්ත ආදායම් රුපියල් හැටනව බිලියන, 238 මිලියන, තුන්ලක්ෂ නව දහස් හත්සිය හැට එකක් වූ අතර, සමස්ත වියදම ලෙස සටහන් වූයේ හැටතුන් බිලියන 971 මිලියන, හත්ලක්ෂ අසූහතර දහස් හයසිය තිස් පහක් පමණි. ඒ අනුව, රුපියල් බිලියන 05 ඉක්ම වූ අතිවිශාල දළ ලාභයක්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෙවුණු 2023 වර්ෂයට අදාළව ළඟා කරගෙන තිබේ.

උදා: සමස්ත ආදායම – 69,258,309,761/-

සමස්ත වියදම – 63,971,784,635/-

ඉපයූ දළ ලාභය – 5,286,525,126/-

ජනතාවගේ බිල්පත් ගෙවීම් හිඟය

කෙසේ නමුත් ජල බිල්පත්වල සැලකිය යුතු හිඟ මුදලක් සහිතව ගෙවීම් සිදුවීම අඛණ්ඩව දැකිය හැකි ලක්ෂණයකි. ආර්ථික දුෂ්කරතා මෙන්ම පවතින උද්ධමනය හා කුටුම්බවල ජීවන වියදම් ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලබයි.

2024 ජනවාරි මාසයට අදාළව බිලියන 16ක අධික වූ හිඟ ජල බිල්පත් ප්‍රමාණයකින් පාරිභෝගික ගෙවීම් ලෙස අයකර ගැනීමට හැකියාව ලැබී තිබුණේ, බිලියන 6.5කට ආසන්න මුදලක් පමණි. ඒ අනුව එම මාසය වනවිට තවත් රුපියල් බිලියන 9.5ක මුදලක් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අයවීමට තිබී ඇත.

මේ වනවිට ජංගම දුරකථන, මෘදුකාංග, Online ක්‍රම ඔස්සේ බිල්පත් පියවීමේ නවීන ක්‍රමවේද හඳුන්වා දීම මඟින් ඉදිරියේ වඩා ඵලදායී හා කාර්යක්ෂම ලෙස බිල්පත් අයකර ගැනීමේ ක්‍රියාවලිය වඩා සාර්ථක කරගැනීමට එම මණ්ඩලය කටයුතු කරගෙන යනු ලැබේ. ඒ සඳහා ජනතාව පරිවර්තනය වී තම ගෙවීම් කටයුතු නියමිත වේලාවට ගෙවනු ලැබීම, දෙපාර්ශ්වයටම ප්‍රතිඵලදායක වනු ඇත.

සංවර්ධන ඉලක්කයන් හා අපනයනය

රට සංවර්ධනය කරා යන ගමනේදී ජනතාවට පිරිසිදු ජලය සැපයීම හා එම නඩත්තු කටයුතු විධිමත්ව, ඵලදායීව හා කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සිය රාජකාරිය කරගත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2024දී 152,274ක නව සම්බන්ධතා ඉලක්කයන් ද,2025 වර්ෂයේදී, 136,485ක නව සැපයුම් ප්‍රමාණයන් ද දක්වා සිය සේවා ජාලය පුළුල් කරමින්, මෙරට බාල, මහලු, ලොකු, කුඩා කාටත් පිරිසිදු ජල බිඳක් පානය කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට සැදී පැහැදී කටයුතු කරමින් සිටී.

ජනක බෝකුඹුර

advertistmentadvertistment
advertistmentadvertistment