“වසර 05ක් නොදුන් ගුරු විභාගයේ ප්‍රතිඵල ආ හැටි”

ජනතාවට 2016 ලැබුණු අවිය

ප්‍රජාතන්ත්‍රවාදය සමග මෙරට ජනතාවට ලැබුණු මූලික අයිතිවාසිකම් සමුදායට 2016දී එකතු වුණු තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම හැඳින්විය හැක්කේ සැබවින්ම රාජ්‍ය ආයතන හා එකී ආයතනවල නිලධාරීන් ඇතුළු සියලු පොදු අධිකාරිවල සපත්තුවට යටවී සිටි සිවිල් ජනතාවට තම පරමාධිපත්‍යයේ තරම පෙන්විය හැකි එක් තියුණු අවියක් ලෙසය.

කලක් තිස්සේ දේශපාලන ලේකයේ හා විද්වතුන්ගේ නිරන්තර කතාබහට හා අවධානයට ලක්වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සංවාදය 2015 යහපාලන ආණ්ඩුව බිහිවීමත් සමග යථාර්ථයක් බවට පත් වූයේ එම රජය පත්වීමට පෙරම ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙසය. ඒ අනුව 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ශ්‍රී ලංකාව තුළ නීති පද්ධතියට එකතු වූ අතර, එය මුළුමහත් ආසියාවේම අංක එකේ තොරතුරු පනත විය. අසල්වැසි ඉන්දියාවේ ද මීට පෙරම ප්‍රබල තොරතුරු අයිතිවාසිකම් පනතක් ක්‍රියාත්මක වුවද, එහි සීමා බිඳ හෙළමින් ඊට වඩා වැඩි බලයක් සහිතව එකී පනත සම්මත කිරීමට මෙරට පාර්ලිමේන්තුව ක්‍රියාකොට තිබිණි.

තොරතුරු අයිතිය හා ක්‍රියාත්මක වීම

ආණ්ඩුකරණයේ විනිවිදභාවය ජනතාවට ප්‍රශ්න කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදීව තම අයිතිවාසිකම් උල්ලංඝනය විම කෙරෙහි ක්‍රියාත්මක වීමට, මහජන සුභ සිද්ධිය කෙරෙහි පුද්ගලිකව හා සාමුහිකව ඉදිරිපත්ව ක්‍රියාකිරීමට තොරතුරු අයිතිය සෑම පුරවැසියෙකුටම පාවිච්චි කළ හැකිය. රජයේ ආයතනය ස්වේච්ඡාවෙන්ම ප්‍රදර්ශනය කොට හෙළි කළ යුතු ප්‍රගාමී තොරතුරු මෙන්ම, එසේ හෙළි නොකරන එහෙත් පුද්ගලානුබද්ධව හෝ සමාජානුබද්ධව තොරතුරු දැන ගැනීමට උවමනා කරුණු සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතනය වෙත හෝ පොදු අධිකාරිය වෙත ලිඛිතව හෝ වාචිකව විධිමත් තොරතුරු ඉල්ලීමක් එකී ආයතනයේ තොරතුරු නිලධාරි මඟින් ඉල්ලුම් කළ හැකිය.

පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, තොරතුරු ඉල්ලීම යුහුසුළුව ලියාපදිංචි කර, ඉල්ලුම්කරුට අවශ්‍ය තොරතුරු ලබාදීමේ තීරණය පිළිබඳ දින 14ක් තුළ දැනුම් දිය යුතුය. එම දැනුම් දීම ප්‍රකාරව තොරතුරු ලබාදීමක් වේ නම් හෝ තොරතුරු ප්‍රතික්ෂේප කිරීමක් වේ නම් ඉන්පසු දින 14කින් අදාළ ආයතනයේ නම් කළ නිලධාරීවරයා නමින් තමන් ඉල්ලූ තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් අභියාචනයක් යොමුකළ හැකිය. සෑහීමකට පත් නොවන හෝ තොරතුරු ලබාදීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නිසා සිදුකරන එම අභියාචනයට දින 21ක් තුළ ප්‍රතිචාර දැක්වීමට නම්කළ නිලධාරී ව්‍යවස්ථාපිතව බැඳී තිබේ. එකී කාලය තුළත් තොරතුරු ඉල්ලූ පුරවැසියාට සාධාරණය ඉටු නොවන්නේ නම්, නම්කළ නිලධාරී තොරතුරු ප්‍රතික්ෂේප කළ දින සිට මාස 02ක් තුළ ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකිය.

අභියාචනා විසඳන කොමිසම

එසේ මහජනතාව යොමුකරන පැමිණිලි ස්වාධීන විනිසුරු මණ්ඩලයකින් හෙබි කොමසාරිස්වරු විසින් නිශ්චිත දිනයක දෙපාර්ශ්වයට නොතේසී යවා කැඳවීමකින් අනතුරුව විභාගකොට තීන්දු තීරණ නියෝග කරනු ලැබේ. වර්තමානයේදී ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවා තිබෙන්නේ කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි, බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේය.

පනතේ විධිවිධාන ප්‍රකාරව අභියාචනා කොමිසමේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන හා එකී නිලධාරීන් බැඳීසිටින අතර නොඑසේ නම් මහේස්ත්‍රාත් අධිකරණයක එකී වගඋත්තරකරුවන්ට විරුද්ධව නඩු පවරා දණ්ඩන නියම කළ හැක. කෙසේ වෙතත් අභියාචනා කොමිසම ලබාදුන් තීන්දුවේ සිට දින 30ක කාලයක් තුළ එකී තීන්දුවට එරෙහිව ගරු අභියාචනා අධිකාරිය ඉදිරියට යෑමට තොරතුරු ඉල්ලුම්කරුවන්ට හා පොදු අධිකාරීන්ට ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් හිමිව තිබේ.

2019 ගුරු විභාගයේ ප්‍රතිඵල නොදුන් කතාව

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වලට ආගමික ගුරුවරුන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-ෂෂ ශ්‍රේණියට ධර්මාචාර්ය සමතුන් බඳවා ගැනීමේ ගුරු තරග විභාගයේ ලිඛිත පරීක්ෂණ 2019.05.25 දින විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ 2018.08.31 දරන රජයේ ගැසට්පත්‍රය ප්‍රකාරව පවත්වන්නට කටයුතු යොදන ලදී. නමුත් එම විභාගයේ ප්‍රතිඵල වසර පහකට ආසන්න කාලයක් තිස්සේ නිතුත්කිරීමට විභාග දෙපාර්තමේන්තුව හෝ අධ්‍යාපන අමාත්‍යාශය කටයුතු කළේ නැත.

කොවිඩ් සමග ඇනහිටි ගුරු පත්වීම් ලබාදීමේ ගැටලුව

උක්ත විභාගය පැවැත්වීමෙන් පසු එකී විභාගයේ ප්‍රථිඵල අපේක්ෂිත පිරිසට තම විභාග ප්‍රථිඵල ලබාදීමත්, කොවිඩ් වසංගතය ඇතුළු හේතු කිහිපයක් සඳහන් කරමින් ගුරු පුරප්පාඩු ලබාදීම අතරමඟ නවතා දැමීමටත් වගකිව යුතු බලධාරීන් කටයුතු කරන ලදී.

පුරප්පාඩු නොමැති බව සඳහන් කරමින් අන්‍ය ආකාරයට පුරප්පාඩු විනිවිදභාවයකින් තොරව පුරවා තිබීම, වැටුප් ගෙවීමට මුදල් ප්‍රතිපාදන නොවූ බව කියමින් කල්මැරීම හා අඩුම තරමින් විභාග අපේක්ෂකයන්ට සිය ප්‍රථිපල නිකුත් නොකිරීම ද අතිශය අයුක්ත සහගත විය.

ජනාධිපති කාර්යාල, අධ්‍යාපන හා විභාග බළධාරීන්ට නිරන්තර සිහිකැඳවීම් සිදු කළ ද මේ සියලු ඉල්ලීම්වලට නෛතික වගකීමක් නොවු තැන කාලය කා දමන ගඟට කැපූ ඉනි වැනි ක්‍රියා මාර්ග පමණක් විය.

බලධාරීන් කොටුකර ගත් තොරතුරු පනත

කෙතරම් ලිපි ලියුවත් බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වූවත් ඒවාට නෛතික බැඳීම් නොපවතින බැවින් පලක් නොවූ මොහොතක, එසේ බලධාරීන්ට පැන යා නොහැකි තොරතුරු පනත ප්‍රකාරව අයදුම් පත්‍රයක් විභාග දෙපාර්තමේන්තුවට යොමු කෙරෙන්නේ 2023 ජනවාරි මාසය තුළදීය. විභාගයට මුහුණ දුන් අපේක්ෂකයකු සිය ප්‍රථිපල ලබාදෙන ලෙස සිදුකළ එම තොරතුරු ඉල්ලීමට විභාග දෙපාර්තමේන්තුවේ පිළිතුර වූයේ එම ප්‍රථිඵල නිකුත් කිරීමට අනුමැතියක් නොමැති බවයි.

මෙම පිළිතුරෙන් අතෘප්තියට පත් වූ ඉල්ලුම්කරු විභාග කොමසාරිස්වරයා වෙත අභියාචනයක් යොමු කළ අතර, අදාළ ප්‍රථිපල නිකුත් නොකරන බව ඊට ප්‍රතිචාර ලෙස දැනුම් දෙනු ලැබීය.

කොමිසමේ තීන්දුව හා ඊට පිටුපා හිතුවක්කාර වූ විභාග දෙපාර්තමේන්තුව

2023.08 මස ප්‍රථීපල අපේක්ෂිතයාට හා විභාග කොමසාරිස්ට නොතේසි යවමින් කොමිසම ඉදිරියේ පැමිණිලි විභාග කිරීමට ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ සභාපති ඇතුළු විනිසුරු මඬුල්ල තීරණය කරන ලදී.

ඒ අනුව මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් අදාළ විභාග ප්‍රථිපල නිකුත් කළ යුතු බව එහිදී තීන්දු කෙරිණි. අදාළ ඉල්ලා සිටි තොරතුරු මසක් තුළ නිකුත්කිරීමට විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ට නියෝග වුවද, විභාග කොමසාරිස් විසින් නිකුත්කරන ලද්දේ එම ප්‍රථිපලය තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කළ අපේක්ෂකයාට පමණි.

දෙවන විප්ලවය

සමස්ත ජාතික මට්ටමේ ගුරු විභාගයක ප්‍රථිපල එක් අපේක්ෂකයෙකුට පමණක් නිකුත්කිරීම වැරදි සහගත බවත් වසර ගණනාවක් නිකුත් නොකළ මෙම විභාග ප්‍රථිපල උක්ත තීන්දුව අනුව සමස්ත විභාග අපේක්ෂකයන්ට ද මුදාහරින ලෙසට සිදුකළ ඉල්ලීම විභාග කොමසාරිස්වරයා, විභාග දෙපාර්තමේන්තුවේ සිය නිල කාර්යාලයේදීම ප්‍රතික්‍ෂේප කිරීම සිදුකළ මොහොතේ සිට නැවතත් තොරතුරු පනතේ පිහිට පැතීමට විභාග ප්‍රථිඵල අපේක්ෂකයන්ට සිදු විය.

ඒ අනුව තව තවත් දිවයින පුරා සියලු විභාග ලියූ අපේක්ෂකයන් ලවා තොරතුරු අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට යොමු කිරීමට අති විශාල පරිසක් එහි මුල් තොරතුරු ඉල්ලුම්කරු විසින් යොමු කරවා තිබිණි.

විභාග කොමසාරිස්ට යළි කැඳවූ නොතේසි

මේ ආකාරයට ඉදිරිපත් කළ සියලු තොරතුරු ඉල්ලීම්වලට අනුව සමස්ත විභාග ප්‍රථිඵලය නිකුත්කිරීම හැර විභාග කොමසාරිස්ට වෙනත් විකල්පයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් වෙත ලිපියකින් දැනුම්දීමට විභාග කොමසාරිස් කටයුතු කර තිබුණත්, කිසියම් මතභේදාත්මක හේතුවක් මත ප්‍රථිපල නිකුත්කිරීම අඛණ්ඩව වළක්වා සිටින ලදී. මේ අතර අනිකුත් අපේක්ෂකයන් යොමු කළ තොරතුරු ඉල්ලීම්වලට අදාළ අභියාචනා විභාගය, වෙත නැවත විභාග කොමසාරිස් කැඳවීමට නොතේසි නිකුත් විය.

සටන ජය ගැනීම – 2024/04/08 ප්‍රථිපල මුදාහැරීම

විභාග කොමසාරිස් මහජන අයිතිවාසිකම් කඩකළ බව නිර්දේශ ඒ අනුව 2024.04.09 දින අභියාචනා විභාගයට පැය කිහිපයක් තිබියදී විභාග දෙපාර්තමේන්තුව විසින් සිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය තුළ සමස්ත විභාග ප්‍රථිපල නිකුත්කිරීමට ක්‍රියාත්මක වී තිබිණි. නමුත් කොමිසම විසින් කොමිසමේ තීන්දුව ප්‍රකාරව තවත් මාස ගණනක් තොරතුරු ඉල්ලුම්කරුවන් අපහසුතාවයට ලක්කිරීම හා ඔවුන්ගේ තොරතුරු අයිතිවාසිකම් කඩකිරීම සිදුකර ඇති බව කොමිසම නියෝග කළේය. නමුත්, ප්‍රථිපල නිකුත්කිරීම නිසා අදාළ පැමිණිල්ල විභාගකොට අවසන් කළේය.

ජනතා බලය හා තොරතුරු බලය

මෙම කතාවෙන් මහජනතාව පැහැදිලි කරගත යුත්තේ, බලධාරීන්ගෙන් හෝ පාලකයන්ගෙන් තම අයිතිවාසිකම් දිනා ගැනීම කටින් කියා සිදු කළ නොහැකි නම් දැන් එය තොරතුරු පනතේ බලයෙන් වුවද ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව උදාවී ඇති බවයි. ඒ සමගම “නිදා සිටින්නන්ට නීතියේ සහනය” නොලැබේ යන කියමන පසක්කරමින් ජනතා අයිතීන් ජයග්‍රහණය කිරීමට, පාලකයන්ට බැණ වදිමින් මර නින්දේ පසු නොවිය යුතු බවත්ය.

ජනක බෝකුඹුර

advertistmentadvertistment
advertistmentadvertistment