නමගිය අපරාධකරුවෙක් හම්බන්තොටදී වෙඩි කා නසී

697

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු බිරිඳ හා දරුවා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී හම්බන්තොට සූචි ගම්මානය අසලදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් පෙරේදා (21දා) රාත්‍රී 9.50ට පමණ වෙඩි තබා ඝාතනය කර ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හම්බන්තොට පදිංචි කොඩිතුවක්කුගේ සාගර නමැති 35 හැවිරිදි එක් දරු පියෙකි.

මියගිය පුද්ගලයා සිය බිරිඳ හා වයස අවුරුදු 4ක පමණ දරුවා සමග පෙරේදා රාත්‍රී 9.50ට පමණ හම්බන්තොට සුචි ගම්මානයේ පිහිටි පල්ලිය පාරේ ගමන් කරමින් සිටියදී මාර්ගය හරහා ඇති බම්පර් එකකින් දැමීමට යතුරු පැදියේ වේගය අඩු කරන අවස්ථාවේ කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබේ. වෙඩි වැදුණු පුද්ගලයා දරුවා බිරිඳ සමග බිම ඇද වැටී ඇති අතර ඉන් දරුවාට හෝ බිරිඳට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයාගේ හිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර කිසිවෙකුත් තුවාලකරු රෝහලට රැගෙන යාමට කටයුතු කර නොතිබුණු අතර පොලිස් නිලධාරීන් පැමිණ තුවාලකරු රෝහලට රැගෙන යන අවස්ථාවේදි මියගොස් තිබේ.

මියගිය පුද්ගලයාට එරෙහිව 2006 වසරේදී බඳගිරිය ප්‍රදේශයේ ගව හිමියෙකු ඝාතනය කිරීමට එරෙහි චෝදනාවක්ද පවතින අතර මුදල් මංකොල්ලකෑම්, ගව සොරකම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චොදනා එල්ල වූ පුද්ගලයෙකු බවද මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා විසින් ඊයේ (22දා) මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විණි. සිද්ධිය පිළිබඳ තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න, හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හම්බන්තොට පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment