හදිසි අවස්ථාවකදී මොකද කරන්නේ…?

203

හදිසි අවස්ථාවකදී පුහුණු ප්‍රථමාධාරකරුවකු විසින් අවට පරිසරයේ සුදුසු සම්පත් ප්‍රයෝජනයට ගෙන ප්‍රථමාධාරයේ පිළිගත් න්‍යායන්ට ක්‍රමවේදයන්ට අනුව රෝගියාගේ කායික හා මානසික සුවතාවය උදෙසා ලබාදෙන ආධාරය ප්‍රථමාධාරයක් කියා පවසයි.

● පුහුණු ප්‍රථමාධාරකරුවා

පුහුණු ප්‍රථමාධාරකරුවකු යනු, ඕනෑම හදිසි අවස්ථාවකදී එනම් අනතුරක් එහෙම නැත්නම් රෝගී තත්ත්වයකදී අනතුරට පත් පුද්ගලයා ආරක්ෂිතව මුදාගැනීමේ සිට, නිසි ප්‍රථමාධාර ලබාදීම සහ නිවැරදි ක්‍රමවේදයන් අනුව රෝගියා එසවීම සහ රෝහලක් වෙත රැගෙන යෑම යන මේ කරුණු සම්බන්ධයෙන් නිසි දැනුමක් සහ පුහුණුවක් ඇති අයෙකි. ඉන් අදහස් කරන්නේ ප්‍රථමාධාර දන්නේ නැතිනම් කරන්න එපා කියන අදහස නොවේ. එසේ නොමැති වුවහොත් මේ අවස්ථාවට පත් රෝගියා සිහි නොමැති වූ, හුස්ම ගැනීම නතර වූ හෝ රුධිර වහනයක් වන රෝගියෙකු නම් ඉතා සුළු කාලයකදී රෝගියා මරණයට පත් වෙන්නට පිළිවන.

මෙවැනි අවස්ථාවකදී හදිසි ගිලන් රථ සේවය වන ‘සුවසැරිය – 1990’ හෝ අමතා උපකාරක සේවය ලබාගන්න සහ ඒ ලැබෙන උපදෙස් අනුව හැකි ප්‍රථමාධාර ලබාදිය හැකිය.

පරිසරයේ ඇති සුදුසු සම්පත් ප්‍රයෝජනයට ගැනීම

පරිසරයේ ඇති සුදුසු සම්පත් ප්‍රයෝජනයට ගෙන – ප්‍රථමාධාර කළ හැකිය. අතක කකුලක අස්ථි බිඳීමකදී සෙලවීම වැළැක්වීමට ඔබගේ ඇඳුම, රෝගියාගේ ඇඳුම ඇඳ සිටින කමිසය, බෙල්ට් එක, සරම පවා භාවිතා කළ හැකිය. තවද රුධිර වහනයක් වැළැක්වීමට ලේන්සුව, තුවාය, ඇඳුම, ඇඳ ඇතිරිලි භාවිතයට ගත හැකිය. මේ කියන දේවල් වලින් තුවාලයක ලේ යෑම නතර කිරීමට උත්සාහ කළහොත් විෂබීජ ආසාදනයක් සිදුවේද කියන කාරණය සම්බන්ධව සැකයක් මතුවිය හැකිය. මෙහිදී ප්‍රධානතම අරමුණ වෙන්නේ ජීවිතය බේරාගැනීමය. එබැවින් ජලය, ගසක අතු, කොළ වැල් ආදිය සහ මහමග ඇති බැනර්, කාඩ්බෝඩ් හෝ පතුරු ආදියද ප්‍රථමාධාර ලබාදීම සඳහා භාවිතා කළ හැකිය.

● නියමිත ප්‍රථමාධාර ක්‍රම

පිළිගත් න්‍යායන්ට හා ක්‍රමවේදයන්ට අනුව – එක් එක් අනතුරු හෝ රෝගී අවස්ථාවන්ට අනුව නියමිත ප්‍රථමාධාර ක්‍රම ශිල්ප ඇත. උදාහරණ ලෙස හුස්ම නොගන්න අවස්ථාවකදී ළදරු, ළමා හෝ වැඩිහිටියකුට ක්‍ඡඍ ලබාදීමේ ක්‍රමවේදය එකිනෙකට වෙනස් වේ. තුවාලයකදි හෝ ශරීරයට යමක් ඇණුනු අවස්ථාවකදී ප්‍රථමාධාර කිරීම එකිනෙකට වෙනස්ය. අතක් කකුලක් කැඩුණු අවස්ථාවකදි ලබාදෙන ප්‍රථමාධාර ද එකිනෙකට වෙනස් වේ. මේ සියල්ල නූතන බටහිර වෛද්‍ය ක්‍රමවේදයන්ට අනුව නිර්මාණය වූ සහ විද්‍යාත්මක පදනමක් ඇති එමෙන්ම විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත. එබැවින් ඊට ප්‍රථමාධාර කියා පවසයි.

● මානසික සුවතාවය

කායික හා මානසික සුවතාවය උදෙසා – තුවාලයක රුධිර වහනය වැළැක්වීම, අතක කකුලක අස්ථි බිඳීමකදි සෙලවීම වැළැක්වීම මේ සෑම දෙයක්ම කරනු ලබන්නේ රෝගියාගේ කායික සුවතාවය සහ මානසික සුවතාවය උදෙසාය. මේ සෑම අවස්ථාවකදීම රෝගියා සිටින්නේ අධික බියට සහ කම්පනයට පත්වය. ඇතැම් විට මෙය ජීවිත අවදානමක් දක්වා තත්ත්වය උත්සන්න වීමට පවා පිළිවන. උදාහරණ ලෙස සර්ප දෂ්ටනයක් සිදු වූ රෝගියකුට මානසික ප්‍රථමාධාර ලබා නොදුනහොත් බියත් සමඟ රුධිර සංසරණ වේගවත් වීම නිසා සර්ප විස රුධිරයත් සමඟ ශරීරය පුරා ඉතා ඉක්මණින් පැතිරී සංකූලතාවයන් හේතුවෙන් මරණයට පත් විය හැකිය. තවද හෘදයාබාධ තත්ත්වයකදී රෝගියාට ඇතිවන බියත් සමඟ මානසික ප්‍රථමාධාර ලබාදීම නොකළහොත් තත්ත්වය බරපතළ වීමට පවා ඉඩකඩ ඇත. එහෙයින් රෝගියාගේ මානසික මට්ටම නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්‍රථමාධාරකරුවාගේ වගකීමක් සහ කාර්යභාරය වේ. එපමණක් නොව ඇතැම් විට රෝගියා අනතුර සිදුවූ අවස්ථාවේ අවට සිටින අය, රෝගියාගේ ඥාතීන්ට සහ හිතමිත්‍රයන්ටද ප්‍රථමාධාරකරුවකු වශයෙන් ඔබට මානසික ප්‍රථමාධාර ලබාදීමට පවා සිදුවේ.

ප්‍රථමාධාර ලබාදීමේදී ඉහත කී කරුණුවලට අමතරව රෝගියෙකු මුදා ගැනීමේදී, ප්‍රථමාධාර ලබාදීමේදී සහ ප්‍රවාහනයේදී ප්‍රථමාධාරකරුගේ එනම් ඔබගේ ආරක්ෂාව ගැන ප්‍රථමයෙන් සැලකිලිමත් වීමට වගබලා ගන්න. එසේ නොමැති වුවහොත් ඔබටද අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් වන්දි ගෙවීමට හෝ අර්ධකාලීන හෝ පූර්ණකාලීන වශයෙන් අතුරු ආබාධ තත්ත්වයන්ට පත්වීමට ඉඩකඩ ඇත.

හදිසි අවස්ථාවකදී මොකද කරන්නේ…?

චමීර පීරිස්
ජ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර උපදේශක,
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment