ගෝඨාගෝගම මුල්ම කූඩාරම ගැහුවේ ජනාධිපතිවරයාගේ උපදේශකයෙක්

2208

යම් සමාජයක් ආරක්ෂා කරගත හැක්කේ එහි දේශපාලන සාක්ෂරතාව බලගැන්වීමෙන් බවත් ඒ අනුව යමින් ‘විෂම රැලි – කුණාටුවලට ගොදුරුවීම වළක්වා’ ලාංකේය සමාජයේ දේශපාලන සාක්ෂරතාව බලගැන්වීමේ අරමුණින් ‘නවය; සැඟවුණු කතාව’ කෘතිය ජනගත කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

ඒ අවස්ථාවේ ආර්ථිකමය වශයෙන් මහා පීඩාකාරී තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබුණා. අපි එදා පෙන්වා දුන්නා ‘මේ ආර්ථික අර්බුදය තිව්‍ර වන තෙක් බලාගෙන හිටියොත් සමාජයේ විෂම මනසක් ඇති වෙනවා’ කියා. ඒ විෂම මනසින් ගන්න තීරණ හරි තීරණ වෙන්නේ නැහැ. අවසානයේ ඒ විෂම මනස බලවේගයක් බවට පත්ව විනාශකාරී ලෙස හැසිරුණා. නමුත් ඒ විනාශකාරී අත්දැකීම සිදුව වසරක් ගත වෙලා තිබෙනවා. දැන් අපිට අවස්ථාව තිබෙනවා සිහිබුද්ධියෙන්, එම සිදුවීමේ, ප්‍රේක්ෂකයන්, චරිත බවට පත් නොවී, ඒ දිහා ආපහු හැරිලා බලන්න. ඒක දිහා ආපහු හැරිලා බලලා, නිවැරදි අවබෝධය ලබා නොගත්තොත් අපි විශාල විපත්තිදායක අනාගතයක ගොදුරු බවට පත්වෙනවා. යුක්රේනයේ සිදුවූවා ‘මයිදාන් අරගලය’ කියලා එකක්. ඒ මයිදාන් අරගලයත් ගාලුමුවදොර අරගලයට බොහෝ සෙයින් සමානයි. සීත කාලයේ යුක්රේනයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරුණ තරුණියන් ‘මයිදාන් උද්‍යානයට’ ආවා. මුලින් මහා ගොඩක් ආවේ නැහැ. ඇවිල්ලා ‘යුරෝපා සංගමයට එක්වෙනු! කියන සටන් පාඨය ගෙනාවා. යුක්රේනයේ සියයට හැට ගණනක් ඉන්නේ ඕතඩොක්ස් ආගම අදහන අය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මැතිනිය පහුකාලීනව කියනවා,‘1991 සිට මයිදාන් අරගලය දක්වා වූ කාලය තුළ යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීම සඳහා අපි ඩොලර් බිලියන් පහක් වැය කළ බව. යුක්රේනය, රුසියාවට විරුද්ධ තත්වයකට පත්කර ගැනීමට තමයි එයා ‘ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වනවා’ කියන්නේ. පසුකාලීනව වික්ටෝරියා නූලන්ඩ් මැතිනිය සහ මයිදාන් අරගලය සිදු වන අවස්ථාවේ යුක්රේනයේ හිටපු ඇමරිකානු තානාපතිවරයා අතර සිදු වූ දුරකථන සංවාදයක් එළියට ආවා. ඒ සංවාදයේදී ඒ දෙන්නා කතා වෙනවා ‘රුසියාවට හිතවාදී ජනාධිපති පලා ගිහිල්ලා. දැන් අපි උඩට ගන්නේ මේ අයගෙන් කොයි කෙනාද?‘ කියා. එදා යුක්රේනයේ කතා කළේත් කථානායකට. මෙහේ කතා කළේත් අපේ කථානායකට. දැන් හැමෝම සාක්ෂි ඉල්ලනවානේ. ඉතින් ඒක එක සාක්කියක්. මෙහෙත් දුරකථන ඇමතුම් එළියට එනකම් අපි මේක තේරුම් නොගෙන ඉන්න ඕනේ ද? අපි ශ්‍රී ලංකාවේ දේශපාලනය කරනවා නම් ගෝලීය බල දේශපාලනය සිද්ධ වෙන විදිහ තේරුම් ගන්නේ නැතුව, ඒක ඇතුළේ අපේ කතාව කියවා ගන්නේ නැතුව දේශපාලනය කරන්න ගියොත් එක්කෝ අපි නොදැනුවත් ගොදුරු බවට හෝ දැනුවත් පාපතරයන් බවට හෝ පත්වෙනවා. ඒ නිසාම තමයි අපි තීරණය කළේ ‘මේ ගෝල්ෆෙස් අරගලය ඇතුළේ තියෙන කතාව හරියට එළියට දාන්න ඕනේ‘ කියලා. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පස්සේ අපි ජීවත් වන්නේ ඒකධ්‍රැවීය, ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් අතේ කේන්ද්‍රීය බලය පවතින ලෝකයක. ඔබ දන්නවා, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පස්සේ තමයි ඔය ‘වර්ණ අරගල’ ආවේ. මුලින් අරාබිකරයට ආවා. පසුව තවත් රටවලට ආවා. ඒ ‘වර්ණ විප්ලවවලින්‘ ඒගොල්ලොන්ට නටවන්න පුළුවන් පාලනතන්ත්‍ර අටවාගත්තා. සමහර වෙලාවට ජාතික රාජ්‍යයන් නැත්තටම නැති කළා. ඒ ගෙවුණු කාලය ඇතුළත ලෝකය පුරා යුද ගැටුම් 100කට වඩා ඇති වුණා. මේ අය ලෝකයේ රටවල් ඇතුළේ යුද්ධ අවුලුවනවා. දැන හෝ නොදැන ඒ රටවල ඇතමුන් ඒවා තුළ තම භූමිකාවන් ඉටු කරනවා. මෙන්න මේ තත්වය අභියෝගයට ලක්කරමින්, බහුධ්‍රැවීය ලෝකයක් නිර්මාණය වීමේ විලිරුදාවෙන් පෙළෙන අවස්ථාවකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ ප්‍රසව වේදනාව විවිධ පැතිවලින් අපට ඇහෙමින් තිබෙනවා.2023-04-16 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා බීජිංවලට එන්න ඉල්ලීමක් කළාම චීනය ඒක ප්‍රතික්ෂේප කළා. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. සුඩානයේ මේ මොහොතේ සිද්ධ වෙමින් පවතින්නේ කුමක්ද? ප්‍රවෘත්ති යනවා හාරසිය ගණනක් මැරුණයි කියලා. මුලින්ම සුඩානය දෙකට කැඩුවා ඉස්ලාම් සහ කතෝලික හැටියට. ඊට පස්සේ හිටපු ජනාධිපතිවරයා ඒකාධිපතියකු යැයි කියා පන්නා දමා අලුත් කෙනෙකු පත් කළා. එයාව පන්නලා හමුදාවේ කෙනෙක් දැන් බලය ලබා ගෙන තිබෙනවා. එයා රුසියාව පැත්තට බරයි. එයාට විරුද්ධව තමයි RSF (Rapid Support Forces) කියන සන්නද්ධ කණ්ඩායම් හැදුවේ. දැන් ඒගොල්ලෝ බලනවා ජනාධිපති මන්දිරයයි, ගුවන් තොටුපළයි අල්ලලා එතැන බලය අතට ගන්න. බටහිර බලවතුන් දැන් කලබල වෙලා තිබෙනවා. ඒ අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් අද බටහිරින් මිදිලා. චීනය සහ රුසියාව පැත්තට හැරීම නිසායි. එම රටවල් අලුත් ආර්ථික දියුණුවක් අත්පත් කර ගනිමින් නැඟිටිනවා.

අද රුවන්ඩා ජනාධිපති සම්පූර්ණයෙන් බටහිරින් අත්මිදිලා චීනය සහ රුසියාවත් එක්ක අත්වැල් බැඳගෙන ඒ සමාජය දියුණු කරනවා; රාජ්‍යය බලගන්වනවා. දැන් බටහිර බලවතුන්ට අලුත් වටයකින් අප්‍රිකාව අස්ථාවර කරන්න ඕනේ . ඒකට එහෙනම් සුඩානයෙන් තමයි මැච් එක පටන් ගන්න ඕනේ. සුඩානයේ ඔය RSF එකේ ඉන්න අය දන්නවාද ඕක? ඒ නිසා අපි මේ තත්ත්වය ගැඹුරින් තේරුම් ගන්න ඕනේ.

මම මේ පොතෙන් අනාවරණය කරනවා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න තීරණය කරලා, පලා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඇමෙරිකාවත් ඔහුගෙන් ඉල්ලා සිටියා කියා, ‘ඔයා ඉල්ලා අස්වෙන්න කලින් අගමැති රනිල්වත් අයින් කරන්න‘ යනුවෙන්. එවකට ජනාධිපති ලේකම්වරයා වූ ගාමිණී සෙනරත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් අයින් කරන ලියුම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලියුම යන දෙකම හදලා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්සන් කළේ එයාගේ ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. ඒ අතරතුර රනිල් වික්‍රමසිංහගේ ගෙදරත් ගිනි ගන්නවානේ. සමහරවිට ඒ ගිනි තැබීම කරන්න ඇත්තේ රනිල් මානසිකව බිඳවැටිලා ගෝඨාභය අයින් නොකළත් ඉල්ලා අස්වෙන ලියුමක් දෙන විදිහේ තත්ත්වයකට පත් කරගන්න විය හැකියි. මතක තබා ගන්න මේ වන විට රනිල් වික්‍රමසිංහ අයින් කරලාත් නැහැ; ඉල්ලා අස්වෙලාත් නැහැ. එවැනි තත්ත්වයක් තිබියදී ඔය වෙලාවේ කථානායක නිල නිවසට ඇමරිකානු තානාපතිනිය එනවා. සමහරවිට කථානායකතුමා හෙට ප්‍රකාශයක් කරයි, ‘එහෙම දෙයක් වුණේ නැහැ‘ කියලා. එතුමාම එතුමාගේ සමීපතමයකුට කියපු කතාව මම මේ කියන්නේ. එතුමාට කිසිම හේතුවක් නැහැ එහෙම කතාවක් හදලා කියන්න. ඒ කතාව අනුව කථානායකතුමන් තමන්ගේ පවුලේ ඔක්කොම යවනවා මාතර පැත්තේ ගෙදරකට. එතුමාත් තරමක් තිගැස්මෙන් නිල නිවසේ ඉන්නේ. මොකද ඒ අර පාර්ලිමේන්තුව වට කළ වෙලාව. එහෙම ඉන්නකොට සේවකයකු ඇවිල්ලා කියනවා, ‘ඇමරිකානු තානාපතිතුමිය ඇවිල්ලා ඔබතුමා හම්බවෙන්න ඕනේ කියනවා.’ කියලා. ඉතින් ඒ ගමන කථානායකතුමන් කලබලෙන් පහළ මහලට එනවා. ඇවිත් එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා, ‘දැන් ගෝඨාභය අයින් වෙනවා. ඔබ ජනාධිපති ධුරය භාර ගන්න‘ කියා. එතකොට කථානායකතුමා කියනවා, ‘එහෙම කරන්නේ කොහොමද තානාපතිතුමියනි, ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩබලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. මම කථානායක. එයා ඉන්දැද්දි මට ඒක කරන්න බැහැ.‘ කියලා. අවසානයේ දී තානාපතිතුමිය කියන්නේ ‘ව්‍යවස්ථාව වැඩක් නැහැ. අපි ඒක බලාගන්නම්. ඔයා මේක ගන්න‘ කියලයි. ඊට කලින් දවසේ කථානායකතුමාට ඔය යෝජනාවම අරගෙන එනවා අපේ රටේ තිබෙන යම්කිසි ආගමික සංස්ථාවක නායකතුමකු සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු. ඔවුන් ඇවිල්ලා කථානායකතුමාත් එක්ක පැය දෙකක් විතර සාකච්ඡා කරලා ඔය යෝජනාවට එකඟ කර ගැනීම සඳහා උත්සාහයක් දරනවා. එතැනදීත් කථානායකතුමා දැරුවේ ඉහත ස්ථාවරය. ඒ අයට බැරි වුණා කථානායකතුමා ඒ වැඩේට එකඟ කරගන්න. ඔවුන්ට බැරි වුණු නිසා තමයි තානාපතිතුමිය, කථානායකතුමා ඉන්නවාද නැද්ද අහන්නෙත් නැතුව එක පාරට තමන්ම ඇවිල්ලා ඉහත කතාව කිව්වේ.

යුක්රේනයේත් මයිදාන් අරගලයෙන් පසු කථානායක තමයි වැඩබලන ජනාධිපති කළේ. ලිබියාවේත් ගඩාෆිවත් මරලා, ජාතික රාජ්‍යය විනාශ කළාම එතැන කථානායක මූලික කොටගත්තා වූ අන්තර්කාලීන පාලනයක් තමයි හැදුවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, හමුදාවේ ප්‍රධානීන් ඇතුළු ජනාධිපති මන්දිරය ඇතුළේ හිටපු ඔක්කොම මරලා අර බිහිසුණු තත්වය තව සතියක් දෙකක් ඇදගෙන ගිහිල්ලා, මරන්න ඕනේ ලැයිස්තුවක් තව තිබෙනවා නම් ඒ ඔක්කොමත් මරලා මෙහෙ ‘ප්ලෑන් ඒ‘ අනුව තිබුණෙත් කථානායක මුල්කොට ගත්තු අන්තර්කාලීන පාලනයක් හදන්න. ලිබියාවේ වගේම ඒ අන්තර්කාලීන පාලනයේ සරත් ෆොන්සේකා ඉන්න පුළුවන්. දැන් ඉන්න යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාත් අනිවාර්යෙන් එතැන ඉන්නවා. මේක අති බිහිසුණු මොහොතක් වුවත් ශවේන්ද්‍රට 2022 ජූලි 09 වැනිදාට කලින් හදිසියේම ඉන්දියාවෙන් ආරාධනා පත්‍රයක් එනවා, ඉන්දියාවේ මොකක්ද එහෙකට එන්න කියලා. ඒ හින්දා ඒ සිද්ධිය වන වෙලාවේ එයා හිටියේ ඉන්දියාවේ. හැබැයි අනෙක් ඔක්කොම හමුදා ප්‍රධානීන් ජූලි 09 වැනිදා ඒ බිහිසුණු පැයේ හිටියේ ජනාධිපති මන්දිරය ඇතුළේ.

● ගාලු මුවදොර තිබූ ට්‍රක් රථ ඉවත් කරන ලෙස ඇමරිකානු තානාපතිනිය ඉල්ලීම් කළා

එයා එනකොට වැඩේ වෙලා ඉවරයි. ශවේන්ද්‍රත් එක්ක මට කිසිම පුද්ගලික ආරවුලක් නැහැ. ඒ මනුස්සයාට ජිනීවාවලිනුත් සෑහෙන චෝදනා මාලාවක් එල්ල කරලා තිබෙනවා. ඒ චෝදනා මාලාව එල්ල කරන්නේම මේ විදියට හසුරුවා ගන්න. මේ හැමෝගෙම තියෙන ‘බොටම් ලයින් එක‘ තමයි, ‘කොහොමහරි ඇමරිකාව ෂේප් කරගන්න ඕනේ‘ කියන එක. ගෝඨාභය රාජපක්ෂවත් හසුරුවන ලද්දේ ජුලී චන්ග් ඇමරිකානු තානාපතිවරියයි. ගෝඨාභය රාජපක්ෂගේ හිත ඇතුළේ තිබූ ප්‍රධාන වුවමනාව තමයි විශ්‍රාම ගියාට පස්සේ ඇමරිකාවට ගිහිල්ලා සුවෙන් ජීවත් වීම. ඒක නිසා ඔහු අනිවාර්යයෙන් ඇමරිකානු තානාපතිතුමිය කියන විදිහට ඉන්න ඕනේ. ඔබට මතක ඇති, එක පාරක් ගාලුමුවදොර කිට්ටුවට හමුදා ට්‍රක් රථ ගෙනල්ලා පෙළගස්සලා තිබුණා. ඒ වෙලාවේ ඔය ඇමරිකානු තානාපතිනිය, එක ඇමති කෙනෙකුට සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට කතා කරලා කියනවා, ‘ඔය ගෝඨා ගෝ ගමේ කට්ටිය අරන් යන්නද හදන්නේ? ඒක කරන්න එපා! එහෙම වුණොත් IMF ප්‍රෝග්‍රෑම් එක නතර වෙයි.‘ කියා. ඉන් පසුව අර ට්‍රැක් රථ පෙළ ආපසු ගියා. ඒ විදිහට ගෝඨාභයවත් පාලනය කළා. අරගලයත් පාලනය කළා. අරගලය පාලනය කළේ කොහොමද කියන එක මේ පොතේ කරුණු සහිතව තියෙනවා. මේකේ තිබෙනවා, ඇමරිකානු ආයතන මුදල් පොම්ප කරපු හැටි. අහවල් පුද්ගලයාට කියලා නැහැ. මේකේ තියෙන්නේ ‘නීතිඥ වෘත්තිය බලගැන්වීම සඳහා මෙච්චර මුදලක් අහවල් ආයතනයට‘ ආදී වශයෙන්. හැබැයි ඉතින් දැන් අනෙක් අය විගණනය කරලා බලන්න ඕනේ, ‘මේ ආයතනවලට ලැබුණු සල්ලි ටික කාට කාටද බෙදිලා ගියේ?‘ කියලා. අපිට මේ අවබෝධය නැති වුණොත් නැවත වතාවක් අපි නොදන්නා විදිහේ අරගලයක කොටස්කාරයෝ වෙන්න පුළුවන්.

● කර්නල් රනිල් ගාව – දමිතා සජිත් ගාව

බලන්න අරගලයේ හිටපු පැතුම් කර්නර් දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව. එයා තමයි එදා ‘අරගලයේ ඩිජිටල් වීරයා.‘ එයා දැන් කියනවා, ‘මගේ ආර්ථික දර්ශනය තමයි රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මං එයත් එක්කයි ඉන්නේ.‘ කියලා. දැන් දමිත නෝනා ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා ගාව. එදා එයා තමයි ‘විහාර මහා දේවිය.‘ ඒ කාලයේ ‘විහාර මහා දේවීලා, දුටුගැමුණුලා‘ ක්ෂණිකව හැදුණා. දැන් ඒ එක එක්කෙනා නියම චරිත රඟ දක්වනවා. එයාලා ඒ වෙලාවේ නිර්පාක්ෂිකයි. මුලින් ගාලුමුවදොර අරගලයට ‘ආදරයේ අරගලය‘ කිව්වා. අන්තිමට ඉතාම බිහිසුණු ජවනිකා එක්ක තමයි ඒක අවසන් වුණේ.

දැන් අපි මේ කියාගෙන ආවේ ලෝකයේ සිදු වන නව පරිවර්තනය ගැනයි. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ආසියාව තමයි ලෝකයේ ඊළඟ පරිච්ඡේදය ලියවෙන තැන. BRICS හවුලෙන් වෙනම මුදල් ඒකකයක් ආවාම දැන් ඒකට එකතු වෙන්න තව බලන් ඉන්නවා සෞදි අරාබියාවත්. BRICS හවුලේ දැනට ඉන්නවා ලෝක ජනගහනයෙන් භාගයක්. ඊට ලෝකයේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකක්, ලෝක ආර්ථිකයෙන් 60%ක්,ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 31.5%ක් අයත්. දැන් බොහෝ රටවල් BRICS හවුල එක්ක එකතු වෙන්න අලුතෙන් ඉදිරිපත් වෙනවා. ඒ අතර වන මෙක්සිකෝව දකුණු ඇමරිකාවේ තිබෙන දෙවැනියට විශාල ආර්ථිකයට හිමිකම් කියන රටයි. ඊජිප්තු පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වෙනවා BRICS එකත් එක්ක එකතු වෙන්න පූර්ණ එකඟතාව පළ කරලා. දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍යවරිය වන නලෙඩි පැන්ඩෝර් (Naledi Pandor) මහත්මිය කියනවා, ‘BRICS සමඟ එකතු වෙන්න දැනට රටවල් දොළහක ඉල්ලීම් ලිපි ලැබිලා තියෙනවා‘ කියලා. මේක අලුත් මහා පරිවර්තනයක ප්‍රසව වේදනාවෙන් පෙළෙන වෙලාවක්. ඉදිරි අවුරුදු දහය කියන්නේ ලෝක බල ආධිපත්‍යය තියුණු ලෙස පරිවර්තනය කරන වකවානුවක්. මඳක් සිතන්න, මේ අරගලය ලංකාවට එන්නේ මෙතැන ආසියානු කලාපයේ පිහිටීම අතින් ඉතා වැදගත් ස්ථානයක් නිසයි. මං මේක මීට කලිනුත් කියලා තියෙනවා. නමුත් අදත් කියන්න ඕනෑ. 15 වන සියවස අවසානයේදී පෘතුගීසින් ලංකාවට ආවාම පෘතුගාලයේ එම්මානුවෙල් රජතුමන් තම ගෝවේ ප්‍රතිරාජයා වූ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාට ලිපියක් යොමු කරනවා. ඒ ලිපියෙන් ලංකාවේ පිහිටීමේ වැදගත්කම අවධාරණය කර තිබුණා. 2015දී ජෝන් කෙරී, එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට ආවා. ඔහු ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී දේශනයක් කළා. ඒ දේශනයේදී එතුමා කියනවා, අර 15 වැනි සියවසේ පෘතුගාලයේ රජු කියන ලද කතාව වෙන විදිහකට. ‘නුඹලාගේ රට පිහිටා ඇත්තේ අප්‍රිකාවේ, දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ මධ්‍ය ලක්ෂ්‍යයකය. ඒ ඉන්දියානු සාගරයේ, ලෝකයේ වැදගත්ම වාණිජ ප්‍රවාහන මාර්ගයයි. ශ්‍රී ලංකාවට එහි ගැඹුරු වරායවල් සහ උපායමාර්ගික පිහිටීම නිසා නවීන ලෝකයේ වේගයෙන් නැඟී සිටින ඉන්දියානු ශාන්තිකර කලාපයේ නාභිය බවට පත්විය හැක. ශ්‍රී ලංකාව විසින් එම තත්ත්වය අත්පත් කර ගැනීම සඳහා ඇමරිකාවට තමන් සතු ආර්ථික හා ආරක්ෂක හැකියාවන් යොදා ගනිමින් ප්‍රබල භූමිකාවක් ඉටු කළ හැක.‘ යනුවෙන් ඔහු පැවසුවා. මෙහි යටිපෙළ අරුත ගත්තොත් ‘ප්‍රබල භූමිකාව ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාව නමැති රාජ්‍යය බිඳවැට්ටිය යුතුව ඇත. අඩපණ කළ යුතුව ඇත. අසාර්ථක කළ යුතුව ඇත. ආර්ථික හා දේශපාලන වශයෙන් පරඬැලක් බවට පත් කළ යුතුව ඇත. එසේ කරන ලද කල්හි අපේ වැඩේ කරගත හැකිය. ඒක කොරගන්න සාමාන්‍ය ක්‍රමයට බැරිය. අසාමාන්‍ය උපාය උපක්‍රම පාවිච්චි කළ යුතුය.’ යන්නයි.

ඒකට බ්ලොග්කරුවන් අල්ලන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ. සෝෂල් මීඩියා වීරයෝ හදන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ. මම මේ හැම මිනිහෙක් ගැනම නොවෙයි කියන්නේ.

● සී. එයි. ඒ. ප්‍රධානියා ලංකාවට

පසුගිය පෙබරවාරි 14, ආදරවන්තයන්ගේ දිනයේදී ලංකාවට ආවා විශේෂ ඇමරිකානු කණ්ඩායමක්. ඒක ගැන සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා අපි පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක කාර්යාලය මගින් යෝජනාවක් දුන්නා. එතැනදී යෝජනාවේ තිබූ වික්ටෝරියා නූලන්ඩ්ගේ නමත් මැකුවා. ඇමරිකාව යන රටේ නමක් කැපුවා. මෙතෙක් ඒ ගැන මත දැක්වූයේ උත්තර ලංකා සභාගයේ අපි නියෝජනය වන පක්ෂවල මන්ත්‍රීවරුන් පමණයි. වෙන කිසිම කෙනෙක් ඒ ගැන කටක් ඇරියේ නැහැ.

● ජනතා විමුක්ති පෙරමුණ තමයි එදා ඔය වගේ ‘ටොප් සීක්‍රට් මිෂන්‘ රටට කියන්නේ

ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක තෙමේ ද කිසිවක් කිව්වේ නැහැ. ඉස්සර නම් ජනතා විමුක්ති පෙරමුණ තමයි ඔය වගේ ‘ටොප් සීක්‍රට් මිෂන්‘ ආපු ගමන් ඒ අවදානම අරගෙන රටට මේවා කියන්නේ. නමුත් ඔවුන් ඒ ගැන මේ වෙනකන් කෙළ බිඳක් කටින් හෙළුවේ නැහැ. ඉහත දිනයේ ඇමරිකානු ගුවන් හමුදාවට අයිති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යාත්‍රා දෙකකින් 20 දෙනකුගේ කණ්ඩායමක් කටුනායකට ආවා. මේ විසිදෙනාගේ කණ්ඩායමේ හිටියා සීඅයිඒ ප්‍රධානියා විලියම් බර්න්ස්. මේගොල්ලෝ කොළඹට ආවා. ඇවිල්ලා රටේ ජනාධිපතිව, ආරක්ෂක ලේකම්ව, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව හමුවුණා. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ඔවුන් ප්‍රධාන ඉල්ලීම් හතරක් ඉදිරිපත් කළා. එක, අපේ රටට එන දුරකථන ඇමතුම් සම්බන්ධ වන මුහුද හරහා එන කේබලය ටැප් කරන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න කියන එක. ඒ කියන්නේ පැමිණෙන ඇමතුම් සියල්ලට ඇහුම්කන් දෙන්න ඉඩ දෙන්න කියන එක. ඒකට එකඟ වුණා. දෙක, ගුවන්තොටුපළේ කුමක් හෝ මෘදුකාංගයක් සවි කරලා ඒ මෘදුකාංගය හරහා ගුවන්තොටුපළෙන් යන එන සියලුදෙනාගේ ජීව දත්ත ලබාගන්න ඔවුන්ට ඕනෑ කියන එක. ඒකටත් එකඟ වුණා. තුන, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාට උඩින් ඒගොල්ලන්ගේ කෙනෙක් තියන එක. ඒකටත් එකඟ වුණා. හතර, ඒගොල්ලොන්ගේ ආරක්ෂක හමුදා සාමාජිකයන් ලංකාවට එනකොට, ඔවුන්ට පරීක්ෂා කර බැලීමකින් තොරව, අවි ආයුධ සහිතව, නිදහසේ රට තුළ සැරිසරන්න ඉඩ දෙන්න කියන එක. වික්‍රමසිංහ මහත්තයා කිව්වා, ඒක විතරක් පොඩ්ඩක් අපි තවදුරටත් සාකච්ඡා කරමු කියලා.

දැන් මතුපිටින් බැලුවාම පෙනෙන්නේ චීනය ණය කළමනාකරණයට එකඟයි කියන ලියුම ලැබුණාට පස්සේ අයිඑම්එෆ් එක වැඩේ කළා කියලයි. මගේ නම් විශ්වාසය ඒක නොවෙයි, ඉහත කී ඇමරිකානු රජයේ ඉල්ලීම් හතරෙන් තුනකට එකඟ වීම තමයි අයිඑම්එෆ් ‘තුට්ටු දෙක‘ ලැබෙන්න බලපෑවේ, කියන එකයි.

ඒකනේ ඇමරිකානු තානාපතිනිය මහා භාණ්ඩාගාර ලේකම් හමුවෙලා ‘කොහොමද මේ සල්ලි වියදම් කරන්නේ?‘ කියලා අහන්නේ. අයිඑම්එෆ් කියන්නේ ඇමරිකාවම තමයි කියලා ඒකෙන්ම පෙනෙනවානේ. දැන් ලංකාවේ ආර්ථිකයත් ඒගොල්ලෝ විසින් පාලනයට නතු කරගෙන ඉන්නවා.

අපි හදන සමහර සභාග ගුප්ත හේතු මත එක පාරට නැති වෙනවා. ඒවා මේ දේශීය කාරණා නොවෙයි. එක්කෙනෙක් කියලා තිබෙනවා, ‘අපෝ මේගොල්ලෝ එක්ක හිටියොත් ඇමරිකානු තානාපතිනියගේ මූණ බලන්නත් බැරි වෙයි‘ කියලා. ඉතින් ඒ මුහුණ බලන්න බැරි නම් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. මෙතැනට දේශපාලන පක්ෂ ඇද වැටී තිබෙනවා. මේක කඩන්නේ නැතුව ලංකාවට නැගිටින්නත් බැහැ. මහජනයා බලගන්වන්නත් බැහැ. සමාජයක් ඉතුරු කරගන්නත් බැහැ.

මේ වෙන්නේ අපේ රට සමාජ, සංස්කෘතික, දේශපාලන, ආර්ථික යන හැම අතින්ම වට්ටන එක. භික්ෂූන්වහන්සේට ගරහනවා. ඒ අතර භික්ෂු සංස්ථාව තුළට අලුත් භික්ෂූන් දාලා සංගීත සංදර්ශනවල නටවනවා. භික්ෂු ප්‍රතිරූපයට දිගටම හානි කරනවා. භික්ෂුව, භික්ෂු සංස්ථාව තමයි මේ සමාජය රැක්කේ.

● අරගල භූමියේ පළමු කූඩාරම හැදුවේ ජනාධිපතිතුමාගේ උපදේශක ආශු මාරසිංහ

ඇයි අර ගොල්ෆේස් අරගල භූමිය තුළ වෙසක් දවසේ හදපු වෙසක් කූඩු කළුපාට වුණේ? ඇයි අරගලයේ හිටපු එක තරුණයෙක් මුල් කාලයේ ඇහුවේ ‘ගමේ පන්සලේ බුදු පිළිමෙට මුස්ලිම් තරුණයෙක් ගහලා පොඩිපට්ටම් කළොත් අපි ඒ තරුණයාට ගහන්නේ නැහැ නේද? කියලා. අනිත් අය ඔක්කොම ටික ඒකට ‘ඔව්’ කිව්වා. ‘ගෝඨා ගෝ හෝම්‘ අරගලය සහ මේ අතර තියෙන සම්බන්ධය මොකක්ද? බුදු පිළිමෙට ගැහුවාට ගහන්න ඕනේ නැහැ. හැබැයි ඔහුව පොලිසියට අල්ලලා දෙන්න ඕනේ. එතකොට ඇයි එතැන මියගිය එල්ටීටීඊ අයව, මහා වීරු සැමරුම් තියලා සැමරුවේ? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උපදේශක ආශු මාරසිංහ තමයි එදා ‘ගෝඨා ගෝ ගම‘ පළමුවැනි කූඩාරම ගැහුවේ. ඒ දිනවල රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ලෙස බීබීසී එකත් එක්ක සාකච්ඡාවක් කළා. එතැනදී ‘ඔබ මොකක්ද විදේශිකයන්ට දෙන පණිවිඩය?‘ කියලා ඇහුවා. ‘මම කියනවා විදේශිකයන්ට එන්න ඇවිල්ලා ගෝඨා ගෝ හෝම් සටනට එකතු වෙන්න‘ කියලයි එදා කිව්වේ.

ඒ අතරේ එයා ප්‍රසිද්ධියේ කිව්වා, ‘ගෝඨා ගෝ ගම පිරිස යවන්නේ නැහැ. ඒකට මං උදව් කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණු ගමන්ම, යාළුවෙක් ඇහුවා,‘ ඔයාට තේරෙන්නේ නැද්ද? ඒගොල්ලෝ සුරක්ෂිත වුණ ගමන් ආයේ ඔයාවත් පන්නලා දායි නේද?‘ කියලා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එවෙලේ යාළුවාට කියනවා, ‘මම දැනගන්න ඕනේ ඊට කලින් නම්බර් වන් වෙන්න‘ කියලා.

අවසානයේ එයා ‘නම්බර් වන්’ වුණා. අර ‘ප්ලෑන් ඒ’ එකට අනුව තිබුණේ ලිබියානු පන්නයේ අන්තර්කාලීන පාලනයක්. ‘ප්ලෑන් ඒ’ එකට ඉදිරියට යන්න බැරි වුණා, මෙයා මේක අතහැරියේ නැති හින්දා. දැන් මෙයා ජනාධිපති. වික්ටෝරියා නූලන්ඩ් ඊට පස්සෙත් ආවා. ඇවිල්ලා අතට අත දුන්නා. සාකච්ඡා කළා. අර ඇමරිකානු ඉල්ලීම් හතරෙන් තුනකට දැන් එකඟයි. මෙයාට වුණත් ඕනවට වඩා ස්ථාවර වෙන්න දෙන්නේ නැහැ. අස්ථාවරභාවය පවත්වාගෙන යමින් මෙයා ලව්වා කරගන්න බැරි වුණු ඔක්කොම වැඩ කරගන්න බැරි වුණත් කරගත හැකි ඉතුරු උපරිම ටික කරගන්න එක තමයි ඇමරිකාවේ බලාපොරොත්තුව.

● ගෝඨාභය ජනාධිපතිතුමාට ඇමරිකාවට යන්න ගුවන් යානයක් දෙනවා කිව්වත් දුන්නේ නැහැ.

අපි සිදු වූ සියල්ල නිවැරදිව තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපත් ගොදුරු බවට පත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂත් මෙහි ගොදුරක් බවට පත් වුණා. ඇමරිකානු තානාපතිතුමිය ගෝඨාභය රාජපක්ෂට දිගටම මානසික බාධක දැම්මා. අවසානයේ ඇමරිකාවට යන්න ඉන්දියාවෙන් ගුවන් යානාවක් එවන්න පොරොන්දු වෙලා හිටියා. එව්වේ නැහැ. හේතුව මොකක්ද? රනිල් අගමැති ධුරයෙන් අයින් කරන ලියුම දුන්නේ නැති හින්දා ඒක එව්වේ නැහැ. යම් සමාජයක් දේශපාලන සාක්ෂරතාවයෙන් ඉහළ මට්ටමකට ආවොත් විතරයි ඒ සමාජය ආරක්ෂා කරගන්න පුළුවන්, පවත්වාගෙන යන්න පුළුවන්. දේශපාලන සාක්ෂරතාවයෙන් අපි මොට නම්, විෂම කුණාටු – රැලිවල ගොදුරු බවට පත්වෙන එක ඇරෙන්න සමාජයට වෙන ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment