වැලේ වැල් නැතුව යන දේශීය පොල්තෙල්

247

ශ්‍රී ලංකාවට පොල් වගාව පැමිණියේ රාවණා රජ සමයේ සිට බව සාක්‍ෂි දරයි. රාවණා රජතුමා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවට අමතර සාක්‍ෂි අවශ්‍ය නොවේ. තම දඬුමොනරයට පවා රසායනික ද්‍රව්‍ය රසදිය භාවිත කළ බව පැවසේ. එතුමන්ගේ රජ සමයේ අර්ක ්රන් යන රසායනික ද්‍රව්‍යයක් පොල්වලින් සාදා ඇති බවත් ඒවා භාවිත කළේ කුමට ද යන්න ලියවී නොමැත. මේ පොල්වල ආරම්භය අග්නිදිග ආසියාවේ සිදුවුණ බවට විශ්වාස කෙරේ. එතකොට ලංකාවට පොල් පැමිණ ඇත්තේ දියවැල් ආශ්‍රිතයෙන් හා වෙළෙඳ නෞකා ගමන්වලදී නාවිකයන් අතින් සිදුවී ඇති බවට ප්‍රකාශිතය. කතරගම දෙවියන් හා තේවානි අම්මාගේ විවාහයේ දී පවා කුරුම්බා වතුර සංග්‍රහ කළ බවට කතරගම දේවාලයේ ග්‍රන්ථවල ග්‍රන්ථාරූඪව ඇති බව පැවසේ. ක්‍රි.පු. 161-137 දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය පාලන සමයේ මහා රුක නමින් පොල් ගස නම් කර ඇත.

අනුරාධපුර යුගයේ දී මුරගල සඳහා සෞභාග්‍යයේ සංකේතය වන පුන්කළස ද ඉදිකර ඇත්තේ ද ගොක් කොළ ආශ්‍රිතයෙනි. සීගිරියේ රජ කල මහා කාශ්‍යප රජතුමා පොල් කිරිවලින් කිරි බතක් සාදා ඇති බව මහාවංශයේ සඳහන්ය. මහා පරික්‍රමබාහු රජ සමයේ පොල්වලින් පොල් තෙල් සාදා පහන් දැල්වූ බව පැවසේ. මේ සමගින් රජ මාලිගා ඇතුළත පිටත අන්තඃපුර ආදී සියල්ල ආලෝක කළේ මේ පොල් තෙල් භාවිතයෙන් බව පැවසේ. ලන්දේසි විසින් අරක්කු නිෂ්පාදනය සඳහා ද ඉන් පසු බ්‍රිතාන්‍ය පාලන සමයේ ද පොල් වගාවට විශාල අනුග්‍රහයක් දක්වා වාණිජ බෝගයක් ලෙසින් 1840න් පසු දේශීය ආයෝජකයන් බොහෝ ප්‍රමාණයක් බිහිවුණි. මිනිරන් පතල්කරුවන්, රේන්දකරුවන් ඔවුන්ගේ මුදල් ආයෝජනය කරමින් ඉඩම් මිලයට ගෙන පොල් වගාව සිදුකිරීමත් සමග පොල් වගාව ව්‍යාප්ත වී සෙක්කුව ආධාරයෙන් පොල් තෙල් නිෂ්පාදනය ද ආරම්භ කරන ලදී. එදා පොල් තෙල් කර්මාන්තය සඳහා පොල් ටික ලෙලිගසා (වියළි පොල්) අව්වට දමා කොප්පරා නිෂ්පාදනය සිදුකර එම කොප්පරා සෙක්කුවට දමා (කළුගලින් ඉදිවූ වංගෙඩිය වැනි ශෛලමය යන්ත්‍රය මෙහි යට සිදුකරක් ඇත) ගොන් දෙන්නකු මගින් විශාල ලී දඬු උපකාරයෙන් පොල් තෙල් නිෂ්පාදනය සිදුවිණි. අද ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින වර්ජින් පොල් තෙල් Vigin Coconut Oil නොදැනුවත්ම නිෂ්පාදනය කළේ අපේ මුතුන්මිත්තන් විසිනි. බිඳ දැමූ පොල් ගෙඩිය අව්වේ වේළීමෙන් 55ජ0 පමණ රශ්මිය ලැබුණි. එය තුළින් නොයිදුල් තෙල් නිපදවිණි. එය ආහාරයට ගත් අප හෙළයෝ කොලෙස්ට්‍රෝල්, දියවැඩියා හෘදබාධවලට මුහුණ දුන්නේ නැත. 1977 විවෘත ආර්ථිකය හඳුන්වාදුන් නිසා විදේශවලින් නොයෙක් පිසින තෙල් වර්ග විවිධ නම්වලින් පැමිණියාය. කෙසේ හෝ කුමන නම්වලින් පැමිණිය ද මේවා එළවළු තෙල් නම් නොවේ. අපේ ජනතාව රැවටුණේ මේවා කැරට් බෝංචිවලින් හිඳින තෙල් කියාය. නමුත් සියල්ල පාම් තෙල්ය. සීමාවක් නැතිව ආනයනය කළ පාම් තෙල් අධිරාජ්‍යය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ව්‍යාපාරිකයන් අතළොස්සක් අතර බෙදා හැරුණි. මෙයට වෛද්‍යවරුන්ගේ ද අනුග්‍රහය ලබාදෙමින් පොල් තෙල්වල කොලෙස්ට්‍රෝල් ඇති බවට බොරු ප්‍රචාර දමමින් 80 අගභාගය වනවිට ශ්‍රී ලංකාවේ දේශීය පොල් තෙල් නිෂ්පාදනය බිමට දමන ලද්දේ පොල් තෙල් අපනයනය කළ දේශීය සමාගමක් වන ඊක්‍ක්‍ ආයතනය ද වසා දමමිනි. මේ පාම් තෙල් ගෙන්වීමට ප්‍රධාන හේතුව වශයෙන් පෙන්වා දුන්නේ දේශීය පරිභෝජනයට අවශ්‍ය වාර්ෂික පොල් තෙල් මෙ.ටොන් 180,000කි. මෙය පොල් ඵලදාව අඩු වැඩි වීම නිසා මෙම පොල් තෙල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම තුළිනි. නමුත් මෙම මෙටි්‍රක් ටොන් 180,000 දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන්ට සැපයීමට හැකියාව පවතී.

එසේ කිරීමෙන් පොල් වගාකරුවා, පොල්තෙල් නිෂ්පාදකයා විසින් ඍජු හා වක්‍රව සපයන රැකියා ප්‍රමාණය අති විශාලය. බොහෝ ගම්බද ප්‍රදේශවල විශේෂයෙන් පොල් ත්‍රිකෝණය හා උතුර, දකුණ, නැඟෙනහිර ප්‍රදේශවල ගෘහස්ථ කර්මාන්තයක් ලෙසින් කොප්පරා නිෂ්පාදනය සිදුකරයි. ලොකු මැහි වශයෙන් කුඩා මැහි වශයෙන් කොප්පරා නිපදවීම සිදුවේ. එයට අමතරව කුඩා ඉඩම් හිමියන් තම කුඩා පොල් අස්වැන්න පවා පොල් ගෙඩිය ලෙලිගසා පොල් ලෙල්ල ගසට පොහොර වශයෙන් දමා කොප්පරා ටික අව්වේ වේළා සති අන්තයේ වෙළෙඳ පොළට යෑමට මෙම වේළන ලද කොප්පරා බෑගය අලෙවිකර මුදල් කර ගනී. නමුත් අද වනවිට විශාල ප්‍රමාණයක් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ පොල් තෙල් මෝල් වසා දමා ඇති නිසා මෙම කුඩා නිෂ්පාදකයාගේ පටන් සියලු කොප්පරා නිපදවන්නන් අමාරුවේ වැටී ඇත. පසුගිය වකවානුවේ පොල් තෙල් නිෂ්පාදනයට හොඳ ඉල්ලුමක් පැවතීම නිසා හතු පිපෙනා සේ කුඩා තෙල් මෝල් හිමියන් ග්‍රාමීය මට්ටමින් විශාල ප්‍රමාණයක් වර්ධනය විය. බොහෝ පොල් තෙල් මෝල් ඇරඹි පිරිස් මෙන්ම පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයෝ ද අද වනවිට තම කර්මාන්තය කරගැනීමට නොහැකි තත්ත්වයක පවත. එයට හේතුව රටේ සමස්ත තෙල් පරිභෝජනය වූ මෙ.ටො. 240,000න් මෙ.ටො. 160,000, 170,000ක් පමණ ආනයනික RBD තෙල් ආනයනයයි. රජය මේ ගැන පැහැදිලි කරන්නේ ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරීම සඳහා ඉඩ දීමෙන් 2020 දී ඩොලර් මිලියන 700ක් උපයා ඇති බවයි. ශ්‍රී ලංකාවේ පොල් තෙල් නිෂ්පාදනයට වාර්ෂිකව පොල් ගෙඩි බිලියන 1.5 ක පමණ ප්‍රමාණයවක් අවශ්‍ය වේ. රජය ආනයන තෙල් වර්ග ආනයන කිරීමෙන් ලබන බදු ආදායම රුපියල් ටි්‍රලියන 3ක් පමණ වන අතර මෙය සමස්ත පොල් නිෂ්පාදන අපනයනයෙන් 20% පමණ ආදායමකි. නමුත් එයට වඩා වැඩි බදු මුදලක් හා අපනයනය තුළින් වැඩි ආදායමක් රජයට ලබාගැනීමට හැකියාව පවතී. එනම් 2021 සිට සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් කර්මාන්තකරුවන් යෝජනා කළ කොප්පරා කැබැලි ආනයනය කිරීම ක්‍රියාත්මක කළා නම් අද මෙරට ජනතාවට සෞඛ්‍යාරක්‍ෂිත නියම පොල් තෙල් පරිභෝජනයට අවස්ථාව හිමි වීමයි. ඒ වගේම අතිරික්ත නිෂ්පාදන පොල් තෙල් අපනයනය කිරීමට BCC ආයතනය ද ඉල්ලා සිටින ලදී.

රටක සංවර්ධනය යනු ජාතික ආදායම ඉහළ දමා ගැනීම නොවේ. නියම සංවර්ධනය තුළ සමාජ සංවර්ධනය ද පැවැතිය යුතුය. සමහර රටවල් ගණිකා වෘතිය ද නීතිගත කොට එය ජාතික ආදායමට එකතු කරයි. එය සංවර්ධනයක් නොවේ. මනුෂ්‍යයන්ගේ ශරීර සෞඛ්‍ය සියලු දේට වඩා වටිනාකමින් යුක්තයි. ලෝකයේ විෂ ආහාර පරිභෝජනය කරන රටවල් අතරට ලංකාව ද පෙරමුණ ගනී. විදේශීය රටවල් ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයෙන් වන ඩැසිකට් පොල් කිරි දියර හා පව්ඩර්, පොල් පිටි, පොල් සීනි, පොල් අයිස්ක්‍රීම්, පොල් ක්‍රීම්, කෝපි බැරිස්ටර් සඳහා පොල් පව්ඩර්, ෆෝර්ම් ආදියට මෙන්ම මවුකිරිවල ගුණයට සමාන ගුණ ඇති නොයිදුල් පොල් තෙල් (vigin Coconut Oil) සඳහා විශාල ඉල්ලුමක් පවතින්නේ ඒවායේ ඇති ගුණය හා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය නිසාය. අපේ රටේ අපි ඇත්තෙන්ම පව්කාරයෝ වෙන්නෙමු. ගුණාත්මක හා සෞඛ්‍යාරක්‍ෂිත දෑ අපනයනය කර ජරාව පරිභෝජනය කරන කරුමක්කාරයන්ය. විදේශ රටවල ගෙනෙන තෙල් වර්ග ලංකාවට ආනයනය කිරීමේ ක්‍රියාවලිය ඉතා විශිෂ්ටය. නමුත් ඒවා අතරමඟ සිදුවන වංචා, දූෂණ නිසා ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් අප හට නොලැබේ. ආනයන කිරීමේ ක්‍රියාවලියේ දී අදාළ අපනයන රටේ ඇසුරුම් ලැයිස්තුව Paking list , වාණිජ බිල්පත් invoice පැටවීමේ සහතික Bill of loading පමණක් නොව අදාළ අපනයන රටේ තත්ත්ව පාලන වාර්තාව, වාණිජ මණ්ඩලය මගින් නිකුත් කරන ප්‍රභවය සහතිකය අපගේ රටේ ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කරන තත්ත්ව පරීක්‍ෂණ සහතික, රසායනාගාර සහතික මෙරටට පරිභෝජනය සඳහා ආනයනය කරන තෙල් වර්ග සඳහා නිකුත් කර මෙරටට අපනයනය කරන අතර මෙරටට දී රේගුව වෙත ඉහත ලියකියවිලි ලැබෙන අතර ඒවා නිසි ආකාරයට පරීක්‍ෂා කර රේගු බදු අයකිරීම නියම කර අයකරගනී. වරාය ගාස්තු ගෙවා රේගු ගුදම් වෙත අදාළ තෙල් යවනු ලබයි. එහිදී නැවත වතාවක් අධීක්‍ෂණය කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීන්ගේ තත්ත්ව හා සෞඛ්‍යාරක්‍ෂිත බව තහවුරු කිරීමෙන් පසු (මේ සඳහා සියලු තෙල් බහාලුම් ටැංකිවල සාම්පල් ගනු ලබයි.) මෙම අදාළ ආයතන වෙන වෙනම ආනයන තෙල් සඳහා වාර්තාවන් රේගුවට යවා නිවැරදිව තිබේ නම් පමණක් තෙල් තොග රේගු හා අනෙකුත් ගාස්තු ලබා නිදහස් කරයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය දෙනු ලබන වාර්තාවන් එවා ඇති තත්ත්ව හා සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනි වූ විට එම තෙල් තොග ආපසු එම රටට යැවීමේ බලය ශ්‍රී ලංකා රේගුව සතුවේ.

තත්ත්වය මෙසේ විනිවිදව පවතිද්දී 2021-2022 දී අප රට තුළට විෂ පොල් තෙල් හෙවත් ඇල්ෆටොක්සින් පිළිකාකාරක තෙල් වර්ග පැමිණියේ කෙසේද? මේ සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික සිල්වා හා ජයවීර, තුෂාර, ප්‍රියන්ති දිසානායක ඇතුළු කණ්ඩායම මාධ්‍ය මගින් විෂ පොල් තෙල් සම්බන්ධයෙන් පැහැදිලි කරද්දී රට තුළට පැමිණි ඇල්ෆටොක්සින් අඩංගු පොල් තෙල් රජය මගින් වැටලීමට ලක්කර අත්අඩංගුවට ගන්නා ලදී. එසේ අත්අඩංගුවට පත්ව සීල් තැබූ පොල් තෙල් ටැංකි ආපසු හරවා යැව්වා ද නොදනී. කෙසේ හෝ සීමාවක් ප්‍රමිතියක් නොමැතිව ප්‍රමිතිය ගැන කතා කිරීමේ දී ප්‍රමිති ආයතනයේම ප්‍රධානී එදා ප්‍රකාශ කළේ විෂ චුට්ටක් තිබෙන බවය. පැමිණෙන මේ විවිධාකාර තෙල් වර්ග බොර තෙල් වශයෙන් ද ආනයනය කර මඩ පාට බොර පාට තෙල් රසායනික ද්‍රව්‍ය දමා සුදු පාට ඇල්වතුර වර්ගයෙන් අඩු මිලකට වෙළෙඳ පොළට දමයි. මෙම තෙල් ආනයනික පොල් තෙල් වශයෙන් වෙළෙඳ පොළේ කවුරුත් ලස්සන හා පිරිසිදුකම නිසා ම මිලයට ගනී. දේශීය පොල් තෙල් නිෂ්පාදනය සඳහා අද භාවිත වන්නේ ඩීසී මෝල්වල පොල් ගෙඩිය රහිනවිට ඉතිරි වන කුරුට්ට, කොප්පරා හා ඩීසි පොල් කටු ඉවත් කර කටර් කර ඩයර්වලින් වේළා නිපදවන පොල් තෙල්ය. මේ රටේ කුමක් නිෂ්පාදනය කිරීමට හෝ පරිභෝජනය කිරීමට පොල් අවශ්‍ය වේ. පොල් මිල තීරණය කරන ප්‍රධාන සාධකයකි පොල් තෙල් මිල. පොල් තෙල් මිල අඩුවෙන්න, අඩුවෙන්න, පොල් මිල අඩුවේ. අද පොල් වතු හිමියා ගැන බලන්න. කිසි කෙනකු නොමැත පොල් වත්තක් නඩත්තු කිරීමට වර්තමානයේ විශාල පිරිවැයක් දැරිය යුතුය. මුර පවුල්, වතු කම්කරුවන් කැලෑ එළිකිරීම් හා පොහොර යෙදීම අත්‍යවශ්‍ය වේ. පොහොර මිල අහස උසට පැවතෙත් දී වසර තුනකින් පමණ පොහොර නොයෙදූ විශාල පොල් ඉඩම් ඕනෑ තරම් පවතී. ඒවායේ ඵලදාව ද එන්න එන්න අඩුවේ.

අද අනෙකුත් වියදම් හා භාණ්ඩ මිල අඩු අනුව පොල් ගෙඩියකට වතු හිමියකුට අවම රු. 75/= මුදලක්වත් ලැබිය යුතුය. රජය සෑමවිට ම උත්සහ කරන්නේ පොල් තෙල් මිල පමණක්ම අඩු කිරීම පමණයි. එයින් වන්නේ දේශීය පොල් වගාව මෙන්ම පොල් තෙල් කර්මාන්තය ද විනාශයට පත්වීමයි. දේශීය පොල් තෙල් නිෂ්පාදනය කඩාහැළීමට අද ප්‍රධාන හේතුව වී ඇත්තේ ආනයනික RBD තෙල් මිල ඩොලරයට සාපේක්‍ෂව අද වනවිට පහළ වැටීමයි. RBD මිල සමග තරග කිරීමේ හැකියාව දේශීය පොල් තෙල් නිෂ්පාදකයාට නොහැක. අද පොල් තෙල් 1නට නිපදවීමට රු. 560 – 570ක පිරිවැයක් දැරීමට සිදුවේ. නමුත් RBD මිල රු. 540 කි. එසේ වූ විට පොල් තෙල් ඉල්ලන්නේ 530 – 520 මුදලටයි. කරගෙන ආ පුරුද්දට හා සේවකයන් තබාගැනීමේ අරමුණින් තම කර්මාන්තය අලාභ පිට 2023 – මාර්තු මාසයේ සිට කරගෙන පැමිණිය ද මේ වනවිට අලාභයෙන් පීඩා විඳ, බැංකු ණය ගෙවා ගැනීමට තබා එදිනෙදා වියදම් පියවා ගැනීමටත් නොහැකිව දේශීය තෙල් නිෂ්පාදකයා අන්ත අසරණ වී ඇත. පොල් තෙල් කර්මාන්තය ආශ්‍රිතව ඍජු හා වක්‍ර සේවා නියුක්තිය ලක්‍ෂයක් පමණ අන්ත අසරණ තත්ත්වයෙනි. මේ ගැන කතාකරන්න පක්‍ෂ විපක්‍ෂ කිසිම දේශපාලනඥයකු නොමැත. දේශීය කර්මාන්ත නඟාසිටුවීමට මිනිසුන්ගේ ආදායම, ඒකපුද්ගල ආදායම වැඩි දියුණු කරන්න කතාකරන කිසිකෙනකු පොල් කර්මාන්තය ගැන පොල් තෙල් කර්මාන්තය ගැන මුනිවත රකී. මෑත දී මේ සම්බන්ධයෙන් කතා කළේ දයාසිරි ජයසේකර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පමණි. පොල් තෙල් නිෂ්පාදකයන්ගේ ආචාරය ඔහුට පුදකරන්නෙමු. මේ යන ආකාරයට 2024 අගභාගය වනවිට ශ්‍රී ලංකාවේ පොල් තෙල් කර්මාන්තයෙහි අවසන් මළඟම ද සිදුවනවා නොවනුමානය. මේ සම්බන්ධයෙන් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය මොනතරම් උත්සහයන් ගත්ත ද සත්‍ය අවබෝධ කිරීමට ජනතාව පෙළගැසුව ද ප්‍රතිඵල හිතන තරම් නොලැබේ. ජනතාවට අද අවශ්‍ය මිල අඩු දේ පමණි.

පාම් ඔයිල් RBD ද ආනයනය කළ යුතුය. මක්නිසා ද ශ්‍රී ලංකාවේ සම්පූර්ණ පොල් තෙල් අවශ්‍යතාවය දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ට කිරීමට නම් ආනයනය සඳහා පොල් කැබලි ගෙන ඒමට අවසර දිය යුතුයි. එසේ නැති නම් බාල තෙල් වර්ග අඩු මිලට ආනයනය කිරීම, බෙදාහැරීම තහනම් කර උසස් තත්ත්වයේ ආනයනික තෙල් වර්ග පමණක් ගෙන ඒමට අවසරදිය යුතුයි. පොල් තෙල්වලට ද වගා හිමියා නිෂ්පාදකයා බෙදාහරින්නා රැකගැනීමට හැකි ආකාරයේ මිල සූත්‍රයක් ලබාදිය යුතුයි. ඒ වගේම ආනයනික තෙල් වර්ග කලවම් කිරීමට පොල් තෙල් නිෂ්පාදකයා පෙළඹෙන නිසා සෑමවිට ම ආනයනික තෙල් 1නට මිල රු. 20 කට වඩා ඉහළ මට්ටමක පැවැතිය යුතුය. එසේ නොවීමෙන් දේශීය පොල් තෙල්වලට ආනයනික තෙල් වර්ග මිශ්‍ර කර විකිණීම කරනු ඇත. දේශීය කර්මාන්ත අලුතින් ආරම්භ කිරීමට ව්‍යවසායකයන් පෙළඹීමට කලින් පාරම්පරිකව පැවත ගෙන එන දේශීය පොල් තෙල් කර්මාන්තය ගැන බලධාරීන්ගේ නෙත් අවදි කිරීමේ අවසන් හෝරාව මෙයයි. එසේ නොකිරීම සමස්ත පොල් තෙල් කර්මාන්තයේ මෙන්ම පොල් වතු හිමියන්ගේ ද අවාසනාව ළඟකරන්නේය.

ඩබ්.කේ.ඒ.එම්. චන්ද්‍රසිරි

advertistmentadvertistment
advertistmentadvertistment