එල්ආර්සී ඉඩම් මළවුන්ටත් දීලා… චෝදනා ගැන පරීක්ෂණ ඇරඹුවා – එල්.ආර්.සී සභාපති

416

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් අක්කර පනස් දහසක් හිතුමතේ දේශපාලනික හා ව්‍යාපාරික සම්බන්ධතා මත ලබා දෙමින් සිටින බවට කරුණු අනාවරණය වෙමින් තිබේ. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ (එල්.ආර්.සී.) ඉඩම් රජයේ ඉඩම් වෙයි. මෙම ඉඩම් දේශපාලනික හෝ ව්‍යාපාරික සම්බන්ධතා මත අල්ලසට, ලාභ ප‍්‍රයෝජනවලට කුණු කොල්ලයට බදුදීම හෝ විකිණීම සිදුකර ඇතැයිද හෙළිවී තිබේ.

මෙම කොමිසම විසින් විශාල ඉඩම් පවරාගත් පවුල්වලට අක්කර 50ක සීමාව යටතේ 1000කට වැඩි පිරිසකට ඉඩම් ලබාදීමට නියමිතව තිබියදී එය පසෙකලා ඉඩම් ජාවාරම සිදුකරන බව වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මෙම ආයතනය රජයේ අවශ්‍යතා සඳහා ඉල්ලා ඇති ඉඩම් ලබාදීම පසෙකලා වෙනත් පාර්ශ්වවලට ඉඩම් ලබාදීම සිදුකරන බවත් ඇතැම් ඉඩම් සඳහා මියගිය අයගේ නම්වලටද ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බවත් එම කොමිසමේ අභ්‍යන්තර විගණන අංශය අනාවරණය කරගෙන තිබෙන බව ද හෙතෙම පැවසීය.

ඉඩම් ජාවාරම සිදුකරන මෙම ආයතන සතුවන ඉඩම් ප‍්‍රමාණය කොපමණද යන්න කිසිම අවස්ථාවක හෙළි නොකරන බවත් යම් ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් විමසීමක් කළහොත් එම ඉඩම් එල්. ආර්. සී. ආයතනයට අයත්ද? නැද්ද යන්න ප‍්‍රකාශ කර සිදුකර ඇති වංචාව යටපත් කරන බවත් විජේසිංහ මහතා කීය.

මේ වනවිට මඩකලපුව උප්පාරුවත්තේ ඉඩම් කැබලි විකිණීමේදී සිදු වූ වංචාව, කන්තලේ ලෝ ලෑන්ඞ් වත්තේ ඉඩම් කැබලි විකිණීමේදී සිදුවූ වංචාව, ත‍්‍රිකුණාමලයේ මුතූර් අක්කර 175ක රජයේ ඉඩම් ෆිනෑන්ස් ආයතනයකට කූට ලේඛන සකසා සින්නක්කර විකිණීම ඇතුළු වංචාවන් රැුසක් සම්බන්ධයෙන් තොරතුරු පවතින බව ද ඒ මහතා පැවසීය.

එල්ආර්සී ඉඩම් මළවුන්ටත් දීලා... චෝදනා ගැන පරීක්ෂණ ඇරඹුවා - එල්.ආර්.සී සභාපති

මෙම වංවාවන් සිදුකිරීම සඳහා එම කොමිසමේම ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවට කොමිසමේ රටට හිතැති පිරිස් තොරතුරු ලබාදී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් විගණකාධිපති, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, කෝපා කමිටුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව ඇතුළු වගකිවයුතු ආයතන රැසකටම දැනුම්දී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් අක‍්‍රමිකතා සිදුවී ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා පැවසීය.

මේ වනවිට එවැනි අක‍්‍රමිකතා කිහිපයක් හඳුනා ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා කීය.

1972 වර්ෂයේ මෙම කොමිසමට ඉඩම් පවරා ගැනීමේදී මැනුම් කටයුතුවලින් තොරව සිදුකර ඇති නිසා කොපමණ ඉඩම් ප‍්‍රමාණයක් තිබෙනවා ද යන්න නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බව ද හෙතෙම පැවසීය.

මියගිය අයට ද ඉඩම් ලබාදී ඇතැයි කියන සිද්ධියක් ද වාර්තා වී ඇති බවත් එහිදී දිස්ති‍්‍රක් කාර්යාලවලින් එවන නම්වලට සහ ලිපිනයන්වලට ඔප්පු සකස් කරන නිසා එහිදී යම් වැරදීමක් සිදුවී ඇති ද යන්න සොයා බලන බව ද විජේසිංහ මහතා කීය.

මේ ආකාරයෙන් චෝදනා එල්ල වී ඇති ඉඩම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අක‍්‍රමිකතා සිදුවී ඇත්නම් එයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කොමිසම කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment