අවුරුදු 30ක් තිස්සේ මාදිවෙල කතාව: මන්ත්‍රීලාගේ නිවාස කුලිය රු. 1000යි

780

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස සඳහා මාසික නිවාස කුලී මුදල් වශයෙන් දැනට වසර 30ක පමණ සිට අය කරනු ලබන්නේ රුපියල් 1000ක මුදලක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ. එම නිවාස කුලී මුදල මේ දක්වා සංශෝධනය කිරීමට කටයුතු කර නොමැති බැව් ද සඳහන් කර ඇත.

1993 වර්ෂයේ මැයි මස 28 වැනිදා පැවැති රැස්වීම් වාර්තාව අනුව මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස සඳහා නිවාස කුලී මුදල් වශයෙන් 1993 වර්ෂයේ සිට අය කරනු ලබන්නේ රුපියල් දහසක මුදලක් බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. එමෙන්ම මාදිවෙල නිල නිවාසවල ජල, විදුලිය, දුරකථන බිල්පත් සඳහා තැන්පතු ලෙස අයකරනු ලබන රුපියල් දහසක මුදල කාලීනව සංශෝධනය කිරීමට කටයුතු කර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වූ වහාම නිල නිවාස හිස්කොට නැවත භාරදිය යුතු වුවත් එසේ නිල නිවාස භාර නුදුන් කාලය වෙනුවෙන් මන්ත්‍රීවරයකුගෙන් දිනකට රුපියල් 500 බැගින් දණ්ඩන මුදලක් අය කරනු ලබයි. මන්ත්‍රීවරුන් 06 දෙනකු විසින් එකී දණ්ඩන මුදල හා අයවිය යුතු විදුලි, ජලබිලපත් ඇතුළුව රුපියල් 455,904, මුදලක් 2022 වර්ෂයේ නොවැම්බර් මස 15 වැනිදා වන විට ගෙවීමට තිබූ බව ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment