අනවසර පතල්කරුවෝ බෝගහවැව රක්‍ෂිතය වනසති

63

මැණික් ගරන ගමන් ඉඩම් ඇල්ලීමේ ජාවාරමක්

අපි කිසිවක් දන්නේ නෑ – ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරියෙක් කියයි

තිස්සමහාරාම බෝගහවැව රක්ෂිතයට අයත් අමර වැව ප්‍රදේශයේ මේ දිනවල මැණික් ඉල්ලම් සේදීම ජයටම සිදු කෙරෙන අතර නිල් මැණික්, පද්මරාග, ගෙව්ඩ ආදී මැණික් විශේෂ හමුවන බව පතල්කරුවන් ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය.

අනවසරයෙන් සිදුකරන මෙම පතල් කැනීම හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් මතුවී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. මීට සම්බන්ධ පිරිස් බැකෝ යන්ත්‍ර යොදා ඉඩම් අල්ලා විකිණීමේ ජාවාරමක්ද මේ සමග ක්‍රියාත්මක කරන බව පිරිස් කියති.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට අප ගිය අවස්ථාවේ ගස්වල මුල් යටින් හාරා ඉල්ලම් ගොඩට ඇද ඇති ආකාරයක් දැක ගැනීමට හැකිවිය. මේ අතර බැකෝ යන්ත්‍ර යොදා හෙළි පෙහෙළි කරන ලද ඉඩම් කිහිපයක්ද හමුවිය. මොරවක ප්‍රදේශයේ මෙම හෙළි පෙහෙළි කිරීම් සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ කාර්යාලයෙන් කළ විමසීමකදී එවැන්නක් ඔවුන් වෙත වාර්තා වී නොමැති බවත් ඒ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බව එහි නිලධාරියෙකු සඳහන් කළේය.

පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් සිදු කරගෙන ගිය මෙම කර්මාන්තය ජාවාරමක් බවට පත්වූයේ වන සංරක්ෂණ නිලධාරීන් ගේ වරදින් බව ප්‍රදේශයේ පාරම්පරික පතල්කරුවෝ පවසති. ඒ මීට වසරකට පමණ ඉහතදී ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ කාර්යාලයේ ප්‍රධාන නිලධාරියා සෙසු නිලධාරීන් සමග පැමිණ වැටලීම් කර අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ඉල්ලම් සමග ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ කාර්යාලයට රැගෙන යන බව පවසමින් වන සංරක්ෂණ නිලධාරීන් ගේ ආරක්ෂිත ස්ථානවලට ගෙන ගොස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් ලවා එම ඉල්ලම් සෝදා හමුවන මැණික් නිලධාරීන් විසින් ලබාගන්නා බව කීය.

එලෙස අසාධාරණ ලක්වූ පුද්ගලයකු සඳහන් කළේ “මම අත්ට්‍රැක්ටරයෙන් ඉල්ලම් අරන් එනකොට වනජීවී එකේ ලොකු මහත්තයා මාව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් ඉල්ලම්, ජලය පිරුණු ගල් වළක් අසලට ගෙනැවිත්, උඹට නඩු දාන්නේ නෑ. මේ ටික හෝදපන් කියලා මට කිව්වා. පොඩි මැණික් කීපයක් එහිදී හමුවුණා. ඒවා ඔක්කොම ලොකු මහත්තයා අරගෙන ගියා. මට කොටහක්වත් දුන්නේ නෑ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ ප්‍රධාන කාර්යාල නිලධාරියෙකු සඳහන් කළේ, එවැනි චෝදනාවන් රැසකට ලක් වූ ප්‍රධාන නිලධාරියෙකු විනය ක්‍රියාමාර්ග මත දුෂ්කර ප්‍රදේශයකට මාරුකර යවා ඇති බවයි.

අනවසර පතල් ජාවාරම්කරුවන් හා ඉඩම් ජාවාරම් කරුවන් සමග වන සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධකම් පවත්වන නිසා හේනක් කොටා ගන්නවත් අවසර නෑ. ඒත් ජාවාරම්කරුවන් යන්ත්‍ර යොදා අක්කර හත අට සුද්ද කරල විකුණනවා. නැත්නම් හොටෙල් ගහනවා. ඒවට කිසිම නීතියක් නෑ යැයි ප්‍රදේශවාසීහු පවසති.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment