නැකැත් යුද්ධය

792

2024 මාර්තු මස 24 වැනිදා ඉරිදා

1967 දී ඇමරිකාව හඳට ගියේය. එතැන් සිට දශකයක් පමණ එක දිගට සඳ මතට මිනිසුන් යැවූ ඔවුහු අන්තිමේදී සඳ අත්හැර දමා වෙනත් ග්‍රහ ලෝක කරා මිනිසුන් රහිත යානා යැවීමට පටන් ගත්තේය. රුසියාව සහ චීනය ද මේ වන විට මිනිසුන් රහිත යානා හඳ වෙත යවා තිබේ. තත්ත්වය එසේ තිබියදී අපි සඳ අප වෙත එනතුරු බලා සිටිමු. හඳ කවදාවත් ලංකාවට ගොඩබසින්නේ නැත. ඒ නිසා අපට හඳට යෑමට සිදුවන්නේද නැත. එහෙත් අප තරම් සෞරග්‍රහ මණ්ඩලයේ එල්ලී සිටින වෙනත් රටක් ලෝකයේ නොතිබෙන්නට පුළුවන. මේ කතුවැකියේ පරමාර්ථය ජ්‍යෝතිෂයට පහර ගැසීම නොවේ. ජ්‍යෝතිෂය ලෙස හඳුන්වා දෙමින් දැනට මේ රටේ කෙරීගෙන යන පට්ට වංචාව හෙළිදරව් කිරීමය. මේ දවස්වල මේ රටේ ලොකු ප්‍රශ්නයක් තිබේ. ඒ වූකලී සිංහල අවුරුදු නැකත් සීට්ටුව ය. ලංකාවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් ළඟ එන සිංහල අවුරුද්ද සඳහා සාදන ලද නැකැත්වල විශාල අර්බුදයක් තිබෙන බව එම කමිටුවට අයත් නැති ජ්‍යෝතිෂවේදීන් සමූහයකගේ මතය වී තිබේ. ජාතික නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව ළඟ එන සිංහල අවුරුද්දේ වැදගත් නැකැත් සියල්ල වැටී ඇත්තේ යක්කු ගස් යන වෙලාවට ය. නැකැත් කමිටුවට අයිති නැති ජ්‍යෝතිෂය විද්වතුන්ගේ මතය අනුව යක්කු ගස් යන වෙලාවට සුබ කටයුතු නොකරන අතර එවැනි වෙලාවට සිදුකරන්නේ හූනියම් කිරීම, නූල් පැන්නවීම, කොඩිවින යනාදිය ය.

මීට අමතරව පවුල් පිටින් හැඳි ගෑවී යන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා මිරිස් ඇඹරීම ද මැදියම් රාත්‍රියේදී සිදුකරනු ලැබේ. ඒ තත්ත්වය සලකා ජාතික නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුව සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව විකල්ප නැකැත්කාරයෝ කියති. ජාතික නැකැත් කමිටුවේ නැකැත්වලට වැඩ කළොත් රටට සම්පූර්ණයෙන් කෙළවෙන බව ඔවුන්ගේ අදහස ය. ලංකාව යනු දන්න කාලයේ සිටම සුබ මොහොතට වැඩ කළ රටකි. එහෙත් දන්නා කාලයේ සිටීම ඒ සුබ මුහුර්තවලදී පටන්ගත් වැඩවලින් අපට කෙළවී ගියේය. කොළඹ තිබෙන විදේශීය අයිතිය සහිත ෆයිව් ස්ටාර්ස් හෝටල් එකක්වත් නැකතට මුල් ගල් තැබූ ඒවා නොවේ. ඒවා එහෙ බලා මෙහෙ බලන විට සාදා නිම කරන ලදි. එහෙත් නැකතට මුල්ගල තැබූ හිල්ටන් හෝටලයේ එක තට්ටුවක් අඩුය. ඒ තට්ටුවේ මුදල් සම්පූර්ණයෙන්ම ගසාකන ලද බව දැනගැනීමට තිබේ. කොළඹ තිබෙන නැකතට මුල්ගල් තැබූ රජයේ ගොඩනැඟිලි සියල්ලම පාහේ අවුරුදු ගණන් ඇදි ඇදී ගොස් යාන්තමින් සාදා ඉවර කරන විට ඒවායේ Plan මෙන්ම යටිතල පහසුකම් ද out dated ය. නැකතටම වැඩ කරන එකම රටත් නැකතටම වැඩ කරන්නට ගොස් හොඳටම කෙළවාගත් එකම රටත් ලංකාව විය යුතුය.

ජාතික නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් සීට්ටුව වෙනුවෙන් පැවැති යූ ටියුබ් සාකච්ඡාවලදී නැකැත්කරුවන් එකිනෙකා ගහගනිමින් ද මරාගනිමින් ද මාර නාඩගමක් නටන අයුරු මේ දිනවල බලාගත හැකිය. ජ්‍යෝතිෂය ව්‍යාජයක් නොවේ. මීට අවුරුදු 6000 ට පමණ පෙර ඉන්දු නිම්නයේ උපන් මේ ශාස්ත්‍රය අද වන විට සම්පූර්ණයෙන්ම විකෘති වී ඇත. ඒ නිසා නියම නැකැත් සෑදීමට සාස්තරකාරයින්ට කිසිදු හැකියාවක් නැත. රාජකීය දෛවඥ සුමනදාස 2015 ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ දිනන බව කීවත් ඔහු පරාජයට පත්විය. ඒ අතර අධ්‍යාත්මවේදී සාස්තරක මහින්ද රාජපක්ෂ පරාජය වුණොත් තමා හිසට වෙඩි තබාගෙන මැරෙන බව කීවේය. මහින්දගේ ජයග්‍රහණය ඔහුට ඒ තරමටම ෂුවර් විය. මහින්ද ගෙඩිය පිටින්ම පැරදුනු නමුත් කිසිදු සාස්තරකාරයෙක් හිසට වෙඩි තබාගත්තේ නැත. බුදුරජාණන් වහන්සේ ජ්‍යෝතිෂය ගැන දරන ලද්දේ වෙනත් මතයකි. ග්‍රහ තාරකාවලින් මනුෂ්‍යයාට හානියක් හෝ සෙතක් වන බව උන්වහන්සේ විශ්වාස කළේ නැත. ඒ බව විස්තර කරමින් උන්වහන්සේ විසින් දේශනා කරන ලද සප්ත සූර්යෝද්ගමන සූත්‍රය නැකැත්වල එල්ලී පිනුම් ගසන සියලු කියවිය යුතුය. සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය කොතරම් භෞතික ද යන කාරණය සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙන් හෙළිදරව් කෙරේ. සිංහල අවුරුදු නැකැත් සීට්ටුව අප්සට් නම් අප කළ යුත්තේ නැකැත් ටික රෝල්කර පැත්තකට දමා උදෙන්ම නැගිට කිරිබත් උයා කා වැඩ පටන් ගැනීම ය. යමක් පටන්ගැනීමට ඇති හොඳම නැකැත වූකලී එය පටන්ගැනීමට සිතුනු වේලාව බව බුදුන් වහන්සේ විසින් වදාරනු ලැබ ඇත. අපි බුදු වදනට අනුව වැඩකර නැකැත් විපතෙන් ගැලවෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment