අර්ථසාධකය ඈවරයි ! දෑවරයි !! – ප්‍රජාතන්ත්‍රවාදයත් මරණ මංචකයේද?

616

ආණ්ඩුව රටේ සමස්ත බැංකු පද්ධතියම දින කීපයකට වසා දමා, සති අන්තයේ විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක් කැඳවා සමාජ ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍රවල බහුතර පිරිසක් තිගැස්සුමකට ලක් කරමින් සිදු කළ ණය ප්‍රතිව්‍යුහගතකරණ හා සම්බන්ධ යෝජනාවලිය ඉකුත් 01 වැනිදා බහුතර ඡන්ද සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට සමත් විය. ඉකුත් සතිය බෙහෙවින් උණුසුම් කළ මෙම මෙහෙයුමේදී එම යෝජනාවලියට පක්‍ෂව ඡන්ද 122 ක්ද විපක්‍ෂව ඡන්ද 62 ක්ද ලැබී තිබුණි. විපක්‍ෂයේ සමහරුන් පමණක් නොව ආණ්ඩුවේ ප්‍රබලයන් වන මහින්ද, නාමල් හා චමල් එම අවස්ථාවට සහභාගි නොවීම ද කැපී පෙනුණි. මෙම යෝජනා සම්මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආණ්ඩුව අතර ඇතිකර ගන්නා ලද එකඟතාවක් අනුව සිදු වූවක් විය යුතුය. කුමක් වුවත් මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවට එන තෙක්ම රහසිගතව තබා ගැනීමට ආණ්ඩුවේ නායකයෝ වගබලා ගත්හ. ජනාධිපති රනිල්ට අමතරව ඒ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් තිබුණු අය කීපදෙනකුට වඩා නොවෙති යි අපගේ ද අදහසය.

මේ වනතෙක් සිදුවී තිබෙන එම යෝජනාවලිය සම්බන්ධ ක්‍රියාවලිය එලෙස රහසක් ලෙස තබා ගත්තේ ඇයි? මුළු රටේම බහුතර ජනතාවගේ හිසමතට කවර හෝ බරක් වැටෙන බවට විවේචනය වූ එම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිසිසේත් සදාකාලික රහසක් විය නොහැක. ආණ්ඩුවත් එහි අනුගාමික පිරිස් ඇතුළු මැති ඇමැතිවරුන් කුමක් කීවත් මෙම යෝජනාවලිය අහිංසක එකක් නොවන බව මේ රටේ බොහෝ දෙනෙක් විශ්වාස කරති. මෙම ක්‍රියාන්විතය අපට සිහිපත් කළේ එදා ජයවර්ධන පාලන සමයෙහිදී (1987) අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමය. ඒ සම්බන්ධයෙන් තිබුණු විරෝධය දැන සිටි ජනාධිපති ජයවර්ධන කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා ඔවුන්ට සුපිරි හෝටල්වල නවාතැන් පහසුකම් සලසා දී ගිවිසුම අත්සන් කිරීමය. රට පුරාම ඇඳිරි නීතිය ද ප්‍රකාශයට පත්කර තිබුණි. එහෙත් ජනාධිපති රනිල් ඊට වඩා වෙනස් මෙහෙයුමක් කර තිබුණි. ඔහු අඳිරි නීතිය පැනවීමට ඉක්මන් නොවූව ද රටේ බැංකු වසාදමා තිබුණි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අනිවාර්ය කොන්දේසියක් දමා තිබුණු අතර එම විවාදය සඳහා සෙනසුරාදාත් ඉරිදාත් වෙන් කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් සෙනසුරාදා සියලු කටයුතු නිමකර ගැනීමට ආණ්ඩුවට හැකි විය.

අර්ථසාධකය ඈවරයි ! දෑවරයි !! - ප්‍රජාතන්ත්‍රවාදයත් මරණ මංචකයේද?

ආණ්ඩුව මෙම ක්‍රියාන්විතය පිළිබඳ සත්‍යය ප්‍රකාශ නොකළ අතර එය හැඳින්වීමට යොදා ගත්තේ ණය ප්‍රශස්තකරණය යන යෙදුමය මේවා වචන හරඹ බවත්, නිකම් මනස්ගාත යෙදුම් බවත් අද සිටින ජනතාවගෙන් බහුතරයක් දනිති. කලකට පෙර මෙබඳු වචන හරඹ කළ බක පණ්ඩිතවරු ද මෙරටේ වූහ. පාරිභාෂිත වචන වාත්තු කරමින් කුමක් හෝ අණ්ඩර දෙමළයක් අටවන මේ විකටයන්ට එදත් ලැබුණේ ජනතාවගේ හාස්‍ය පමණි. එදා හෝදාපාළුව යන සරල වචනය වෙනුවට ඔවුන් යෙදුවේ පාංශු ඛාදනය යනුවෙනි. ගමේ ගොඩේ දරුවන් පවා හොඳින් හඳුනන පොල් තැරිය ඔවුන්ට අනුව නාරිකේල මනිබද්ද පුෂ්ප චක්‍රය විය. මේ අපබ්‍රංශ සිංහලවලට රටම සිනාසුණු අයුරු ද අපට මතකය. මෙහිදීත් තමන් සිදු කිරීමට අරඅඳින කටයුත්ත පහසුවෙන් තේරුම් ගැනීමට බාධා වන ආකාරයට ප්‍රශස්තකරණය යෙදීමට කිසියම් පඬි උපදේශයක් ලැබුණවත් දැයි සැක සිතේ. කොහොම වුනත් වැඩේ දිගටම සිදු වූයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ලෙසමය. වචනවලින් විජ්ජා පෙන්වා ජනතාව ඇන්දවූ යුගය දැන් අවසන් වී තිබෙන බව පමණක් අප සඳහන් කළ යුතුය. වචනවලට වඩා වැදගත් ක්‍රියාවය.

රටක ආර්ථිකය මෙහෙයවීම හැමෝටම කළ නොහැකිය. ඒ සඳහා ආණ්ඩුවක වුව ද සුදුස්සෝ වෙත්නම් ස්වල්ප දෙනෙකි. එසේම එබඳු කාර්යයකදී විශේෂඥ උපදෙස් ලබා ගැනීම ද අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් මෙරටේ ගතවූ කාලය තුළ එබඳු ආර්ථික දැක්මක් සහිත මුදල් ඇමැතිවරුන් මෙන්ම උපදේශකයන්ගේ ද අඩුවක් තිබුණි. එහි ප්‍රතිඵලය වුයේ රට ආර්ථික අගාධයකට ඇදී යෑමයි. විශේෂයෙන් රාජපක්‍ෂ පාලන යුගවල මේ දුබලතාව දැඩි විය. අද මේ රට මුහුණ පා තිබෙන උග්‍ර ආර්ථික අර්බුදවලට මෙන්ම විනාශයට ඔවුන්ට එල්ල වන චෝදනා පත්‍රය ද බරපතළය.

කෙසේ හෝ රාජපක්‍ෂ පාලනයට එරෙහිව නැඟුණු මහජන විරෝධය මෙන්ම ඉන්පසු ජනාධිපතිධුරයට පත් රනිල් වික්‍රමසිංහගේ භූමිකාව ද බොහෝදෙනකුගේ අවධානයට යොමු වූවකි. එහෙත් ඔහු විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික දේශපාලනය විවාදාත්මක විය. මේ වනවිට අපේ ආර්ථික ගැලවුම්කරුවා බවට පත්ව සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය. තවත් ආකාරයකින් කිවහොත් අපට තිබෙන එකම විසඳුම ණය හා බදු පමණි. ඒ බදු බර සමස්තයක් ලෙස ජනතා හිසට ඔරොත්තු නොදෙයි. ජීවන වියදම ප්‍රතිශතයක් ලෙස පහත වැටෙන බව කීවත් අද තිබෙන ජීවන අර්බුදය බරපතළ එකකි. භාණ්ඩ මිල දෙතුන් ගුණයකින් ඉහළ නැඟ තිබේ. ප්‍රවාහනය හා වෙනත් සේවාවන් සඳහා ගෙවීම් කිරීමෙන් පසු ලැබෙන ආදායම මොන ආකාරයකින්වත් කළමනාකරණය කරගත නොහැකි වී තිබේ.

කෙසේ හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව පවසන සාධනීය තත්ත්වය විපක්‍ෂයේ මෙන්ම ඇතැම් ආර්ථික විද්වත්හු ද නොදකිති. ඔවුන්ගේ විවේචනවල හරය වන්නේ මෙම ප්‍රතිව්‍යුහගතකරණයේ විපාක නිසැකයෙන්ම අර්ථසාධක අරමුදල, සේවා නියුක්ති භාරකාර අරමුදල වැනි ජනතාවගේ මුදල් කෙරෙහි එල්ල වන බවය. ඔවුන් අවධාරණය කළේ ඉහළ සමාගම් හිමිකරුවන් වැනි පුද්ගලයන්ට මෙහිදී කිසිදු පීඩාවක් එල්ල නොවන බවය. විපක්‍ෂයේ පාඨලී චම්පික, විජිත හේරත් පමණක් නොව දෙමළ සන්ධානයේ හා සජබ මන්ත්‍රීවරුන් ද චෝදනා කළේ වරප්‍රසාද පන්තියේ බැඳුම්කරවලට ආණ්ඩුව අත නොතැබූ බවටය. එසේම දේශීය බැංකුවලට කෝටි ප්‍රකෝටි ගණනින් පොලු තැබූ දේශපාලන මිතුරන් ද මෙයින් කිසිම අසීරුතාවකට පත් නොවන බව ද ඔවූහු පුන පුනා කීහ. ආර්ථික යුක්තිය ඉටු කරලීමට ආණ්ඩුව අසමත් වී තිබෙන බව ද ඔවුන්ගේත් චෝදනාවය.

ඇත්ත වශයෙන්ම මෙරටේ ආර්ථිකය වැනසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අය ද සිටිති. එසේම බදු ගෙවීම පැහැර හරින ලද අයත් වෙති. සීනි වංචාව, සුදුලූනු වංචාව මෙන්ම බැඳුම්කර වංචාව වැනි බරපතළ මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව සිටින අය සැපවත් ජීවිත ගෙවද්දී මාසික වැටුප සඳහා ජීවිත කාලයම කඹුරමින් ඉතිරි කරගත් අර්ථසාධකය අනතුරක නම්, එය කිසි ලෙසකින් අනුමත කළ නොහැක. සැබැවින්ම අද එදිනෙදා යමක් උපයාගෙන ජීවත්වන ජනකොටස්, ගොවිතැනක් බතක් කර දවස නිදහසේ ගෙවූ ජනයා පමණක් නොව මධ්‍යම පන්තියේ බහුතරය හා වෘත්තිකයන්, මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් ආදී බොහෝ දෙනකුගේ ජීවිත හිරවී තිබෙන්නේ දුක් පීඩා ගොඩකය. ඒ සියල්ලම මේ රට කරවූ දූෂිත, වංචනික, ප්‍රෝඩාකාරී දේශපාලනඥයන් විසින් පොදුවේ රටට අත්කර දෙන ලද ශාපයේ විපාක ය. මේ වනවිටත් බොහෝ වෘත්තිකයෝ රට හැර යමින් සිටිති. මේ රට පතිරූප දේශයකැයි කියන්නෝ ද අද නොවෙති.

විපක්‍ෂවලින් කෙබඳු චෝදනා විවේචන එල්ල වුවත්, ජනමාධ්‍යවල කවර ආකාරයක වාර්තා පළ වුවත්, ආණ්ඩුව ඒවාට සංවේදී නොවන බව ද පෙනේ. විවේචන නොරුස්සන අය ද ආණ්ඩුවේ සිටිති. සාමාන්‍යයෙන් හැම ආණ්ඩුවක්ම විනාශ වන්නේත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන්නේත් බොහෝ විට ඒ ඒ ආණ්ඩුවල සිටින ඇතැම් හිතුවක්කාර චරිත නිසාය. එසේත් නොවේ නම් නායකයන්ට ළංව සිටින ස්වාර්ථකාමී ධනකාමී වංචනික පිරිස් නිසාය. ධනවතුන්, ඉහළ සමාගම්වල අධිපතියන් වැනි කොටස් හා මෙරටේ ආණ්ඩු අතර තිබුණු හා පවතින බැඳීම්, අද බොහෝදෙනෙක් දන්නා විවෘත රහස්ය. පොදු ජනතාවට වඩා එබඳු සුපිරි ධනීන්ගේ උපකාර දේශපාලනයේදී වැදගත් වීම ද අපට තේරුම් ගත හැකිය. එහෙත් හැම ආණ්ඩුවක් විසින්ම අමතක කරන ලද්දේ ඔවුන්ට සිංහාසන සදා දුන් නිල බලවලට මාවත සකසා දුන් පීඩිත ජනතාවය. අව්වට වැස්සට හුරු වුණු ඒ ජනතාව ද අද පවතින මේ දේශපාලන ගනුදෙනු ගැන හොඳින් දනිති.

කෙසේ හෝ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ ආණ්ඩුවේම පාර්ශ්වකරුවන්, හිතවතුන්, අනුගාමිකයන් විසින් අපි දේශීය ණය ප්‍රශස්තකරණය කර රට රැකගත්තෙමු යි උදන් ඇනුවත් අපට ඇසෙන විවේචන ද සුළුපටු නැත. හොඳ දේ හොඳ යැයි කීමට ද අපි කිසිවිටෙක නොපැකිලෙන්නෙමු. එහෙත් මේ යෝජනාවලිය සම්බන්ධයෙන් අපගේ සැක සංකා තවමත් දුරුවී නැත.

මෙහිදී නැඟෙන බරපතළ චෝදනාව වන්නේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය සම්බන්ධ සියල්ල තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයාට පවරා තිබෙන බවය. මහාචාර්ය ජී. එල්. පීරිස් සෘජුවම පවසන්නේ එය සටකපට ලෙස බලය උදුරා ගැනීමක් බවය. කුමක් වුවත් මේ යෝජනාවලියේ සත්‍යය හා පල විපාක රටට පෙන්වා දීමේ වගකීම ඒ ක්‍ෂේත්‍රවල ප්‍රාමාණික විද්වතුන්ට පවරා මෙම ක්‍රියාවලිය තුළින් විපක්‍ෂ මතු කරනු ලබන තවත් කරුණක් පිළිබඳ අපගේ අවධානය යොමු කරමු.

ඉහත සඳහන් කළ පරිදිම මෙම යෝජනාවලිය සම්මත කර ගැනීමේ ක්‍රියාන්විතය දැඩි සැකයකට ලක්වූවකි. ආණ්ඩුවට අඩු තරමින් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදීවත් මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණේ ඇයි? එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රතිචාර තුළ මෙහි අනතුරුදායක සංඥා අපට පෙනුණි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විසින් එම කාරක සභාවට විපක්‍ෂනායක සජිත් පැමිණීමට විරුද්ධ වූයේ ඇයි? විපක්‍ෂනායකවරයාට මුකවාඩම් දමා ඒ සභාවේ අසුන් ගැනීමට ක්‍රියා කළ අයගේ ප්‍රජාතන්ත්‍රවාදය කුමක් දැයි අපට නම් නොතේරේ. විපක්‍ෂනායක සජිත් පාර්ලිමේන්තු විවාදයේදී සඳහන් කළේ, දැන් කිසිවකුට මගේ කට වැසීමට නොහැකි බවය. එදා ඔහුට බාධා කළ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී විකටයන්ට ලැජ්ජාවක් තිබේදැයි අපි නොදනිමු. එහෙත් රටේ විපක්‍ෂනායක තනතුර හෑල්ලු කිරීම අමන වැඩකි. කොහොමටත් මේ ආණ්ඩුව විපක්‍ෂයට හිමිවිය යුතු මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට පැවරීමට පවා හරස් වූ අයුරු අපට මතකය.

විපක්‍ෂනායකවරයා මෙම විවාදයෙන් පසු පාර්ලිමේන්තතුවේ කථානායකවරයාගේ හැසිරීම් සම්බන්ධයෙන් ද සිය කනස්සල්ල පළ කළේය. උත්තර ලංකා සභාවේ විමල් වීරවංශ ප්‍රකාශ කළේ විපක්ෂයේ කතාවලට ඉඩ නොදීම මෙම ගරු සභාවට කළ අවමානයක් බවය. පාර්ලිමේන්තුවේ නායකයන් විසින් එකඟ වූ කරුණු ගැන අපට කිව නොහැක. එහෙත් ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේ පාර්ලිමේන්තුවේ කටයුතු රාත්‍රි 7.30 න් පසුව වුව ද පවත්වා විපක්‍ෂයේ කතාවලට ඉඩදීමේ එකඟතාවක් වූ බවය. එහෙත් එදා සිදු වූයේ විපක්‍ෂයේ විරෝධය නොතකා රාත්‍රි 7.30 ට යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමය. එදා රූපවාහිනියෙන් කළ සජීවී විකාශනය නැරඹූ අය පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ විපක්‍ෂ මන්ත්‍රීවරුන් විරෝධය දැක්වූ අයුරු ද දැකගත හැකි විය. මේවා සම්බන්ධව සිදු කෙරෙන විවේචන වරප්‍රසාද ප්‍රශ්නයක් විය හැකිය. එහෙත් ඒ පිළිබඳ විපක්‍ෂ මන්ත්‍රීවරුන් කළ විවේචන අනුව අද මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අර්බුදයකදැයි කෙනකුට හැඟී යෑමට බැරි නැත.

ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වූ යෝජනාවලිය සම්මත කර ගන්නා අතරතුර තවත් මෙහෙයුමක් සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තිබුණි. ඒ මේ වනවිට විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන නැවත කැඳවීමට අදාළ නීති සංශෝධනයක් සඳහා වූවකි. එම කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත්ව ඇත. ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩගේ නමින් ඉදිරිපත් වන එම කෙටුම්පත නිසැකයෙන්ම පොහොට්ටුවේ අවශ්‍යතාවක් බව අනුමාන කළ හැකිය. කැටගොඩ පොහොට්ටු නායකයන්ගේ කටහඬ බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම පනත සම්මත කර ගත හැකි වුවහොත් පළාත් පාලන ඇමැතිවරයාගේ අභිමතය අනුව ඒ සියලුම ආයතන යළි කැඳවීමට හැකි වනු ඇත.

මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හකුලා දමන ක්‍රියාවක් බව පැෆරල් ආයතනය පවසා තිබේ. එසේම එම කෙටුම්පත අධිකරණයේ අභියෝගයට ලක් කිරීමට ද පැෆරල් ආයතනය සුදානමින් සිටියි. ඇත්තටම මේ ආණ්ඩුවට අමු කැවිලාදැයි මේවා දෙස බලන කෙනෙක් ප්‍රශ්න කිරීමට බැරි නැත. මේ පළාත් පාලන මැතිවරණයට අවහිර කළ ආණ්ඩුවටත් ජනාධිපති රනිල්ටත් එල්ල වූ විවේචන දැඩිය. ජනාධිපති රනිල් මේ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර රටම දනී. මේ ආණ්ඩුව එම ඡන්දය කල් දැම්මේ තමන්ට මහජන ප්‍රසාදයක් නොමැති බව ඉඳුරා දත් හෙයිනි. පළාත් පාලන බලය විපක්ෂයේ ඉදිරියෙන්ම සිටින සජබ හා ජාජබ පක්‍ෂවලට ලැබීම වළක්වාලීම ආණ්ඩුවට අවශ්‍ය විය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය දිනකදීත් මැතිවරණය පැවැත්වීමට භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලූ බවක් ද මාධ්‍යවල පළ විය.

මොන තත්ත්වයක් යටතේ වුවද දැනට විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් හා සභාපතිවරුන් පත් කිරීම යහපත් ක්‍රියාවක් නොවේ. ප්‍රාදේශීය ආයතනවල බලය නිලධාරීන් අතට යෑම නුසුදුසු නම් ආණ්ඩුව කළ යුතු ශීලාචාර ක්‍රියාව ඒවාට අලුත් ජනතා නියෝජිතයන් පත්කර ගැනීමට අවස්ථාව සලසාදීමය. එසේ නැතිව සිය දුෂ්ට බල ව්‍යාපෘතියක් ලෙස යළි ඒවා යොදා ගැනීම අලජ්ජී ක්‍රියාවකි. පළාත් පාලන සීමා නිර්ණය, සභිකයන් අඩුකිරීම වැනි ක්‍රියාකාරකම් ද මේ වනවිට අවසන් වී තිබේ. එසේ නම් ඒ අලුත් පනත් අනුව හෝ ජනතා නියෝජිතයන් පත්කර ගැනීමට හැකි ද යන්නත් සොයා බැලීම වටී. කුමක් වුවත් මේ ආණ්ඩුව වහෙන්ඔරෝ බසින් කියන ඡන්ද එපා පිළිවෙතට නම් ඉඩ දිය යුතු නැත. ඇත්තටම ජනාධිපති රනිල් මෙබඳු අශ්ලීල හා දුෂ්ට දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටින්නේ දැයි අපි නොදනිමු. එහෙත් ඔහු ද අයත් මේ ආණ්ඩුව අද යමින් සිටින්නේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බුල්ඩෝසර්කරණය කරමින් ද යන ප්‍රශ්නය අපට ද තිබේ.

පළාත් පාලන ඡන්ද පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා ගැනීමට විපක්‍ෂ ක්‍රියාකරමින් ද සිටියි. එසේම මේ වනවිට ජනතාව තුළ එම ඡන්ද සම්බන්ධයෙන් තිබුණු උද්‍යෝගය ද අඩුවී තිබේ. එහෙත් ඔවූහු කවර හෝ මැතිවරණයක් අපේක්‍ෂාවෙන් සිටිති. ආණ්ඩුවේ ගමනත් පොහොට්ටුවේ බල ව්‍යාපෘතියත් රටට යහපත් නොවන බව තේරුම් ගන්නා ජනකොටස වර්ධනය වන බවද අපට පෙනේ. ඒ මේ ආණ්ඩුවේ කූට හා වංචනික දේශපාලන මෙහෙයුම් නිසාමය. ඇත්තටම විපක්‍ෂයේ සමහරුන් පවසන පරිදි ආණ්ඩුව සැරසෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මරණ මංචකයේ තැබීමට ද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment