සෙල්ලම් නිරිඳුලා සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අනතුර!

417

2023 පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු 09 වැනි දින නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා විසින්ම නිවේදනය කිරීම කිසියම් උත්ප්‍රාසනීය සිදුවීමක් වැන්න. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී එම මැතිවරණය පැවැත්වෙන බවට සහතික වූ පුංචිහේවා, මෝසමක් මගින් යළි ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ වෙනත් හේතුන් නිසා එය පැවැත්වීමට නොහැකි බවය. කුමක් වුවත් මැතිවරණය කල්දමා ගැනීමට හැකිවීම ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස හැඳින්වීම නිවැරදිය. මක්නිසාද යත්? එසේ මැතිවරණය කල්දමා ගැනීම සඳහා කිසියම් හදිසි මෙහෙයුමක් දියත් වී තිබීමත්, එහි ප්‍රමුඛ භූමිකම්පාව දියත් වූයේ ජනාධිපති රනිල්ගේ වක්‍ර හා සෘජු මැදිහත්වීම් නිසා බවත් හෙළි වී තිබේ. එබඳු ළාමක දේශපාලනයකට රනිල් වැනි ප්‍රබුද්ධ දේශපාලන චරිතයක් තල්ලු වී ගියේ කෙසේදැයි අපට කිව නොහැක. එය අපේ දේශපාලන සංස්කෘතියේ කුණු වීම හා එහි රජයන අලජ්ජ හා නග්න විලාසයත් පිළිබඳ ලකුණක් වැන්න.

ජනාධිපති රනිල් මෙරටේ ආර්ථිකය සවිබල ගැන්වීමට දරන ප්‍රයත්නය අපි අගයමු. ඔහු සඳහන් කරන පරිදි රට වෙනුවෙන් අමිහිරි තීන්දුවලට එළැඹීම ගැන ද අපි ප්‍රශ්න නොකරමු. එහෙත් ඒ සාධනීය මෙහෙයුම්වලට අමතරව දේශපාලන වසල සංස්කෘතිය නඩත්තු කිරීමට යොමුවීම ගැන අපට ද විවේචනයක් තිබේ. මෙරට මෙවන් අගාධයකට රැගෙන ගිය දේශපාලන නඩවල අඩු වැඩි ලෙස රනිල්ගේ දායකත්වය ද ඇත. එහෙත් දැන් ඔහුට දේශපාලනිකව ස්වාධීන මනසකින් ක්‍රියා කළ හැකිය. වැරදි කළ එවුන් දඟගෙයි ලෑමට බැරි වුවත් ඒ වැරදි මාර්ගය වෙනස් කිරීමට ඔහුට බලයක් තිබේ. රටේ ආර්ථිකයට ප්‍රමුඛතාව දෙන ඔහුගේ ස්ථාවරය අගය කළ යුතුය. පවතින ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යයට ඉතා උසස් වටිනාකමක් ද ලබාදී ඇත. ඒ සඳහා ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා විය යුතුය. එහෙත් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හා දේශපාලන ප්‍රතිචාර සම්බන්ධයෙන් නැගෙන විවේචන සුළු පටු නොවේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තිබෙන ආන්දෝලනාත්මක ප්‍රතිචාර මෙන්ම, සිවිල් සංවිධානවල විවේචන ද අනුව තහවුරු වන්නේ ආණ්ඩුව ඒකාධිපති මාවතකට තල්ලු වෙමින් තිබෙන බවද? මෙම මැතිවරණ ක්‍රියාවලියට අප්‍රමාණව බාධා කළත් ආණ්ඩුව ද ඒ වෙනුවෙන් සූදානම් වන බව ද රටට ප්‍රදර්ශනය කළේය. නාමයෝජනා භාරදීම තෙක් වූ එම ක්‍රියාවලියට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ ද සහභාගි විය. එහෙත් ඒ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය මත එම මැතිවරණය පැවැත්වීම පිළිබඳව ආණ්ඩුවට තිබුණේ නිෂ්ක්‍රීය ප්‍රතිචාරයකි.

අද වනවිටත් ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ සපුරා ඉදිරියට ගොස් නැත. එහෙත් ඒ පිළිබඳ සාධනීය බලාපොරොත්තු ද ආණ්ඩුවට තිබේ. ජාත්‍යන්තරය අප දෙස බලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ, ජාතික සමගිය, මානව හිමිකම්වලට දෙන ප්‍රමුඛතාව වැනි කරුණු මත පදනම්වය. පළාත් පාලන මැතිවරණය ද එහිදී අතිශය වැදගත් මාතෘකාවක් වේ. ඡන්දය කල් දැමීම ඒ ජගත් අවධානය ද ගිලිහී යෑමකට හේතු වේ. අද තිබෙන ආර්ථිකය අනුව රාජ්‍ය වියදම් කළමනාකරණය අත්‍යවශ්‍ය දෙයකි. ජනාධපතිවරයාත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙන්ම එ. ජා. ප. යේ අනෙක් දෙටු නායක කාරකාදීනුත් ඡන්දයක් සඳහා මුදල් නැති බව කියමින්ම වෙනත් උත්සව සංවිධාන කිරීම ද බොහෝ දෙනකුගේ විවේච්නයට ලක් විය.

බොහෝ දෙනෙක් සඳහන් කළ කරුණක් වූයේ මිලියන 200 ක් වැය කර නිදහස් උත්සවය පැවැත්වීම ගැනය. මහනුවර පැවැත්වූ ජනරජ පෙරහැර ගැන ද විවේචන ඇසුණි. මෙයින් පැහැදිලි වූයේ ආණ්ඩුවේ ප්‍රමුඛතා අනුව මුදල් වැය කර තිබෙන බවය. එහෙත් පළාත් පාලන මැතිවරණයට එබඳු වැදගත් ස්ථානයක් ආණ්ඩුව ලබා නොදුන් බවය. ජනතාව බෙහෙත් නැතිව දුක් විඳින, ආහාර සුරක්ෂිතතාව නොමැතිව තවත් පිරිසක් සිටින පසුබිමක සියලුම පක්ෂවල සහාය, එකඟතාව අනුව ක්‍රියාවට නැංවිය යුතු විශේෂ සැලැස්මක් හෝ ආණ්ඩුවට තිබුණේ ද නැත. මෙතෙක් සිදු වී ඇති ක්‍රියාදාමය පෙළගස්වා බලන විට මෙම පළාත් පාලන මැතිවරණය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ ක්‍රියාදාමය මූලික වශයෙන් ලංකාවේ නූතන දේශපාලන අවස්ථාවාදය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කිසියම් දෙදරා යෑමක් පිළිබිඹු කරන්නේ ද යන්න පිළිබඳවත් අපගේ අවධානය යොමු කරවයි. ජනතා පරමාධිපත්‍ය ගැන වැදි බණ දෙසන දේශපාලන බලවතුන්ගේ නග්න පිළිවෙත් රටට අනාවරණය කරන ප්‍රබල නිදසුනක් ලෙස මෙම මැතිවරණය හා බැඳුනු ක්‍රියාදාමය සමහරු විග්‍රහ කරති.

ජනාධිපති රනිල්ගේ වර්තමාන දේශපාලන භාවිතය මෙතෙක් ඔහු විසින් දැඩිව පෙනී සිටින ලද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයත් සමග ගැටෙන්නකි. ජයවර්ධනගේ ඇතැම් දේශපාලන ප්‍රතිචාර සම්බන්ධයෙන් එදා තිබුණු විවේචන මගින් පෙනී ගියේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරකට පත්ව තිබෙන බවය. තනි පුද්ගලයකු අත රඳවා ගත් බලය මහජනතාවගේ ස්වාධීන හා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට හරස් වන බව වටහා ගත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග හිටගත් රනිල් දිගින් දිගටම පෙනී සිටියේ රාජ්‍යය දේශපාලනීකරණයෙන් නිදහස් විය යුතුය යන අස්ථානය වෙනුවෙනි. 17 වැනි සංශෝධනය මගින් ඇති කළ ස්වාධීන දේශපාලන සංස්කෘතියේ ආරම්භක පියවර එතෙක් තිබුණු විධායකයට යම් යම් සීමාවන් පැනවූවකි. එහෙත් එදා ඇරඹුණු ස්වාධීන කොමිෂන් සභා ගැන රාජපක්ෂවරුන් තුළ වූයේ අප්‍රසාදයකි. 18 වැනි සංශෝධනය එහි ප්‍රතිඵලය විය.

2015 දී මෛත්‍රී – රනිල් සුසංයෝගයෙන් පිහිටු වූ යහපාලන ආණ්ඩුව තුළ අගමැතිවරයා වූ රනිල් වඩාත් උනන්දු වූයේ ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීමටය. 19 වැනි සංශෝධනය ඒ ක්‍රියාවලියෙහි අග්‍රඵලය විය. 2019 දී ගෝඨාභය යුගය යළිත් 20 වැනි සංශෝධනය රැගෙන ආවේ විධායකය තවත් සවිබල ගැන්වීමටය. ස්වාධීන කොමිෂන් සභාවලට බලපෑම් කිරීමේ මානසික දොලක් බොහෝ ජනාධිපතිවරුන්ට තිබිණි. රාජපක්ෂවරුන්ගේ බලාධිකාරයට එල්ල වූ ජනතා විරෝධය විසින් යළිත් විධායක බලය සීමා කිරීමේ අවශ්‍යතාව ඇති කරන ලදී. 21 වන සංශෝධනය එහි ඵලයකි. එහෙත් අනපේක්ෂිත ලෙස අගමැති ලෙසත් ඉනික්බිතිව ජනාධිපති වශයෙනුත් පත්වූ රනිල්ට ද ඒ විධායක රෝග ලක්ෂණ පහළ වෙමින් තිබේද? ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතකා ඒවාට අභියෝග කිරීමට ඔහු සූදානම් වන්නේද? මේ වනවිට ශ්‍රී ලාංකික දේශපාලනයෙහි පරිණත හා විදග්ධ නායකයකු ලෙස ජනාධිපති රනිල්ට තිබෙන ඇගයීම ඔහුගේම යම් යම් නොමනා දේශපාලන ප්‍රතිචාර නිසා විවේනයට ද ලක්ව තිබෙන බව ඔහු දැන සිටිය යුතුය.

පළාත් පාලන මැතිවරණයට අප්‍රමාණව හරස් කැපූ ජනාධිපතිවරයකු බවට අද ඔහුට චෝදනා නැගෙයි. එදා ජයවර්ධන දේශපාලන යුගය සමග ඔහුගේ මනස තුළ නොදිරවා ඉතිරි වී තිබෙන දේශපාලන සට කපටකම් කෙරෙහි ඔහු දක්වන උද්යෝගය සැඟවිය නොහැකිය. මහජනයා විසින් ලබාදෙන ලද සුපිරි බලය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස භාවිත කරන ලද ඉතිහාසය විසින් දුන් ප්‍රධාන පාඩම් දෙකම ඔහුට අමතක විය නොහැක. 1975 දී පැවැත්වීමට තිබුණු පාර්ලිමේන්තු මැතිවරණය දෙවසරකින් කල් දැමූ සිරිමා බණ්ඩාරනායකට 1977 දී හිමි වූ ඛේදනීය පරාජයට ඒ මැතිවරණ අයිතිය උදුරා ගැනීම බලපෑ බව පිළිගනු ලැබේ. එදා මැතිනියගේ එම දේශපාලන ප්‍රතිචාරය නොඉවසූ ජයවර්ධන කළේත් තමන්ට ලැබූ ජනරවම, ජනමත විචාරණයකට මුවා වී තවත් වසර හයකින් දිගු කර ගැනීමය.

මේ සිදුවීම් දෙකම රටට ලබාදුන් අමිහිරි අත්දැකීම් මැනවින් දත් ජනාධිපති රනිල් අද එයම අත්හදා බැලීමට දරන ප්‍රයත්නය දේශපාලන කුහකකමක් පමණක් නොව අපේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ද සරදම් කිරීමකි. පළාත් පාලන මැතිවරණය කල් දමන තැනට පත් කළ ආණ්ඩුවට ඒ පිළිබඳ තිබුණු ප්‍රීති ප්‍රමෝදය කෙතරම්ද යත් ජනාධිපතිවරයා එම ඡන්දය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ මෙන්ම ඔහුගේ උත්ප්‍රාසනීය හැසිරීම් තුළින් ද පැහැදිලි විය. ජනාධිපතිවරයා ප්‍රමුදිතව අදහස් පළ කරද්දී අගමැති දිනේෂ් ඇතුළු එවේලේ පාර්ලිමේන්තු සභා ගර්භයෙහි සිටි අයගෙන් ලැබුණු ආනන්දනීය ප්‍රතිචාර ගැන විවේචන ද ඇසුණි. කුමක් වුවත් පළාත් මැතිවරණය සමග කොමිසමේ සභාපතිවරයා ද දුර්මුඛ කරමින් ආණ්ඩුව ලැබුවේ ජයග්‍රහණයක්ද? නොඑසේ නම් සිය දේශපාලන නග්නත්වය විදහාපෑමක්ද? යන්න ආණ්ඩුවේ නායකයෝම සිය හෘදය සාක්ෂියෙන් විමසිය යුතු වෙති.

රජයේ මුල්‍ය කටයුතු පාලනය යනු පාර්ලිමේන්තුවේ සාමූහික බහුතර සම්මුතියකින් සිදුවිය යුතු වුව ද විධායකයට ඒ සම්මුතිය විඳීමට හැකි බව ජනාධිපති රනිල්ගෙන් ද යළි තහවුරු වී තිබේ. මැතිවරණ කොමිසම ස්වාධීන හා පුළුල් ආයතනයක් වුවත් ජනාධිපතිවරයාට චක්‍රලේඛයක් මගින් එය අක්‍රීය කිරීමට මෙන්ම පාර්ලිමේන්තුව නොසැලකීමට ද හැකි වී තිබේ. ඇත්ත වශයෙන්ම අදටත් ස්වාධීන කොමිසමක් යනු ආණ්ඩුවේම උපකරණයක්දැයි සිතේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට තිබේ යැයි පැවසෙන බලතල කෙබඳු වුවත් ඔහුට ඒ කිසිවකින් වැඩක් ගැනීමට හැකි වූයේ නැති බව ද රහසක් නොවේ. රජයේ මුද්‍රණාලයාධිපතිනිය මෙන්ම පොලිස්පතිවරයාත් එසේම භාණ්ඩාගාරයේ ලේකම්වරයාත් ඔහුව තඹයකට මායිම් කළ බවක් අපට ද නොපෙනේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු දේශපාලන බල අධිකාරිය විසින් තලා මට්ටම් කර ගත් දෙයක් පමණක් බව යළි යළිත් සනාථ කර තිබෙන බව මේ ක්‍රියාදාමය සාක්ෂි දරයි.

පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමෙන් රටට හෝ ආර්ථිකයට සිදුවන යහපත කුමක්දැයි අසන දේශපාලන විකටයෝ ද සිටිති. එවැනි අය හැඳින්වීමට උචිතම පදය ‘දේශපාලන ගොබ්බයන්’ යනුයි. තවමත් මෙරටේ දේශපාලනයේ ඉදිරි පෙළ අරක් ගත් බොහෝ දෙනෙක් දේශපාලන වහල්ලුය. වේදිකාවල පමණක් නොව නොයෙක් රූපවාහිනී සංවාදවලදී මේ විකට රූපවල ගොන් බව අනන්තවත් හෙළි වී තිබේ. දැනුත් සිදුවන්නේ එය මය. රටක් ආර්ථික වශයෙන් කඩා වැටුණු මොහොතක මැතිවරණයකට මුදල් වැය කළ නොහැකි බව ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගොඩනැගූ තර්කය බව ඉහතදීත් දැක්විණි. සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකින් රටට අත්වන ආර්ථික වැය අධිකය. එහෙත් එබඳු මැතිවරණයකින් දේශපාලන හා ආයතනික පද්ධතිය නැවුම් වීමක් සිදු වෙයි.

මහ මැතිවරණයකින් ජනතාවට අලුත් සමාජ ආර්ථික දැක්මක් සහිත පක්ෂය හෝ කණ්ඩායමක් තෝරා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. පළාත් පාලන ඡන්දයේදීත් අලුත් ආකාරයකින් ග්‍රාමීය හා නාගරික බල ප්‍රදේශ මෙහෙයවීමට එබඳුම ඉඩක් සැලසෙයි. මෙරටේ තිබෙන දූෂිත හා නාස්තික දේශපාලන වංචා හා දූෂණ ක්‍රියාකාරකම් නිසා එබඳු මැතිවරණවලින් ලැබෙන සාධනීය ප්‍රතිඵල ඉතා අඩු වීම වෙනම කරුණකි. දේශපාලන වශයෙන් කුණු වී ගිය පක්ෂ හා නායකයන්ගේ බල ප්‍රදේශ ලෙස මහජන නියෝජිත ආයතන කිළිටි වී තිබේ. ප්‍රතිපත්තිමය රාමුවක, ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භයක නොමැති ලංකාවේ දේශපාලනය දූෂිතම ව්‍යාපාරයක් බව කවුරු නොදනිත්ද?

සෙල්ලම් නිරිඳුලා සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අනතුර!

වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහානාහිමියන් පසුගිය දිනක ප්‍රකාශ කළේත් දේශපාලනඥයන්ගෙන් මේ රටට සිදු වූ යහපතක් නැති බව ඉඳුරා පැවසිය හැකි බවය. මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් ද මෙම දූෂිත වංචනික, දේශපාලනය ගැන දැඩි විවේචන සිදු කරනු ලැබ ඇත. මේ වනවිට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද අලුත් වෙනසක් සිදුවිය හැකි දැයි අපට කිව නොහැක. එහෙත් එජාපයට හා පොහොට්ටුවට නොමැති ජනතා ප්‍රතිචාර සජබ හා ජාජබ දෙකට ලැබී තිබෙන බව නම් පැහැදිලිය. ජාතික ජනබලවේගයේ ප්‍රධාන පක්ෂය වන ජ.වි.පෙ. බලයට පත්වීම වැළැක්වීම සඳහා පළාත් පාලන මැතිවරණය කල්දමන ලෙසට ජනාධිපතිවරයාගෙන්ම සමහරු ඉල්ලූ බවක් ද ජනාධිපතිවරයාම ප්‍රකාශ කර ඇතැයි වාර්තා විය. කුමක් වුවත් මෙම පළාත් පාලන මැතිවරණයට ආණ්ඩුව බාධා කළේ ආර්ථික දුෂ්කරතාව නිසා හෝ ජනාධිපතිවරයාට ලැබුණු ඉල්ලීම් නිසා හෝ නොව එයින් ආණ්ඩුවේ පක්ෂ වන පොහොට්ටුවට හා එජාපයට අත් විය හැකි අන්ත පරාජය නිසා බව සැඟවිය නොහැක.

මහාචාර්ය ජී. එල්. පීරිස් මාධ්‍ය හමුවකදී සඳහන් කළේත් මෑතකදී පවත්වන ලද සමීක්ෂණයකට අනුව මේ ආණ්ඩුවට සියයට 8 ක තරම් අඩු ජනප්‍රසාදයක් තිබෙන බව හෙළිවීම නිසා මෙම ඡන්දය වැළැක්වීමට ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය බවය. අද මේ ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයකි. වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් බහුතරයක්ම බදු සංශෝධනවලට එරෙහිව වීදි බැස සිටින අතර උද්ඝෝෂණ, විරෝධතා ආදිය උත්සන්න වන බවක් ද පෙනේ. එහෙත් බලය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය නොතකා හැරීමට ද දේශපාලන නායකයෝ එඩිතර වී සිටිති. රාජ්‍ය නිලධාරීන් මෙන්ම පොලිසිය ද අනීතිකව මෙහෙයවීමට ඔවුහු පසුබට නොවෙති.

ඇත්ත වශයෙන්ම 69 ලක්ෂයක ජනවරමක් ලබා ගත් ගෝඨාභයට සිය ධුර කාලයෙන් අඩක්වත් ගෙවීමට නොහැකි වූයේ කුමක් නිසාද යන කරුණු පිළිබඳව දැන් පොහොට්ටුවට ද අමතකය. මහජන විරෝධය නමැති සැඩ සුළං පහරින් ජනාධිපති ධුරයේ ද අතහැර පලා යෑමට සිදු වූ ආසන්නතම දේශපාලනයෙන් පාඩමක් ඉගෙන ගැනීම වෙනුවට පොහොට්ටුවට වුවමනා යළිත් ඇමැති ධුර ලබා ගෙන වැජඹීම බව පෙනේ. ගාලුමුවදොර ඓතිහාසික විරෝධතාව අද ඔවුන්ට හුදු සිදු වීමක් පමණකි.

කෙසේ හෝ ජනාධිපති රනිල්ට තවදුරටත් මෙම පළාත් පාලන මැතිවරණයට බාධා කළ නොහැක. මේ වනවිට එම මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා කථානායකවරයාගෙන් ද ඉල්ලීමක් කර තිබේ. ඡන්දය ගැන සමච්චල් කතා කීම හෝ එයට බාධා කිරීම ආණ්ඩුවේ ගෞරවයට ද බලවත් හානියකි. මැතිවරණයට බාධා කරන රාජ්‍ය නිලධාරීන් නීතිය ඉදිරියට ගෙන යන බව ද කියනු ඇසෙයි. කුමක් වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව තහවුරු වී තිබෙන ජනතා අයිතීන්ට පටහැනිව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් පවා අධිකරණයට කැඳවිය හැකිය. දේශපාලනඥයන්ට කීකරු වී එබඳු අයසකට පත්වීම රාජ්‍ය නිලයේ අභිමානයට ද කැළලකි. දේශපාලනඥයන් සියල්ලෝම බලය – නිලය උදෙසා ක්‍රියා කරන්නෝ වෙති. එබඳු දේශපාලනඥයන් සඳහා සිය වෘත්තීය ගෞරවය පාවාදීම නොමැනවි. කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රතිචාර ග්‍රාම්‍ය හා අශිලීල බව මැතිවරණ නිරීක්ෂකයෝ ද කියති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment