යාපනයට ගිය බයිසිකල් සංචාරය 4

නින්දට වැටෙන හෝරාවක යාපනයෙන් සමුගතිමු!

සංසාර ගමන වගේම ජීවන ගමනත් අමාරුයි. මහන්සියි…. අමාරු, මහන්සි වගේම හරි පුදුමයි. කොතනින් පටන් ගත්තාද, මෙතැනින් කොතැනටද, ඊළගට මොකද වෙන්නෙ කියලා හිතන කොටත් ඔලුව ව්‍යාකූල වෙනව වගේ.

සංසාර ගමන කෙසේ වෙතත්, අපේ ඊළග නැවතුම ලංකාවේ උතුරු කෙලවර වූ පේදුරුතුඩුවයි. (Sakkotei Cape)

දිසාව හිතේ තියාගෙන පේදුරුතුඩුව කඩමණ්ඩිය මැදින් නැවතත් බයිසිකල් රෝද වලට පණ දුන්නා. පදින මඟ විශාල කෝවිලක් ළඟ නතර කළේ කෝවිලේ ඡායාරූපයක් ගන්න. මම බයිසිකලය ටෙලිෆෝන් කණුවට හේත්තු කරලා, ඡායාරූප ගන්නවා කෝවිලේ පූසාරීතැන බලං හිටියා. මම ගිහින් පුසාරිතුමා හමුවෙලා පුළු-පුළුවන් විදියට අදහස් හුවමාරු කරගත්තා. මට ඕනෑ වුනේ ඔයාලා අපි ජාති භේද, ආගම් භේද නැති නොබෙදුනු එකම රටක සතුටින් සමාදානයෙන් ජිවත් විය යුතු පණිවිඩය කියා ගන්න. මම පුළුවන් විදියට කිව්වා. ඔවුන්ටත් දැන් අවශ්‍ය ගෙවුනු රුදුරු අතීතය අමතක කර සතුටින් ඉන්න. මම එතුමා මූලික කරගෙන, කෝවිල පසුබිම කර ඡායාරූප කිහිපයක් ගත්තා. ඔහුත් ආඩම්බරයෙන් ඡායාරූපයට පෙනි හිටියා. කැමරාවෙන් ගත් පිංතූර ඔහුට පෙන්වූ විට, හිනා වෙලා සතුට ප්‍රකාශ කළේ මගේ පිටට තට්ටු කරමින්. ඒ හිනාව, සතුට කොච්චර වටිනවද කියලත් හිතුනා. සිනාවේ භාෂාව එකම වුණත් භාෂණ භාෂාව දෙකක් නිසා අපි බේද භින්න වෙලා නේද කියලත් හිතුනා.

දැන් ඉර මුදුන්වෙලා. මම බයිසිකලයට නගින කල් චාමර ඈත ඉඳන් බලං ඉන්නවා. පේදුරුතුඩුව – යාපනය පාරේ ටික දුරක් ගිය විට හමුවූ මාලි හන්දියෙන් දකුණු පැත්තට අපි පැද්දා.

මේ පාර නම් කරන්නේ මඩත්තඩි – තම්පායිඩි කියලා. අපිට යාපනය-පොන්නලෙයි පාර හරහා පේදුරුතුඩුව දෙසට හරවන්නට ගූගල් ආයතනයෙන් අණ දුන්නා. විනාඩි කීපයකින් අදාළ තැනට ආවා. යුද්ධය අවසන්වී අවුරුද්දක් පමණ ගිය තැන මම මෙතැනට ඇවිත් තියෙනවා. එදා වගේම අදත් සිමෙන්තියෙන් නිර්මාණය කරපු ගාම්භීර සිංහ කොඩිය සුදුපාට වලාකුළු පා කර හරින, නිල්පාට අහසත්, රැයක් දවාලක් නැතිව ගොඩට වදින රැල්ලත් පසුබිම කරගෙන උජාරුවට ඉන්නවා. නිවාඩු දවස් නිසා විශාල පිරිස් සංචාරයේ ඇවිත්. අපිත් බයිසිකල් දෙක තල්ලූ කරගෙන ඒ පැත්තට ගියා. මේ එන හැම දෙනාම මේ සිංහ කොඩියත්, ස්ථානය සටහන් කොට ඇති සිතියම් සලකුණත් අමතක නොවන මතක වල තැන්පත් කරගන්න තම තමා ළඟ ඇති දුරකථනවලින් සටහන් කරගන්නවා. පැය භාගයක් විතර බලං හිටියත් අපිට අවස්ථාවක් නෑ වගේ. කට්ටියක් යනකොට තව පිරිසක් එනවා. අපිත් පුළුවන් විදිහකට ඉඩ අරගෙන ස්ථානය මතකයට එකතු කරගත්තා. අපි බයිසිකල් සමග පැමිණි නිසා, පැමිණි අය අපෙන් ගමතොට, ආගිය තැන් විමසනවා. ඒ අය කරුණු විමසමින් දෙන ධෛර්යය ම අපිට ඉන්ධනයක් වුණා.

ලස්සන මුහුදු තීරයක්. පැහැදිලී කරදිය හරහා තැනින් තැන කුඩා මත්ස්‍යයින් පීනනවා. ඒ අතර ඊයේ දියඹට ගොස් මත්ස්‍ය අස්වැන්න ගොඩට ගෙනත්, මත්ස්‍යයින් තෝරනවා. වෙන්කරනවා . පීඩාකාරී හිරු යට සිටිද්දි සිතිජ ඉම හරහා ආ මඳ වියළි සුළඟ, අපි වගේම ඈත දුර සිටන් ආ පිරිසටත් අස්වැසිල්ලක් වුණා.

චාමරත් මමත් තුඩුවට සමු දී අප ආ පාරෙම පැදගෙන ආවා. අමතර පංති ගොස් බයිසිකල් පැදගෙන එන පැටවු ටික සමඟ සතුට බෙදා ගන්නත් කාලය හදා ගත්තා. අසල වූ බයිසිකල් වින්කලය ළඟින් බයිසිකල් දෙකේ හුළං තත්ත්වය බැලූවේ උවමනාවකට ම නෙමෙයි. වින්කල් කරුත් සමඟ කතාබහ ට.

චාමර කරවෙඩ්ඩි, නෙල්ලයඩි හන්දියේ නතර වෙලා දවල් කෑමට කඩයක් හොයනවා. අතින් පෙන්නු කඩය දෙසට මමත් ගියා. බයිසිකල් දෙක අසල කනුවකට හේත්තු කළේ කඩය ඇතුලට පෙනෙන විදියට. චාමර බත් තියෙනවද කියා ‘සෝරු’ කෑල්ලක් ඉස්සරහට දාලා කඩේ වේටර් තැනගෙන් කැඩිච්ච දෙමලෙන් ඇහුවා.

“ඔව් මහත්තතයා බත් තියෙනවා…. මස් මාලූ තමයි නැත්තේ…“ කියා කැෂියර් කවුන්ටරයේ සිටි පුද්ගලයා කියපි. අමුතු සිංහල උච්චාරණයකින් කතා කළ ඔහු කඩේ මුදලාලි. යුද්ධ කාලේ කොළඹ කඩෙක වැඩ කරපු නිසා සිංහල ටිකක් කතා කරන්න පුළුවන් වුණාලූ. මමත්, චාමරත් කෑම ගන්නා අතරතුර කතා වුණේ අපිත් දෙමළ භාෂාව ටිකක් හෝ ඉගෙන ගන්න ඕනෑ බවයි .

දවල් ආහාරයත් සමග පැයක පමණ විවේකයක් ගත්තා. දැන් වෙලාව දවල් දෙකයි. ගිනි ගහන අව්ව වුණත් දැන් අප යා යුතුයි. කඩේ සියලුම දෙනා එක්ක සෙල්ෆියකුත් ගහගෙන ම අපි යාපනය දෙසට ඊතලය සටහන් ව තිබු පාරේ පැද්දා. අපේ ගමන් මග වැටි තිබුණේ, වියළි හිඳී ගිය කලපුවක් මැදි කරගත් පාරක. පලාලි ගුවන්තොටුපලට ගමන් දිසාව, දුර ප්‍රමාණය සමඟ සටහන් කරලා තිබුණත් ඉන් අපිට වැඩක් නැති නිසා අපේ ගමන් මගේ ඉදිරියට පැද්දේ දරාගත නොහැකි සුළඟ අපිව තරවටු කරන අතරතුර. පදින්න අමාරු ම තැන හමා එන සුළඟ ට දිනුම දී මම බයිසිකලයෙන් බැස තල්ලූ කරගෙන කිලෝමීටරයක් පමණ ආවා. චාමර නම් හෙමින් හෙමින් පදිනවා.

පේදුරුතුඩුව – යාපනය වෙන් කරන සීමාව සටහන් කොට ඇති පාලම ළඟ නතර කළා. ඉරිතැලී ගිය කලපුවේ කුඩා වතුර වල වටේට සුදු කොක්කු පස් හයදෙනෙක් බක තපස් රකිමින් හිටියා. මට මතක් වුණේ දහම් පාසැලේ ඉගෙන ගත් බක ජාතක කතාව…. බක කියන්නෙ කොකාට තවත් නමක් නේ.

විනාඩි කීපයකින් පස්සේ නැවතත් පදින්න පටන් ගත්තා. දැන් දැන් කලපුව සීමාව අමාරුවෙන් පහු කරගත්තා. දැන් සුළඟ බාධාව නෑ. දෙපසින් පොල් වතු, ගෙවල් දොරවල් කඩවලින් පිරි පරිසරයට ඇහැ හුරු කරවා ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. තිබහට වතුර බීල ම චාමරට ශාරීරික අවශ්‍යතාවයකට අසල කඩයකට ගොඩ වුණා. කියන්නත් සතුටුයි, ඒ කඩේ මුදලාලිටත් සිංහල ටිකක් පුළුවන්. මේ කඩේ මුදලාලි ගොවි මහතෙක්. දැන් ගොවිතැන අත්හරින තැනට ඇවිත්. “ඉස්සර අපි ගෙවත්තේ එළවළු කොරටු කරා…. දැන් කොහේ කරන්නද…? කරන්න කෙනෙක් නෑ මහත්තයෝ…. ළමයි රට ගිහින්….. සමහර ගෙවල්වල තරුණ පරම්පරාව ගොවිතැනට කැමැත්තක් නෑ….“ දකුණේ සිදුවන දේමයි උතුරෙත් වෙලා තියෙන්නේ කියලා හිතුනා.

නින්දට වැටෙන හෝරාවක යාපනයෙන් සමුගතිමු!

දැන් සවස හතරට ළඟයි. අපේ ගමනේ නිමාවට තව කිලොමීටර් 15-20 විතර පදින්න තියෙනවා. අප එන මගේ හමුවූ මන්ත්‍රී මාළිගය සහ සංගිලියන් මාළිගය තිබු සංගිලියන් තොප්පුව හෙවත් සංගිලියන් දොරටුවත් බැලුවා. ක්‍රි.ව. 1519 යාපනය රාජධානිය සමයෙහි වීසු සංගිලියන් හො සංකිලි රජුගේ නමින් මෙම ස්මාරක හඳුන්වනවා. අද පවතින මේ දොරටුව සංගිලියන් තෝප්පු නමින් තමයි හඳුන්වන්නේ. තොප්පු යනු තොරණට කියන තවත් නමක්. අලංකාර කැටයමින් අලංකෘත මෙම දොරටුව ගඩොලින් නිමවා, හුණු බදාමයකින් කපරාරු කර ඇති බවක් පෙනෙන්නට ඇත. ‘පූනතම්බි වලෙව්’ ලෙසිනුත් යාපනයේ වැසියන් හදුන්වනවා. ‘වලෙව්’ යන්නෙන් අදහස් කරන්නේ ආරුක්කුව යනුයි. ඉතිහාසඥයන්ගේ අර්ථකනවලට අනුව ඕලන්ද සමයේ යාපනයේ විසූ කීර්මත් ද්‍රවිඩ පාලකයෙකු වූ පූනම්බි මුදලියාර්ගේ මූලස්ථානය ලෙස මෙය සැලකෙනවා.

ඊළගට අපි යාපනයේ විශේෂ තැනකට ඇවිත්, බයිසිකල් දෙක කුඩා ගේට්ටුවෙන් ඇතුල් කර වැටට හේත්තු කළා. බැතිමතුන් පමණක් නොවෙයි, ඈත දකුණෙන් ආ නඩවලින්ද පිරී ඉතිරිලා. ජාති භේද, ආගම භේද නොසලකමින් නල්ලූර් කෝවිල තුළට යෑමට ඉවසිලිවන්ත ව තමන්ට වාරය එන තුරු පෝලිමේ පිරිස් බලා ඉන්නවා. මේ පිරිස අතරේ හිස වසා ගත්, මුහුණත යාන්තමට පෙනෙන සේ, සුදු පැහැය ගත් ලස්සන මුස්ලිම් යුවතියන් සමග වැඩිහිටියන් දෙපළ ද කෝවිල තුළට ඇතුල් වුයේ සියලූ මනස්ගාත සංකල්ප අභියෝගයට ලක් කරමින් යැයි මට සිතුනා. උඩුකය නිරාවරණය කරගනිමින් සහ මම ඇඳ සිටි කොට කලිසමට උඩින් කෝවිලෙන් ලබාදුන් වේට්ටිය දවටාගෙන ඉක්මනින් කෝවිල වැඳ පුදාගෙන එළියට ආවේ චාමරට අවස්ථාව දීමටයි. මම එනවිට දුටුවේ චාමර ඔහුගේ ජංගමයෙන් කෝවිල භූමිය තුළට පැමිණ සිටි ක්‍රිස්තියානි ආගමේ කන්‍යා සොයුරියන් කිහිප දෙනෙක්ව ඡායාරූපයට ගන්නා ආකාරයයි. හැම ආගමක් ම කියන පොදු සත්‍යය මනුෂ්‍යත්වය නේද කියල මට හිතුණා…

නින්දට වැටෙන හෝරාවක යාපනයෙන් සමුගතිමු!

මහාචාර්ය පරණවිතානයන්ගේ සොයා ගැනීම් අනුව මෙම ස්ථානය බෞද්ධ ආගමික කටයුතු සිදු වූ ස්ථානයක්. අතීතයේ යාපනය රාජ්‍ය පාලකයා ලෙසින් කටයුතු කළාවූ කෝට්ටේ 06 වන බුවනෙක බාහු නමින් රජ පැමිණි සපුමල් කුමාරයා විසින් මෙහි කඳ සුරිදුන් වෙනුවෙන් කෝවිලක් ඉදිකළ බව ඉතිහාසයේ ලිඛිත සාධක මගින් අනාවරණය කර ගෙන ඇති බවට සාක්ෂි තියෙනවා. හින්දුන්ගේ විශ්වාසය අනුව මුරුගන් දෙවියන් වෙනුවෙන් ඉදි කළ දෙවොලකි. මුරුගන් යනු ලස්සනට හා පරිපුර්ණත්වයට ආවේශ වු ලෙසින් අරුත් ගැන්වෙන අතර කෝවිලෙහි වාසය කරන ස්කන්ධ කුමාර දෙවිදුන්ට ඕනෑම දෙයක් කළ හැකිය යන හැඟීමක් බැතිමතුන් අතර පවතිනවා. 15වැනි සියවසේදී ඉදිකර ඇතැයි විශ්වාස කරන මෙම කෝවිල, වර්ෂ 1621 යාපනයේ පාලනය
පෘතුගීසීන්ට යටත් විමෙන් පසු කෝවිල විනාශ කර කතෝලික පල්ලියක් ඉදිකර තියෙනවා. ක්‍රි.ව. 1658දී ලන්දේසීන් විසින් යටත් කරගැනීමෙන් පසු නැවත කෝවිල ඉදිකිරීමට අවසර දී ඇති අතර , ඒ අනුව වර්ෂ 1734 දී නැවත කෝවිල ඉදි කර තියෙනවා. වර්තමානයේ කඳසුරිදුගේ ප්‍රතිමාව මූලික කරගනිමින් දෙපසින් ගනේෂ් දේව ප්‍රතිමාවත්, වල්ලි අම්මා දෙවඟනගේ ප්‍රතිමාවක් ද පෙනෙන්නට ඇති අතර ස්කන්ධ කුමාර දෙවියන් හා සම්බන්ධ විවිධ අවස්ථා නිරුපනය කරන ස්වර්ණමය හා ස්වර්ණාලේපිත ප්‍රතිමාද වර්තමානයේ දක්නට ඇත.

කෝවිලට ටිකක් එපිටැහින් වු රියෝ අයිස්ක්‍රීම්හල ළඟට එනවිට දැක්කේ රතුපාටින් කොඩි වැල් සමූහයක අලංකාරය. ඒ තිලිපන් ගේ සැමරුම. ඇඳි රතු කොඩි වැල් අතරින් දමිල ගී වාදනය වූවත්, ඒ අසල කිසිවෙකුත් සිටියේ නෑ. හැබැයි රියෝ එකේ සීතල අයිස්ක්‍රීම් කන්න උණුසුමින් පිරි ඉතිරි සිටින සංචාරක පිරිස්. ඉක්මනින් පෝලිමට එක්වු මම, විශේෂ වු අයිස්ක්‍රීම් දෙකක් ගෙන එකක් චාමර අත තැබුවා. මේ වෙද්දි රියෝ එකේ ඔර්ලෝසුවේ පැය කටුව හය සොයා යන ගමන්. අපි යාපනයේ කොටුව බලන්න අදහසේ සිටියත් ඒකට පරක්කු වැඩියි. හයට ඇතුල්වීම නවත්වනවා. කමක් නෑ කියලා හිතලා ඊළඟට අපි කෙළින්ම ආවේ යාපනය දුම්රිය පොළට. නිවාඩුව ගත කිරීමට යාපනයට ආ පිරිස් ලහි ලහියේ නැවත ගම්බිම් බලා යන්නට දුම්රිය පොළට ඇදී එනවා. අප සිටි තැන වේගයෙන් පසුකර ගිය රෝදතුන පිටු පසින් ගසා ඇති සිංහ ධජය සුළඟේ ළෙලදුන්නේ දැන් යාපනයේ තත්ත්වය වෙනස් වෙමින් ඇති බව අඟවමින් නේද කියලත් හිතුනා .

නින්දට වැටෙන හෝරාවක යාපනයෙන් සමුගතිමු!

චාමරට වගේම මටත් උවමනා වුණා යාපනේ රහට, යාපනේ කඩයකින්, යාපනේ කෑම කන්න. ඊට ප්‍රථම ඇඟපත සෝදාගැනීම සඳහා මගේ මිත්‍රයෙකු වු රෙදිපිළි ව්‍යාපාරික ගෝල්ඩන් හමුවී ඔහුගේ කඩයට යාබද තැනකින් සියලූ පිරිසිදු වීම් කරගත්තා. උතුරේ මිත්‍රයා පෙන්වු මලයාන් කැෆේ වෙතට අතුල් වුණේ බඩගින්නට ම නෙමෙයි, අපේ ආසාවට. මසාලා තෝසේ, උළුඳු වඩේ, රතුපාට කොළපාට සම්බෝලේ , සාම්බාරු හොද්දට හැමදාමත් පෑහෙනවා. අපේ හිත-බඩ දෙකම පිරි ගියේ අපි හිතපු අයුරින්ම ඒ දේ ඉටුවීම නිසයි.

රාත්‍රී 11ට කොළඹ බලා යෑමට නියමිත බස්රථයේ කලින්ම ආසන දෙකක් චාමර වෙන් කරලා තිබුණා. කාලය ඇති තරම් ඇති නිසා රතු, සුදු, කහ, කලූ නිල් පාට අතරින් අපි බයිසිකලයට නැවත පණ දුන්නා. රාත්‍රී 7-8 වන විට දකුණේ නගරවල පාලූ ස්වභාවයක් ගත්තත් යාපනය රාත්‍රි 10 වන තුරු ව්‍යාපාර කටයුතු කරනවා. පාපැදි වෙනුවට දැන් දැන් ස්කූටි යතුරු පැදි හරි හරියට පදින්නේ කාන්තාවන්. කලබලයෙන් පිරි යාපනය නගරය රාත්‍රි 10 පස්සේ නින්දට වැටෙනවා. කළුවරට බය නොවී සෘජු ව හිටගත් යාපනයේ ඔරලෝසු කණුව ප්‍රදේශයට රැකරවණය දෙමින් තීක්ෂණ ව බලං ඉන්නවා.

10.45 වෙනකොට ගාල් කළ බස්රථයේ ගුදම් ඉඩට බයිසිකල් දෙක ඇතුල් කරගත්තේ පිරී ගොස් තිබුණු බඩු එහාට මෙහාට කරගනිමින්.

අලුයම 3.30 වෙද්දි චාමර කඩවතින් බැස්සේ අඳුරට මුහු වෙමින්…. මම කැලණිය විශ්වවිද්‍යාලය අසලින් බැහැගත්තේ ඊට පැය කාලකට පස්සේ. එතැන් සිට කිලෝමීටර හයක් පමණ බයිසිකලය පැදගෙන නිවසට එනවිට මම එනතුරු දවස් තුනක් මඟ බලමින් සිටි මගේ බලූ හුරතලා “කීමෝ” වලිගය වනා ඇඟේ එල්ලී මගේ ගමන් මහන්සිය ඉල්ලා. ගත්තා.

සටහන
හර්ෂණ ජයතිලක
ඡායාරූප
චාමර කොඩිතුවක්කු – හර්ෂණ ජයතිලක

විශේෂ ස්තූතිය
මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ

advertistmentadvertistment
advertistmentadvertistment