ඩොලර් හොයන අතරේ රටේ ආර්ථිකය අනතුරේ

184

● දිනෙන් දින උග්‍ර වන මහජන පීඩා

අලුත් අගමැතිවරයෙක් ඇතුළු අලුත් ආණ්ඩුවක් පත් වුවත් එසේම නව මහ බැංකු අධිපතිවරයෙක් හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙක් පත් වුවත් එසේම ආණ්ඩුවේ තවත් බොහෝ වෙනස්කම් සිදුකර තිබුණත් තවමත් රටේ ප්‍රශ්න තවමත් විසඳී නැත. විසඳෙන ලකුණු හෝ තවමත් පැහැදිලිව පෙනෙන්නට නැත. ඔවුන් නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටියත් විදේශ විනිමය හිඟයට තවමත් නිසි පිළියමක් නොමැති වීම නිසා පෝලිම් තත්ත්වය අවසන් වෙනවා වෙනුවට පෝලිම් තවත් දිගු වී ඇත. එසේම පෝලිමක සිට හෝ ඉන්ධන සහ ගෑස් සපයාගත නොහැකි තත්ත්වයක් ඇති වෙමින් මහජනයා විඳින පීඩාව තවත් වැඩි වී තිබේ. ඉන්ධන නොමැතිකමින් පොදු ප්‍රවාහන බස් රථ ධාවනය වීම ද ඉතාම සීමිත වී ඇති නිසා බොහෝ දෙනාට රැකියාවට යෑමට ද ඉතා දුෂ්කර තත්ත්වයක් ඇතිව තිබේ. විදුලිය කැපිල්ල ද අවසන්ව නැත. මේ ඉන්ධන සහ බලශක්ති ප්‍රශ්න නිසා රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ද සෑහෙන දුරකට අඩපණ වී ඇත. රජයේ සහ මහ බැංකුවේ ක්‍රියාමාර්ග හමුවේ වුව ද ආර්ථික හා විනිමය අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් තිබේ. විදේශ ණය ගෙවීම අත්හිටුවා තිබුණත් තෙල් සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගැනීමට අසමත් වීම නිසා මේ වන විට සෑහෙන කාලයක් තිස්සේ තිබෙන පෝලිම් තත්ත්වය හමුවේ ජනයා බලවත් පීඩාවකට පත්ව ඇති අතර අලුතින් පත්ව සිටින අගමැතිවරයා ඇතුළු බලධාරීන් පවා අර්බුදය විසඳනවාට වඩා අර්බුදයේ ප්‍රකාශකවරු බවට පත්ව අර්බුදය ගැන නිරන්තරයෙන් ‘අප්ඩේට්’ (අලුත් තත්ත්වය ගැන පැහැදිලි කිරීම්) සිදුකරමින් සිටින බවක් ද පෙනෙන්නට තිබේ.

● ආර්ථික අර්බුදය ජයගැනීමේ මාර්ග සිතියමක්

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා මාර්ග සිතියමක් (Road map) ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග පසුගිය ජුනි 16 වැනිදා පවත්වන ලද සාකච්ඡාවේදී මේ පිළිබඳ අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මේ මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. අපට ලැබෙන ආරංචි අනුව දැනට මේ මාර්ග සිතියම සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පැවති එම හමුවේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව එම මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කරන ලදී. අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා එම මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ද සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබ්‍රි, අනුර ප්‍රියදර්ශන යාපා, රමේෂ් පතිරණ, මහින්ද අමරවීර සහ චරිත හේරත් ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී වී සිට ඇත. මෙය පක්ෂවලට බෙදී දේශපාලනය කළ හැකි අවස්ථාවක් නොවන බව අපි කවුරුත් දනිමු. මේ වෙලාවේ හදිසියේ මැතිවරණයක් පැවැත්වීම ද අසීරු කරුණකි. ඒ නිසා මේ ආර්ථික අර්බුදය යම් මට්ටමකට හෝ සමනය කර ගන්නා තෙක් සර්ව පාක්ෂික රජයක් පත් කර ගැනීම හොඳම විසඳුම වුවත් එය එලෙසම පත් කර ගැනීමට ද නොහැකි වී ඇත. කෙසේ හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන මේ රජය යටතේ හෝ දේශපාලන පක්ෂ හැකිතාක් උපරිම ලෙස පුළුල් දේශපාලන සම්මුතියකින් සාමුහිකව කටයුතු කිරීම අපි අගය කරමු. මේ නිසා සියලු දෙනාගේ අදහස් ඇතිව පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා මේ ඉදිරිපත් කිරීමට යන මාර්ග සිතියමෙන් හෝ පවතින උග්‍ර ආර්ථික අර්බුදය ජය ගැනීමේ විසඳුම් මගක් එළිදකිනු ඇතැයි ද කඩිනමින් ඒ අනුව ක්‍රියාත්මක වනු ඇතැයි ද අපි සිතමු. ඒ අනුව සාමාන්‍ය මහජනයා ඇතුළු බොහෝ පාර්ශ්වයන් තුළ අනාගතය පිළිබඳ දැනට ඇති බලවත් අවිනිශ්චිත තත්ත්වය කිසියම් දුරකට හෝ පහව යනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු.

● ඉන්ධන හිඟය තවත් උග්‍ර අතට

ඉන්ධන හිඟය මේ වන විට ඉතාම බරපතළ තත්ත්වයට පත්ව තිබේ. එසේම දැන් ෂෙඩ්වලට ඉන්ධන බෙදාහරින නව ක්‍රමවේදය ගැන ද සාමාන්‍ය මහජනයාගෙන් බොහෝ දෙනෙකුට එතරම් පැහැදිලිභාවයක් නැත. මේ නිසා හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය හමුවේ මහජනයා තවත් අපහසුවට පත්වන බව ද පෙනේ. එනම් සෑම ඉන්ධන පිරවුම් හලකම පාහේ දිගු වාහන පෝලිම් දක්නට ලැබේ. යම් හෙයකින් ෂෙඩ් එකකට තෙල් බව්සරයක් පැමිණියත් ඒ තෙල් ප්‍රමාණයට වැඩි වාහන ප්‍රමාණයක් පෝලිම්වල සැමවිටම පාහේ තිබෙන බැවින් බොහෝ විට පෝලිමේ සිටියදීම තෙල් අවසන් බව දැනගන්නට ලැබීමෙන් බොහෝ දෙනෙක්ට තෙල් නැතිව හිස් අතින් නැවත හැරී යෑමට සිදුවේ. මේ නිසා මහජනයා තවත් පීඩාවට සහ අසරණභාවයට පත් නොවන පරිදි තිබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය හෝ වැඩි දෙනෙක්ට සාධාරණ ලෙස බෙදා හරින ක්‍රමවේදයක් ඇති කළ යුතුව ඇති බව අපි බලශක්ති ඇමැති කංචන විජේසේකරට සිහිපත් කරමු. මේ අතර බොහෝ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිලඇඳුම සහ බලය භාවිත කර අත්‍යවශ්‍ය සේවා යැයි කියමින් පෝලිමෙන් බැහැරව ඉන්ධන ලබා ගැනීමේ සිද්ධි බොහෝ ස්ථානවලින් වාර්තා වී ඇත. මේවාට මහජන විරෝධය ද එල්ල වී ඇත. එසේම ඇතැම් ෂෙඩ්වලින් ඔවුන්ගේ හිතවත් අයට බුලී සහ කෑන්වලට හොරෙන් තෙල් සපයන අවස්ථා ද දක්නට ලැබේ. මේ නිසා පෝලිම්වල පැය ගණන්, දවස් ගණන් නොකා නොබී ඉන්ධන ටිකක් ලබා ගැනීමට එන ජනයාට බලවත් අසාධාරණයන් සිදු වෙමින් ද තිබේ. මේ නිසා තෙල් බව්සරයකින් වාහන 220 කට පමණක් තෙල් දිය හැකි බවත් ඊට වැඩියෙන් වාහන පෝලිම්වල ගාල් කරගෙන සිටීමෙන් වළකින ලෙසත් කියනවාට වඩා මේ තිබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය වැඩි පිරිසකට විධිමත්ව හා සාධාරණ ලෙස බෙදා හරින ක්‍රමවේදයක් අවශ්‍ය කර තිබේ. එහිදී දැනට ඉන්ධන ලබා දෙන මිල ප්‍රමාණ සීමාවන් තවත් තරමක් අඩුකර හෝ වැඩි පිරිසකට ඉන්ධන ලබා දීමට පියවර ගැනීම ඉතාම වැදගත්ය. මේ නිසා ඉන්ධන බෙදාහරින ක්‍රමවේදයේ තිබෙන අඩුපාඩු වහාම නිවැරදි කරන ලෙසත් අපි කංචන විජේසේකර ඇමැතිවරයාට කියමු. මේ තුළින් ඉන්ධන පිරවුම්හල් අසල යම් යම් නොසන්සුන්තා ඇති වීම් ද වළක්වා ගත හැකිය.

තෙල් සංස්ථාව සතුව දැනට ඇත්තේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් පනස්දහසක් නිසා දිනකට ඉන්ධන හල්වලට යවන පෙට්‍රල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 500 ට සීමා කිරීමට තෙල් සංස්ථා අලෙවි අංශය පියවර ගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඉන්දීය ණය යටතේ මෙරටට එන අවසන් ඩීසල් නැව ද ඉකුත් 16 වැනිදා කොළඹ වරායට පැමිණියේය. එය ගොඩබෑවත් එම ඩීසල් මෙටි්‍රක් ටොන් 40ල000 ප්‍රමාණවත් වන්නේ එක සතියකට පමණි. පෙට්‍රල් නැවක් මිලදී ගැනීමට තාමත් පියවර ගෙන නැත. මේ මොහොතේ එකම විකල්පය වී ඇත්තේ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ තිබෙන තෙල් අලෙවි ඒජන්තකරුවන්ගෙන් පෙට්‍රල් නැවක් මිලට ගැනීම පමණක් බව ද තෙල් සංස්ථා උසස් නිලධාරීන් මාධ්‍යයට පවසා තිබුණි. මේ අනුව අපට පැහැදිලි වන්නේ ඩොලර් හිඟය මෙන්ම නිසි සැලසුමක් නොමැතිකමින් ඉදිරි කාලයේදී ඉන්ධන අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇති බවයි. ඩොලර් නොමැති නිසා ඉන්දියාවෙන් ණය පහසුකමකින් හෝ වෙනත් ක්‍රමයකින් විදේශ විනිමය ඉක්මනින් ලබාගැනීමට හෝ රටට සිදුව ඇති බවත් තෙල් සංස්ථා උසස් නිලධාරීන් මාධ්‍යයට පවසා ඇත. මෙම තත්ත්වය හමුවේ මේ වනවිට මෙරට පිහිටි ඉන්ධන හල්වලින් තෙල් නිකුත් කරන්නේ ඉන්ධන හල් සීමිත ප්‍රමාණයකට ය.

● අගමැති කියන කතාව

මේ දිනවල ඇතැමුන් කියන්නේ අගමැතිවරයා ආර්ථික අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත්ව ඇති බවයි. මේ අනුව විටින් විට ඔහු මහජනයාට ආර්ථික අර්බුදය ගැන එසේම තෙල් සහ ගෑස් තත්ත්වය ගැන විශේෂ ප්‍රකාශ නිකුත් කරනු ලබයි. ඉදිරි සති තුන තෙල් සහ ගෑස් සම්බන්ධයෙන් අමාරුම කාලයක් බව මීට සතියකට පමණ පෙර අගමැතිවරයා රටට කීවේය. ඉන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් ජුනි 14 වැනිදා තවත් විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී විශේෂයෙන් තෙල් සහ ගෑස් සැපයුම පිළිබඳ ඉදිරි තත්ත්වය ඔහු විස්තර කළේය. අගමැතිවරයා එහිදී මෙසේ ද කීවේය.

මම ප්‍රකාශ කළ පරිදි මේ සති තුනේ තමයි ඉන්ධන ගැන අමාරුම කාලය ඇවිත් තියෙන්නේ. මේ දුෂ්කරතාව ගැන ගෑස් ලබා ගන්නත් ඉන්ධන ලබා ගන්නත් තියෙන පෝලිම්වලින් පේනවා…’

ඉන්ධන අපි අඛණ්ඩව ලබා දෙන්න තීරණය කරා. එහෙත් අඛණ්ඩව ලබා දිය හැක්කේ දැනට තිබෙන ඉල්ලීමෙන් සියයට 50 ක් ලබා දෙනවා නම් පමණයි. ඒකෙත් විදුලිබල ඉපයීමට, ප්‍රවාහනයට සහ තවත් අත්‍යවශ්‍ය සේවා ගණනාවකට ප්‍රමුඛත්වය දීල තියෙනවා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක අත්සන් කළ පසු අපට මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන තිබෙනවා. ඒත් මේ සියල්ලම අපි දෙන්නේ සියයට 50 ක පදනම අරගෙන තමයි…’

අප මුහුණ දී සිටින බරපතළ තෙල් ප්‍රශ්නය හමුවේ ඉන්ධන සැපයුව ද එය ලබාදෙන්නේ ඉල්ලුමෙන් සියයට 50 ක් නම් ඒ ඉන්ධන ප්‍රමාණය හෝ ලබාදෙන ක්‍රමවේදය නිශ්චිතව පැහැදිලි කළ යුතුවේ. දැනට ඇති ක්‍රමවේදයේ බොහෝ අඩුපාඩු ඇති බවත් එමගින් සාමාන්‍ය ජනයා බොහෝ පීඩාවට පත්වන බවත් අපි දැනටමත් පැහැදිලි කර ඇත.

● ඉන්ධන නොමැතිව අහිමි වන ජීවනෝපාය

ඉන්ධන නොමැතිව බොහෝ දෙනෙක්ගේ ජීවනෝපාය අහිමිව ඇත. මේ නිසා තෙල් බොන ලොකු වාහනවලට වැඩියෙන් ඉන්ධන දෙනවාට මෙන් පොඩි මිනිස්සුන්ට ඉන්ධන ලබාදීම පොදුජන පීඩනය අවම කිරීමට හේතුවන්නකි. අගමැති කියන පරිදි ඉන්ධන ලබාදෙන්නේ මෙසේ ඉල්ලුමෙන් අඩක් නම් ෂෙඩ් අසල දින ගණන් තිස්සේ පෝලිම් ගැසී සිටින සාමාන්‍ය ජනයාට ඉන්ධන ලබාගත හැක්කේ කෙසේ ද? ඔවුන් බොහෝ දෙනෙක් තම වාහනවලට ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටින්නේ නිකන් ගමන් බිමන් යෑමටම නොවේ. එනම් ඔවුන්ට තෙල් අවශ්‍ය වී ඇත්තේ ඔවුන් නිරත වී සිටින රැකියා සහ ආර්ථික කටයුතුවල ප්‍රවාහන අවශ්‍යතා සඳහා ය. බොහෝ දෙනෙක් රජයට බරක් නැතිව තම ජීවනෝපාය කරගෙන ජීවත් වුවත් මේ ඉන්ධන නොමැතිකම එයට බාධාවක් වී ඇත. යතුරු පැදිය සහ ත්‍රීරෝද රථය ඇතුළු පොඩි වාහනවලින් බොහෝ දෙනා වෙළෙඳාමක් කරගෙන ජීවත් වෙයි. ඒ නිසා ඒ අයට ඉන්ධන සැපයීමෙන් විශාල පිරිසකගේ ජීවනෝපාය ද සුරැකේ. එසේ නැතුව තෙල් අධිකව වැය වන විශාල සුඛෝපභෝගී වාහනවලට වැඩි තෙල් ප්‍රමාණයක් ලබා දීමෙන් රටට ඇති සෙතක් නැත. මේ ගැන කල්පනා කර තෙල් වැඩියෙන් වැයවන වාහනවලට ඉන්ධන සැපයුම පමණක් නොව එම වාහන ධාවනය කිරීම පවා මේ අමාරු අවස්ථාවේ සීමා කිරීමට පියවර ගත යුතු නොවේ ද? එහෙත් තවමත් එවැනි කිසිදු පියවරක් නැත. මැති ඇමැතිවරුන්ට බොහෝ විට තිබෙන්නේ මෙවැනි තෙල් අධිකව වැය වන සුපිරි වාහන බව අපි දනිමු. එසේම ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට වාහන දෙක තුන ඇති බව ද අපි දනිමු. එසේ නම් මේ අවස්ථාවේ ඔවුන් රටට දෙන ආදර්ශය කුමක් ද? මහජනයාට ලොකු උපදෙස් දෙන ඔවුන් යම් කාලයකට හෝ එම ලොකු වාහනවලින් ගමන් කිරීම තාවකාලිකව හෝ නවතා සැහැල්ලු වාහනවලින් ගමන් කිරීමට සූදානම් ද? එය රටේ තිබෙන සීමිත ඉන්ධන කාර්යක්ෂම ලෙස භාවිත කිරීමට උදව්වක් වනු ඇත.

මේ නිසා ඉන්ධන නොමැති වීම සහ විදුලිය කැපිල්ල විසින් රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට බලවත් අහිතකර බලපෑමක් ඇති වීම වැළැක්විය නොහැකිය. කාටවත් අතනොපා තම දුක් මහන්සියෙන් ජීවත් වූ බොහෝ දෙනෙක්ට තම ජීවන වෘත්තිය පවා කර ගැනීමට නොහැකිව ඔවුන් බලවත් අසරණභාවයට පත්ව ඇත. අනිත් අතට ඉන්ධන ප්‍රශ්නය නිසාම මේ වන විට බස් රථ ධාවනය ද බෙහෙවින් සීමිත වී ඇත. බොහෝ බස් රථ ෂෙඩ් අසල ඉන්ධන ලබාගැනීමට ගාල් කර ඇත. ධාවනය වන බස් රථවල ද අධික මගී තදබදයක් තිබේ. මේ නිසා පොදු ප්‍රවාහන සේවයෙන් ගමන් කිරීම ද මහජනයාට බොහෝ දුෂ්කර වී තිබේ. මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍ය වේ. එසේම මිනිසුන් ඉන්ධන පෝලිම්වල දින ගණන් සිටිමින් තව තවත් අසීමිතව පීඩාවට පත්වන තත්ත්වයට වහාම විසඳුමක් අවශ්‍ය වේ. මේ මහජන පීඩනය කොහෙන් පුපුරා යයි ද කියා කිසිවෙකුටවත් කිව නොහැකිය. රජය මෙසේ කටයුතු කරන අතරේ මහජනයා තම ගමන් බිමන් සීමා කරගන්නා අතරම නොයෙකුත් විකල්ප ප්‍රවාහන ක්‍රමවේදයන්ට යොමු වීම ද මේ මොහොතේ අවශ්‍ය වේ. මේ සඳහා පාපැදිය ද හොඳ විසඳුමකි. ඇතැම් අය වැඩි වශයෙන් පාපැදියෙන් ගමන් කිරීමට යොමුව තිබෙනු ද දැකගත හැකිය. ඒ සඳහා පහසුකම් ඇති කිරීම ද අවශ්‍ය වේ. එනම් නාගරිකව පාපැදි සඳහා වෙන් වූ වෙනම ලේන් ඇති කිරීම ද අවශ්‍ය වේ. නැතහොත් මහමග වාහන ධාවනය වන අනාරක්ෂිත තත්ත්වය හමුවේ පාපැදියෙන් ගමන් කිරීම ඒ අයට ඉතාම අනාරක්ෂිත ගමනක් ද වනු ඇත. මේ නිසා රජය මේ සියල්ලම ගැන සිතා රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය අඩපණ වීම අවම වන පරිදි සහ පොඩි මිනිස්සුන්ගේ ජීවනෝපාය අහිමි නොවන පරිදි අවශ්‍ය තීන්දු තීරණ ගෙන ක්‍රියා කිරීම රටේ ආර්ථිකය පසුපසට යන ප්‍රමාණය අඩු කර ගැනීමට සහ පීඩාවට පත් මහජනයාට ද විශාල සහනයක් වීමට හේතුවක් වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment