පිහියකින් බෙල්ල කපා බිරිඳ මරා දමා සැමියාත් ගසක එල්ලී දිවි නසාගෙන

1036

පූගොඩ පොලිස් වසමේ මණ්ඩාවල ‘හිලේරියම් ෆාම්‘ ග්‍රාමයේ පදිංචිව සිටි සිව් දරු පියෙකු විසින් 23 දින රාත්‍රී 11.45 ට පමණ තම බිරිඳ සමග බහින් බස් වීමෙන් අනතුරුව ඇය කාරමයකට දමා දොරඟු‍ලු‍ හිරකර අන්නාසි කපන පිහියක් උපයෝගී කර ගනිමින් ඇගේ ගෙල සිඳ මරා දමා ඒ ආසන්නයේම නිවෙසක් අසල කුරුඳු ගසක එල්ලී ඔහු ද සිය දිවි හානි කර ගෙන ඇත.

පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැනු දරුවන් දෙදෙනෙකු සිටින පවුලේ දෙමාපියන් නිතර අඬ-දබර ඇති කර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් කාන්තාව විසින් පූගොඩ පොලිසියට පැමිණිලි කර ඇත. ඒ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට තිබූ දිනට පෙර දින මෙම මරණය සිදු කිරීම හා සිය දිවි නසා ගැනීම සිදු කර ගෙන ඇත. ඇය ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි සුමිත්‍රා අබේවික්‍රම (46), සැමියා ධර්මකීර්ති විජේසිංහ (54) නමැති අය වෙති. තම සැමියා විසින් මෙම කාන්තාවට අනියම් සබඳතාවක් ඇති බවට සැක කරමින් මෙම ආරාවුල් ඇති කර ගෙන ඇත. පිරිමි දරුවන් දෙදෙනා විවාහක අය වන අතර දියණියන් දෙදෙනා උසස් පෙළ සහ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙකි.

පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් කමල් සම්බන්දප්පෙරුම මහතා එදින රාත්‍රියේ එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෘත දේහ දෙක පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රජයේ රෝහලට රැගෙන යන ලෙස නියෝග කර ඇත. හදිසි මරණ පරීක්ෂණය වෛද්‍ය පියසිරි මාගම්මන මහතා විසින් සිදු කර ඇත.

පූගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරේන්ද්‍ර සිල්වා, අපරාධ අංශයේ ස්ථානාධිපති දිසානායක, උප පො.ප.ජයසිංහ යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

කිරිඳිවැල සෝමපාල තැලිගම සහ පූගොඩ සරණපාල නුවරපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment