“සමෘද්ධිය අස්වැසුම” කෝකත් දේශපාලන ඇස් බැන්දුම්

619

හාල් පොතේ, හාල් කූපනයේ සිට මේ මොහොත දක්වාම ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම නමින් විවිධ “සහන” වෙනුවෙන් පෙළගැසී සිටින ජාතියක් බවට අපි පත්ව සිටිමු. බොහෝ විට මේවා ලැබෙන්නේ “අදාළ දුප්පතුන්ටම” ද යන්නද ගැටලුවකි. එපමණක් නොව එම දුප්පතුන් සහන හෝ ආධාර ලැබ ස්ව ශක්තියෙන් නැගිටුනු කතාවක් ද අප අසා නැත. සමෘද්ධිය සහ අස්වැසුම මුල්කරගෙන රටේ උද්ගතව ඇති තත්ත්වය නිරීක්‍ෂණය කරන විට පෙනී යන්නේ එය හුදු දේශපාලන වුවමනාවන් මත ක්‍රියාත්මක වන බවය.

කෙසේ හෝ මේ ගැන හිටපු සමෘද්ධී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වන ජිනසිරි දඩල්ලගේ කියන කතාව වැදගත් යැයි අපි විශ්වාස කරන්නෙමු. එකී අදහස් මතවාදයන් සංවාදයට විවෘතය. එමෙන්ම රජිත් කීර්ති තෙන්නකෝන් මතු කරන කාරණය ගැන පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුය. විශේෂයෙන් රටේ ජනතාව ඒ ගැන අවබෝධ කරගත යුතු යැයි සිතමු.

සමෘද්ධිය අස්වැසුමද, ඇස්වැසුමද?

යහපාලන ආණ්ඩුව යටතේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරනු ලැබූ ඇමැතිවරයකුට සමෘද්ධි වැඩසටහන භාරවූ පසු සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස මා පත්විය. ඇමැතිවරයා වූයේ පී. හැරිසන් වුවද සමෘද්ධියට උපදෙස් දෙන වෙනත් ඇමැතිවරයකුද තිරය පිටුපස විය. මා සමෘද්ධි අධ්‍යක්‍ෂ ලෙස පත්වන කාලයේදීද සමෘද්ධි ව්‍යාපාරය දුර්වල කිරීමට හා අඩපණ කිරීමට යහපාලන ආණ්ඩුව ක්‍රියාකරන බවත්, සමෘද්ධි බැංකු මහ බැංකුවට පවරාගනු ලබන බවටත් ප්‍රබල කට කතාවක් විය. ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරයේ බොහෝ වෘත්තීය සමිති මා දෙස බැලුවේ සමෘද්ධි ව්‍යාපාරය අඩපණ කිරීමට එන යහපාලන ආණ්ඩුවේ නියෝජිතයකු ලෙසය.

● මතවාදය

සමෘද්ධි මතවාදය මෙන්ම දිළිඳුකම පිටුදැකීමේ ප්‍රයත්නයන් සඳහා අදාළ ප්‍රතිලාභීන්, අයිතිකරුවන්, තීරකයන් මතවාදී ලෙස ක්‍රියාකළ යුතු බව මගේ මතවාදය විය. ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගිකව කටයුතු කිරීමෙනුත් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කළ මුල් යුගයේ එහි බොහෝ කටයුතු වලට සම්බන්ධවීමෙන් හා සුසිල් සිරිවර්ධන, ඩබ්ලිව්. ඒ. මිත්‍රරත්න වැනි මෙබදු වැඩසටහන්වලට බොහෝ ප්‍රායෝගික ප්‍රවේශයන් අත්කරදුන් නිලධාරීන්ගේ ඇසුර නිසාද මගේ මතවාදය වූයේ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් එම මතවාදය සමග පරිවර්තනය කළ හැකි වීමයි. එහෙත් ඇමැතිවරයා බොහෝදුරට වැඩි වැඩියෙන් සහනාධාර බෙදීමේ වුවමනාවට විරුද්ධවීම මත ඉන් ඉවත්වීමට සිදුවිය.

● පවතින තැනින් පටන් ගැනීම

සමෘද්ධි ව්‍යාපාරය එවකට වසර 20 කට වැඩි කාලයක් විවිධ විවේචනයන්ට භාජනය වෙමින් ඉදිරියට ගිය වැඩසටහනකි. කළමනාකරුවන් ලෙස මෙබදු වැඩසටහනක් දෙස බැලිය යුත්තේ එබදු මුල් බැසගිය වැඩසටහනක ශක්තිය, දුර්වලතා, අවස්ථාවන් හා අභියෝග පිළිබඳ දැක්මක් සහිතව වේ. කළමනාකරණ විද්‍යාවේදී මෙය (SWOT) අදාළ විෂය හා ව්‍යාපාරය පිළිබඳ විග්‍රාහාත්මකව ඉදිරියට යෑමේ හැකියාවක් ලබාදෙන මෙවලමකි.

ශක්තිය, දුර්වලතා, අවස්ථාවන් හා අභියෝග

"සමෘද්ධිය අස්වැසුම" කෝකත් දේශපාලන ඇස් බැන්දුම්

හඳුනාගැනීම කළ යුතු වන්නේ එදිනෙදා අදාළ කටයුතු වල යෙදෙන අතරතුරය. සැබැවින්ම සමෘද්ධි ව්‍යාපාරයේ විශාල ශක්තීන් ගණනාවක් ඇත. එහි පවතින ප්‍රජා මූල සංවිධාන ව්‍යුහය වැඩසටහන මගින් ගොඩනගා තිබූ මූල්‍යමය හා භෞතික සම්පත්, විශේෂයෙන්ම එහි දීර්ඝකාලීන අත්දැකීම් තිබූ විවිධ මට්ටමේ නිලධාරීන් මට ශක්තියක් විය. එය සැබැවින්ම ආශ්වාදජනක ශක්තීන් විය. නිසි මගට ගන්නේ නම් සමෘද්ධි ව්‍යාපාරය රජයේ අරමුදල් නැතිවම ඉදිරියට යා හැකි ව්‍යාපාරයකි. නිලධාරීන්ගේ දක්‍ෂතා, හැකියාවන්, නිර්මාණාත්මක අදහස්, ඔවුන්ගේ සහයෝගය, කැපවීම මා කිසිදු රාජ්‍ය ආයතනයක අත්දැක නැත. මෙහි දුර්වලතාද තිබේ. දේශපාලකයන්ගේ අවශ්‍යතා මත ව්‍යාපාරය ඉදිරියට යෑම හා ව්‍යාපාරයේ අරමුණු වලින් බැහැරට සමෘද්ධියේ සම්පත් දේශපාලන අරමුණු වෙත යෙදවීම මූලික දුර්වලතාවයන් අතර වේ. එයට අමතරව විවිධ මට්ටමේ දූෂිත භාවිතාවන්, නිලධාරිවාදී ප්‍රවේශයන් සමෘද්ධිලාභියා දේශපාලන කටයුතු සඳහා අවභාවිතා කිරීම් එහි පවතින මූලික දුර්වලතා වේ.

සමෘද්ධියේ බොහෝ අවස්ථාවන් ඇත. සමෘද්ධිලාභින් ආර්ථික වශයෙන් නගා සිටුවීමට හා සමාජයීය වශයෙන් සවිබල කරණය සඳහා අවස්ථා හා හැකියාවන් සමෘද්ධිය තුළම ඇත. දිවයිනේ දුප්පතුන්ගේ ණයගැති භාවය තුරන් කිරීමටත් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමටත්, ඒ තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, මූල්‍යමය, මානව සම්පත්, මෙන්ම කැපවීමක් කළ හැකි ශක්තීන් බොහෝමයක් සමෘද්ධියේ ඇත.

● අභියෝග

සමෘද්ධියේ ප්‍රධාන අභියෝගය වන්නේ ඒ සඳහා පත්වන ඇමැතිවරුන්ගේ දැක්මක් නොමැති ආකල්ප වේ. සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් සමාජ හා ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා දියුණු කිරීමට යම් යම් ඇමැතිවරු කටයුතු කර ඇතත් බොහෝ දෙනා සමෘද්ධිය භාවිතා කරනු ලැබුවේ තම ඡන්ද ප්‍රමාණය වැඩි කිරීමටත් ආර්ථික වාසි ලබාගැනීමටත් ආණ්ඩු පිහිටුවීම සඳහාත් වේ. ඒ සඳහා ඔවුන් සමෘද්ධි නිලධාරීන් අසීමිත ලෙස කඩේ යැවීම කරන ලදී. මෙම දේශපාලන සබඳතාවය සමෘද්ධි වැඩසටහන සඳහා පුළුල් ඉල්ලුමක් ඇතිකරනු ලැබීය. මා සමෘද්ධි අධ්‍යක්‍ෂ කාලයේ සමෘද්ධිලාභී පවුල් ප්‍රමාණය ලක්‍ෂ 12 ක් පමණ විය. එයින් ලක්‍ෂ 4 ක් පමණ ඉහළ ආයෝජන අවස්ථාවන් සඳහා ප්‍රමාණවත් ණය මුදලක් ලබාදී මධ්‍යම මට්ටමේ ව්‍යාපාරකයන් බවට පත්කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා රජයේ අරමුදල්ද අවශ්‍ය නොවේ.

හැරිසන් ඇමැතිවරයාට මේ පිළිබඳ අදහස තේරුම් කිරීමට බලවත් අපහසුතාවයක් විය. ඔහුගේ අභිප්‍රාය වූයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට සමෘද්ධියෙන් කුඩම්මාගේ සැලකිලි හිමිවූ බවත්, ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායකයන්ගේ නිර්දේශ මත තවත් ලක්‍ෂ 12 කට සමෘද්ධිය ලබාදිය යුතු බව ඔහුගේ දැක්ම විය. මේ සඳහා භාණ්ඩාගාරයේ මුදල් නැති බව ඇමැතිවරයාට දැන්වූ පසු ඔහුගේ ප්‍රකාශය වූයේ 2019 ජනාධිපති මැතිවරණය දිනීමට තවත් පවුල් ලක්‍ෂ 12 කට සමෘද්ධිය දිය යුතුම බවයි.

එබදු ඇමැතිවරුන්ගේ සිට පහළ මට්ටමේ සමෘද්ධි නිලධාරියා දක්වා විහිදුණු දූෂිත භාවිතයන්ද සමෘද්ධියේ පවතින අභියෝගයකි. එක්තරා ඇමැතිවරයෙක් සමෘද්ධිලාභීන් සිය ගණනක් ණයකරුවන් කොට ඇඟලුම් කර්මාන්තයක් දමා එය තම පවුලේ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. තවත් ඇමැතිවරයෙක් තමාගේ පෞද්ගලික ව්‍යාපාර සඳහා නිර්මාණ කර ඇති පරිගණක මෘදුකාංගයක් හා නිල ඇඳුම් සමෘද්ධියට විකිණීමට මාන බැලුවේය. සමෘද්ධි පුහුණු මධ්‍යස්ථානයක් සඳහා අක්කර 17 ක ඉඩම් මිලදී ගැනීමට ගොස් 17 පසුව 7 වී 17 ටම මුදල් ගෙවා ඇති දූෂිත ගනුදෙනු සමෘද්ධියේ ඇත. සමහර සමෘද්ධි නිලධාරීන් බැංකු ණය අයකර තම ප්‍රයෝජනයට යොදාගනී. සමෘද්ධිලාභියා ණය මුදලක් ගත් පසු එයින් සන්තෝෂමක් ලබාගැනීමට සමහර සමෘද්ධි නිලධාරීන් කටයුතු කරයි. දේශපාලනය, නිලධාරිවාදය, දූෂණය, අයථා ක්‍රියාකාරකම් අකාර්යක්‍ෂමතාවයන් සමෘද්ධියේ සැබෑ අභියෝග වේ.

● අස්වැසුමක් අවශ්‍යද?

සමෘද්ධියේ දුර්වලතාවලට වඩා ශක්තීන් වැඩිය. අභියෝගවලට වඩා අවස්ථාවන් වැඩිය. එය බොහෝ දේශපාලන, වෘත්තීය සමිති ශක්තීන් හා බලපෑම් කණ්ඩායම් සමග බැඳී පවතී. සේවකයන් අමනාප කරගන්නවාට වඩා ඔවුන්ගේද ප්‍රශ්න විසඳා ඔවුන්ගේ සහයෝගය වර්ධනය කර ගත යුතුය. වෘත්තීය සමිති එකමුතුව හා ඒකාබද්ධව සමෘද්ධියේ ගැටලු විසඳාගැනීමේ ප්‍රවේශයකට යා හැක. මෙම සියලු ශක්තීන් දුර්වලතා, අවස්ථාවන් හා අභියෝග යහපත් පරිදි වෙනස්කරමින් සමෘද්ධිය මගින් විශාල ආර්ථික හා සමාජ පරිවර්තනයක් ඇතිකළ හැක. සමෘද්ධියේ මානව සම්පත් නිසි මග පෙන්වීමක් මත බොහෝ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් සඳහා යොදාගත හැක. සමෘද්ධි මූල්‍ය සම්පත් හා 1000 කට අධිකව ඇති බැංකු පද්ධතිය අවතක්සේරු කළයුතු නැත. සුළු පිරිසක් දූෂණය හා දේශපාලනය කරනවා කියා සමෘද්ධිය ස්වාභාවික මරණයකට පත්කිරීමට කාලෝචිත ප්‍රවේශයක් නොවනු ඇත. කෙටියෙන් කියනවා නම් සමෘද්ධි අටුවකඩා අස්වැසුම පුටුව හැදීම අවශ්‍ය නැත. එය කළ නොහැක. මතුවී ඇති ප්‍රායෝගික අර්බුදයද එයයි.

● අස්වැසුමත් දේශපාලන මතයක්ද?

අස්වැසුම තවත් සූක්‍ෂම දේශපාලන මතවාදයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නම භාවිතා කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් සමෘද්ධි ව්‍යාපාරයටත් කොකා පෙන්වන සූක්‍ෂම දේශපාලන භාවිතයක් අස්වැසුම තුළ ඇත.

සමෘද්ධිලාභියා සමෘද්ධි ව්‍යාපාරයෙන් වෙන්කිරීම එක්තරා දේශපාලනයකි. සමෘද්ධි බැංකුවෙන් සමෘද්ධිලාභියාගේ ගිණුම රජයේ බැංකුවකට යොමුකිරීම තුළ පවතින්නේ සමෘද්ධිලාභියාගේ ආකල්ප දේශපාලනය සඳහා වෙනස් කර ගැනීමකි. සමෘද්ධිලාභීන් වර්ග 4 කට බෙදා ඉන් වැඩි පිරිසකට රුපියල් 15000 බැගින් ලබාදීම පුළුල් දේශපාලන අල්ලසකි. ඒ මගින් සහනාධාර මානසිකත්වය මත යැපෙන ලක්‍ෂ ගණනක පවුල් වෙනස් වූ පුළුල් දේශපාලන තීන්දුවකට යනු ඇතැයි මෙහි නිර්මාතෘවරු කල්පනා කරයි. සමෘද්ධි නිලධාරීන් එක්තරා දේශපාලන කඳවුරකට අයත් යැයි උපකල්පනය කර සමෘද්ධි නිලධාරියාගේ හා සමෘද්ධිලාභියාගේ පෙකණිවැල කැපීමද සැඟවුණු දේශපාලන අභිමතාර්ථයකි. ඒ අනුව සමෘද්ධිලාභියා දේශපාලන තීන්දු ගැනීමේදී වඩා නිදහස්වනු ඇතැයි උපකල්පනය කෙරේ. පස් ගුණයකින් පමණ වැඩිවූ සහනාධාර මුදලක්, නිලධාරි බැඳීම් නැති නිදහසක් මගින් වැඩි ආධාර ලබන සමෘද්ධිලාභියා ඉතා සරල දේශපාලන කුල්මත්භාවයකට පත්කිරීම අස්වැසුම අරමුණයි. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙන්ම ගොඩවූ ඉණිමඟටද පයින් ගසන ඇස්වැසුමකි.

සමෘද්ධිය වැනි පුළුල් ප්‍රජාව සමග කටයුතු කරන ව්‍යාපාරයක බහුල ලෙස තාක්‍ෂණ මෙවලම් හා මෘදුකාංග මත තීරණ ගැනීම් අසාර්ථක ප්‍රවේශයකි. දුප්පත් පවුල් ලක්‍ෂ 8 ක්, ඊළඟට ලක්‍ෂ 4 ක්, ඊළඟ කොටස තවත් ලක්‍ෂ 4 ක් ආදි ලෙස දුප්පතුන් තේරීම අසාර්ථක යොමුවකි.

ගමේ දුප්පත්වීමට හේතු හා නගරයේ දුප්පත්වීමට හේතු වෙනස්ය. දුප්පත්කමින් මිදීම සඳහා ඇති අවස්ථා අභියෝග හා හැකියාවන් ගමේ නගරයේ වෙනස්ය. දුප්පත්කම බොහෝදුරට භෞතික සම්පත්වලින්ද මැනිය හැකි දෙයක් නොවේ. පරම්පරාවෙන් උරුම වූ විශාල නිවසක ජීවත්වන වැන්දඹු කාන්තාවට අධික විදුලි බිලක් පැමිණිය හැක. එහෙත් ඇය සමාජයීය හා ආර්ථික වශයෙන් වෙනස්වූ අරගලයක යෙදෙනු ඇත. තොරතුරු මත තීරණ ගැනීම අවශ්‍ය වේ. එහෙත් ඒවා මානවවාදී විමසුමකට භාජනය විය යුතුය. ප්‍රදේශ අනුව වෙනස්විය යුතුය. දුප්පත්කමේ නිර්ණායක බොහෝදුරට ප්‍රදේශ අනුව වෙනස් වේ. ඒ සඳහා ප්‍රායෝගික මට්ටමින් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස/දිස්ත්‍රික් මට්ටමින් නිර්ණායක ගොඩනගන ප්‍රතිලාභීන් තේරිය යුතුය. විවෘතභාවයද ගමේ නගරයේ වෙනස්ය. ගමේ පවුලකට ව්‍යාපාරික යෙදවූ කරත්තයක් තිබීම සැඟවිය නොහැක. එහෙත් නගරයේ විශාල ව්‍යාපාර ආදායම් ලබන කෙනෙක් කුඩා ගෙයක පදිංචිව සිටිමින් ආදායම සැඟවිය හැක. ඔවුන්ගේ ආදායම බොහෝදුරට අන් අයගෙන් වසන්කර තැබිය හැක. මෘදුකාංග (Software) යනු තාක්‍ෂණ මෙවලමකි. අස්වැසුම ලෝක බැංකු උපදෙස් සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විකුණා තාක්‍ෂණ මෙවලමකින් සියල්ල කිරීමට යෑම අත්වැරදීමකි.

ඔන්ලයින් (Online) ක්‍රමද හැම තැනටම ගැළපෙන්නේ නැත. බොහෝ දුප්පත් මිනිසුන්ගේ ජංගම දුරකථන භාවිතය සරල මෙවලමකට සීමාවේ.

ඒවා Smart වර්ගයේ දුරකථන නොවේ. Online ඉල්ලුම්පත් Online අභියාචනා ආදී ක්‍රම මගින් දුප්පතුන්ගේ වැඩසටහනකට පූර්ණ ලෙස ඉදිරිපත් කළ නිලධාරීන්ගේ මොළය දෙවරක් පරීක්‍ෂා කිරීම අත්‍යවශ්‍යය වේ. කළ යුත්තේ එලෙස එකතු කරන ලද තොරතුරු කිසියම් ක්‍රමෝපායයන් මගින් සනාථකර ගැනීමයි. එයද ඉබාගාතේ යවමින් කවුරුන් හෝ යොදවා කර ගැනීමට හැකියයි සිතීම මුලාවකි. අස්වැසුම වැඩසටහනේ පරීක්‍ෂා කිරීමේ කණ්ඩායම් යෙදවීම බොහෝදුරට අත්දැකීම් අඩු ප්‍රවේශයකි. සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන පවතින රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණය යොදාගැනීම හා එය විවෘතභාවයකින් සිදුකිරීම මත අදාළ කාර්යය ඉතා යහපත් ලෙස අවසන් කිරීමේ හැකියාව පවතී. මෙම යතාර්ථයන් බොහෝදුරට අවබෝධ කර ගැනීමට දේශපාලනික ලෙස තනතුරු බදාගත් නිලධාරිවාදයට ප්‍රායෝගිකව අපහසු කරුණකි. වර්තමාන ගැටලු පැන නැගී ඇත්තේ එබදු කරුණු කාරණවාන් හා මතවාදී අත්දැකීමකින් තොරව දෙබරයට ගල් ගැසීමක් වැනි දෙයක් සිදුවී ඇති නිසාය.

විවෘත ප්‍රතිලාභීන් තෝරන ප්‍රවේශයක් ජනසවිය වැඩසටහනේ විය. ප්‍රාදේශීය/දිස්ත්‍රික් මට්ටමේ නිර්නායක වෙනස් විය. නිලධාරීන් නොවීය. දුප්පතුන්ගෙන් සමන්විත සහාය කණ්ඩායමක් නිලධාරීන් සමග සම්බන්ධ විය. සමෘද්ධිය නිලධාරි යාන්ත්‍රණයකට යටත් කරනු ලැබීය. මතවාදීව විග්‍රහ කිරීමේදී සමෘද්ධිලාභීන් කර්මය වූ අතර නිලධාරියා කර්තෘ විය. තීරණ ගැනීම නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විය. කෙසේ වුවද දීර්ඝකාලීනව කටයුතු කරන බොහෝ සමෘද්ධි නිලධාරීන් සමෘද්ධියේ පවතින ශක්තීන්, දුර්වලතා, අවස්ථාවන් හා අභියෝග පිළිබඳ වඩා හොඳින් දන්නා පිරිස වේ. ඔවුන් සඳහා යහපත් කළමනාකරණ නායකත්වයක් සපයන්නේ නම් ඔවුන් ඉතා සුභවාදී සහයෝගයක් ලබාදෙන හා ලබාගත හැකි පිරිසකි.

● කළ යුත්තේ කුමක්ද?

දුප්පතුන් සහනාධාර මානසිකත්වයක ගිල්වීම වෙනුවට දෙපයින් නැගී සිටිය හැකි ව්‍යවසායකයන් බවට පත්කිරීම සඳහා ප්‍රවේශයක් මූලිකව ගොඩනගා ගතයුතුය. සමෘද්ධි වැඩසටහනේ ආර්ථික සවිබලකරණය වශයෙන් දක්වා ඇත්තේ මෙම මතවාදයයි. කෙසේවුවද එය යතාර්ථයක් බවට පත් නොවූවේ සමෘද්ධිලාභියා සහනාධාර කණුවකද ගැට ගසා ඇති නිසාය. අස්වැසුම තුළ මෙය මහා පරිමාණයෙන් සිදුවී මිනිසුන් ගහමරා ගන්නා තැනට පත්වෙනු ඇත. රුපියල් 15000 සහනාධාරය ගැනීම මිනිසුන් හිතාමතාම තවත් දුප්පත් වෙනු ඇත. දුප්පත්වීමට තරගයක් අස්වැසුමෙන් නිර්මාණය වෙනු ඇත.

සමෘද්ධි වැඩසටහනේ නිලධාරීන්ගේ හැකියාවන් වුවමනාවන් මෙන්ම වෘත්තීය සමිතිවල සහයෝගයෙන් මා විසින් ආයෝජන හැකියා සමීක්‍ෂණයක් සමෘද්ධි අධ්‍යක්‍ෂවරයා ලෙස කරනු ලැබීය. එවකට සමෘද්ධි ව්‍යාපාරයේ උපරිම ලෙස ගතහැකි ණය මුදල බොහෝදුරට රුපියල් ලක්‍ෂ 5 ක් විය. ආයෝජන හැකියා සමීක්‍ෂණය මගින් රුපියල් ලක්‍ෂ 25 ක් පමණ දක්වා තම ආයෝජන යෝජනාවන් හා සැලසුම් සඳහා ණය ගැනීමට හා ණය ලබාදිය හැකි සමෘද්ධි පවුල් ගණන ලක්‍ෂ 4 1/2 ක් පමණ විය. තමාගේ ආයෝජන සැලසුම් ඉදිරිපත් කිරීමට සමෘද්ධි පවුල් පෙළඹවීම තුළ හා සමෘද්ධි නිලධාරීන්ගේ සහයෝගය ඒ සඳහා ලබාගැනීම මත සහනාධාර මතවාදයෙන් සමෘද්ධිලාභියා ඉවත් කර ගැනීම සඳහා මෙබදු වැඩසටහනක් අවශ්‍ය බව සමෘද්ධි නිලධාරීන්ගේ හා වෘත්තීය සමිතිවලද මතය විය. ඒ මගින් ග්‍රාමීය ආයෝජන දිරිගැන්වීමේ වැඩසටහනක් සඳහා මූල්‍යමය සම්පත් සමෘද්ධිය තුළ ඇත. ඒවා ස්ථිර තැන්පතු ලෙස රජයේ බැංකුවල ගොඩගසා ඇත. එම මුදල් සමෘද්ධිලාභීන්ගේ ඉදිරි ආර්ථික හැකියාවන් සඳහා යෙදවීම සහනාධාර මානසිකත්වයෙන් දුප්පතුන් ඉවත්කර ගැනීමට උදව් වේ.

සහනාධාර මානසිකත්වය ඇති කොට තවදුරටත් සමෘද්ධි සහනාධාර දීම පහසුවකි. ඒ සඳහා ජනතාවද කැමැතිය. ඒ මගින් ඡන්ද දිනීමද පහසුවකි. එහෙත් සැබෑ ලෙසම දුප්පතුන් සහනාධාර මානසිකත්වයෙන් ඉවත් කරගෙන ඔවුන්ගේ ආර්ථික හා සමාජ හැකියාවන් දියුණුකර ගැනීමේ ප්‍රවේශයකට අදාළ ව්‍යාපාරය පරිවර්ථනය කර ගැනීම දේශපාලනයට එහා ගිය ජාතික වටිනාකමක් සහිත ප්‍රවේශයක් වනු ඇත.

ආයෝජන හැකියාවන් හා තම සැලැස්මක් ඇති පවුලකට සැලකිය යුතු ආර්ථික ශක්තියක් අවම පොලියක් යටතේ ලබාගැනීම මගින් සමෘද්ධි සහනාධාරයෙන් ඉවත්විය හැකි බව එබදු සමෘද්ධිලාභියාගේද අභිප්‍රාය වේ. එහෙත් දේශපාලකයා මෙයට ඉඩ නොදේ. ඔහුට අවශ්‍යවන්නේ සහනාධාර ප්‍රමාණය වැඩිකිරීමේ පහසු මගකි. මෙම යෝජනාව සඳහා අමාත්‍ය හැරිසන්ගේ උපදෙස් වූයේ ණය දීලා සමෘද්ධිලාභීන් අඩුකර ගැනීම දේශපාලන අවාසියක් බවයි. තරමක සැලකිය යුතු අඩුපොලී ණයක් දීම තුළ ව්‍යාපාර දියුණු කරගත් සමෘද්ධිලාභියාගේ දේශපාලන ආශිර්වාදයක් ගොඩනැගිය හැකි බව කොපමණ කීවත් එය හැරිසන්ට තේරුම් ගැනීම බැරිවිය.

තම අසල්වැසියා ටිකක් ලොකු ණයක් අරගෙන දියුණුවෙනු දකින වෙනත් සමෘද්ධිලාභියාද සහනාධාර මානසිකත්වයෙන් මිදී ආයෝජන මානසිකත්වයට යොමුවීමට මෙම ප්‍රවේශය උපකාර වනු ඇත. එකල ඒ සඳහා ප්‍රධාන බාධකය වූයේ හැරිසන්ය. එකල සමෘද්ධි අමාත්‍යාංශයේ කටයුතු කළ ලේකම්වරියද හැරිසන්ගේ මතයේම සිට පක්‍ෂ සංවිධායකයන් ලවා තවත් ලක්‍ෂ 12 කට සමෘද්ධිය ලබාදීමේ වුවමනාව මතම එල්ලී සිටීම ජුගුප්සාජනක විය.

ප්‍රමාණවත් ආයෝජන හැකියාවන් ඇති අයට ආයෝජන ඉණිමඟ ලබාදීම දුප්පත්කම පිටුදැකීමේ සාර්ථක ප්‍රවේශය වන්නේය. ඉදිරිපත්වීම ස්වයං තීරණ මත සිදුවීමට සමෘද්ධි ව්‍යාපාරයේ පරිවර්ථනයක් සිදුවිය යුතුය. ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය සහයෝගය, සුළු ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහාවූ පුහුණුව අදාළ ව්‍යාපාර සඳහා හවුලේ ශ්‍රමය, කණ්ඩායම් සහයෝගය ආදිය දියුණු කිරීම සඳහා සමෘද්ධියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් හෝ මුදල් ආධාරද අවශ්‍ය නොවන්නේය.

සමෘද්ධියේ පරිවර්තනය එබඳු ප්‍රවේශයක් ආරම්භ කොට බොහෝ දුර්වලතා නිවැරදි කරගත හැකිවනු ඇත. සමෘද්ධි පවුල තම ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ සක්‍රීය හිමිකරුවන් හා තීරකයන් බවට පත්කළ හැකි අතර සමෘද්ධි ව්‍යාපාරයේ මානව සම්පත්, දැනුම, ආර්ථික සම්පත් මෙම ප්‍රවේශයට ඵලදායීව යොදාගත හැකිවනු ඇත.

● සහනාධාර අවශ්‍ය පවුල් හඳුනාගැනීම

සහනාධාර අවශ්‍යම පවුල් ලෙස හඳුනාගත යුත්තේ අබල දුබල, රෝගී හෝ වැඩිහිටි ප්‍රජා කෙටස් පමණි. වෙනත් බොහෝ පවුල් ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා ස්වයං පෙළඹවීමක් ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර යෙදිය යුතුය. දිගු කාලයක් තිස්සේ පුළුල් ප්‍රජාව සහනාධාර මානසිකත්වයක ගිල්වා ඇති බැවින් දුගීබවේ දුෂ්ට චිත්‍රයක් නිර්මාණය වී ඇති අතර රජයද එහි ගොදුරක් වී ඇත. අස්වැසුම වැනි වැඩසහටහන් සිය ගණනක් පැමිණියත් දුප්පත් කමේ අඩුවක් නොවන්නේ මෙම ප්‍රතිඵල රහිත සහනාධාර ප්‍රවේශයක් මගිනි. ස්වයං උත්සාහයෙන් නැගීසිටීම සඳහා දුප්පතුන් පෙළගැස්වීම අවශ්‍ය පරිවර්තනය වේ. මේ සඳහා අවශ්‍ය ක්‍රමෝපායයන් සමෘද්ධි වැඩසටහන මගින්ම හා එහි මූල්‍ය, මානව හා භෞතික සම්පත් උපයෝගී කරගෙන ඉටුකිරීමේ විශාල හැකියාවක්ද ඒ තුළ ඇත.

● සමෘද්ධිය ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට

සමෘද්ධි වැඩසටහනේ මෙබඳු විභවයන් හඳුනා ගන්නේ නම් ග්‍රාමීය ආර්ථිකය හා නිෂ්පාදනය නගා සිටුවීමට සමෘද්ධිය සුවිශාල ශක්තියක් වෙනු ඇත. ආණ්ඩු වලට නැත්තේ මෙම හැකියාවන් සහිත කළමනාකරුවන් එම ව්‍යාපාරය සඳහා යෙදවීමේ වුවමනාව නොමැති කමයි. හිටපු ජනාධිපති ප්‍රේමදාස ඒ සඳහා හැකියාවන් හා මතවාදයක් තිබූ සුසිල් සිරිවර්ධන මහතා යොදාගැනීම නිසා ජනසවිය සහනාධාර මොඩලයකට වඩා ග්‍රාමීය සංවර්ධන මොඩලයක ගති ලක්‍ෂණ සහිත විය.

ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීම තුළ ග්‍රාමීය ණය ගැතිභාවය, රැකියා වියුක්තිය ආදී සමාජ ආර්ථික ගැටලු සඳහා පුළුල් ප්‍රවේශයක් ගොඩනගා ගැනීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකාවේ තරුණ ජනගහනයෙන් ලක්‍ෂ 8 ක් පමණ දිළිඳු පවුල්වලට අයත්වේ. ඔවුන් බොහෝ දෙනෙකුට උසස් අධ්‍යාපනයක් හෝ වෘත්තීය හැකියාවන් හෝ මූල්‍යමය හැකියාවන් නොමැත. ජාතික ආධුනිකත්ව මණ්ඩලය සමග එක්ව සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා හැකියා සවිබල ගැන්වීමේ උපාය මාර්ගයක් සකස් කරනු ලැබුවේ සමෘද්ධි නිලධාරීන්මය. සහතික ලත් වෘත්තීය පුහුණුවක් සමග ස්වයං රැකියා හෝ සුළු ව්‍යාපාර සඳහා සේම විදේශ රැකියා සඳහා ග්‍රාමීය තරුණ තරුණියන් යොමුකිරීමේ හැකියාව එම වැඩසටහන සමග පැවැතිනි.

● සමාජ සවිබලකරණය

දුප්පතුන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීමේ වැඩසටහනට සමගාමීව සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම සඳහාද කිසියම් ප්‍රවේශයක් සමෘද්ධි වැඩසටහන තුළ පවතී. එහෙත් එය ප්‍රමාණවත් නොවේ. අස්වැසුම වැඩසටහන මගින් එම අවශ්‍යතාවය පුළුල්ව අමතක කොට ඇත. ආර්ථික සවිබලකරණය සඳහා දුප්පතුන් පෙළඹවීම සමග ඒ සඳහා ලබාදෙන මූල්‍යමය සහයෝගය හා දැනුවත්භාවය සමග සමාජ සවිබල ගැන්වීමක් සිදු නොකරන්නේ නම් එය ගඟට ඉනි කැපීමකි.

පවුලේ ශ්‍රමය ආර්ථික සවිබලකරණය සඳහා යොදාගැනීම පාරිභෝගික අවශ්‍යතාවයන් සඳහා ණයකරුවන් වීම අවම කිරීම, අධික මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, ග්‍රාමීය ආරවුල් අවම කිරීම ආදිය සඳහා මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කිරීමට ශක්තිය හා හැකියාව සමෘද්ධි ව්‍යාපාරය සතුව ඇත.

● රජයේ නඩත්තුව අවම කිරීම

කාලයත් සමග සමෘද්ධි ව්‍යාපාරයේ වැටුප් ගෙවීම් සඳහා රජයේ අරමුදල් යොදා ගැනීම අවම කළ හැක. සමෘද්ධි බැංකු බොහොමයක් ලාබ ලබන ඒවා වේ. ග්‍රාමීය ණය ගැතිභාවය අවම කිරීම සඳහා සමෘද්ධි නොවන අඩු ආදායම් පවුල් සඳහාද ආයෝජන හැකියා දිරිගැන්වීමට සමෘද්ධි බැංකුවලට ශක්තිය ඇත. සමෘද්ධිලාභීන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම සමග සමෘද්ධි ව්‍යාපාරය සඳහා රාජ්‍ය අරමුදල් යෙදවීම ක්‍රමානුකූලව අවම කිරීමේ හැකියාව පවතී.

● අස්වැසුම ඇස්වැසුමක්ද?

සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ පුළුල් අර්ථකතනයක් හෝ බුද්ධිමය සංවාදයකින් තොරව අස්වැසුම වැනි අලුත් යමක් ඉදිරිපත් කිරීම කාලෝචිත නොවේ. ශ්‍රී ලංකාව විශාල පරිහානියකට ඇද වැටී ඇත්තේ දේශපාලන වාසි ලබාගැනීම අරමුණුකරගත් විවිධ ව්‍යාපෘති හා දේශපාලන මතවාදයන් සංවර්ධනයේ නාමයෙන් ඉදිරිපත් කිරීම නිසාවෙනි. සමෘද්ධි ව්‍යාපාරයට ස්වාභාවික මරණයක් අත්කරදීමට හා අස්වැසුම මගින් වෙනත් දේශපාලන වාසියක් ලබාගැනීමට සැරසීම එක්තරා දුරට දේශපාලන අන්ධභවයක් මෙන්ම අඳබාලකමකි.

හිටපු සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්
ජිනසිරි දඩල්ලගේ

****

සමෘද්ධිය හෙවත් අත පය තියාගෙන නිකං කෑමේ දේශපාලනය අවසන් කළ යුතුය!

ලංකාවේ ලොකුම සල්ලි බෙදන ව්‍යාපෘතිය, ජනසවිය ලෙස ඇරඹී සමෘද්ධිය නමින් දේශපාලනීකරණය වූවේය. සැබෑ දිළින්දන්ට සහන මුදල වැඩි කර නුසුදුස්සන් ඉවත් කිරීමට ගනු ලබන සෑම උත්සාහයකට නැවත නැවත විරෝධය පළ විය. අසාර්ථක විය.

ජූනි මාසයේ සිට රු. 8,500 සහ රු. 15,000 ක දිළිඳු සහන දීමනාව ලබන පිරිස ලක්ෂ 12 කි. එය අද ලැබෙන මුදල මෙන් තුන් ගුණයකි. ඔවුහු දැන් පස්වනක් ප්‍රීතියට පත්ව ඇත.

සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉදිරිපිටම උද්ඝෝෂණ සිදු කරන්නේ මේ ලක්ෂ 12 ට අයත් නොවන මේ දක්වා සමෘද්ධි ලැබූ ලක්ෂ 8 කි. එයින්, තවත් ලක්ෂ 4 කට රු. 5000 බැගින් 2024 මාර්තු දක්වා ලැබේ. එය ඔවුන් අද ලබන මුදලට වැඩි ගණනකි. ඔවුහු ද උද්ඝෝෂණයට එක්වන්නේ සදාකාලිකව තමන්ට සහන දෙන ලෙස ඉල්ලමිනි.

මේ වසරේ අග දක්වා රු. 2,500 බැගින් ලැබීමට නියමිත පිරිස ලක්ෂ 4 කි.

අස්වැසුමේ සහන ලැබීම වසර 3 කින් අවසන් වන්නේය. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වැඩි කළ සහනය සදාකාලිකව ලබා ගැනීමයි.

මේ සියලු දෙනා සතුටු කරන්නට අවශ්‍ය නම් රජයට අයිස්ක්‍රීම් විකිණිය යුතු නැත. දැන් දෙන සමෘද්ධි දීමනාව වැඩි නොකර, ලක්ෂ 35 කට එම මුදල බෙදා දී, අවශ්‍ය නම් තමන්ගේ ඡන්ද ගොඩ ද වැඩි කර ගත හැකිය. ජනතාවට වක්‍ර බදු ගසා උපයා ගන්නා මුදලින් අත පය යහතින් ඇති පිරිසකට දීම ‘දිළිඳු සහන’ නොවේ. එය අල්ලසකි.

සහන ලැබෙන ආබාධිතයන්, රෝගීන්ගේ ලැයිස්තුව තව සතියක් ඇතුළත ප්‍රසිද්ධ කිරීමට නියමිත ය. ආසන්න වශයෙන් තවත් ලක්ෂ 3 ඉක්මවූ පිරිසකට එමගින් සහන ලැබෙනු ඇත.

ඉඳහිට උද්ඝෝෂණයේදී දකින්නට ලැබෙන, මෙයට පෙර සමෘද්ධි නොලැබුණු, මෙවර ද සහන ලැබී නැති පිරිසක් ද වෙති. රටේ අන්ත අසරණ, හිසට වහලක් නැති, රෝගී, වයෝවෘද මේ පිරිස සැබෑ ලෙසම සහන ලැබිය යුතු අයයි. මේ පිරිස ලක්ෂ 5 කට ආසන්නය.

අර්බුදය ඇරඹෙන්නේ හොරට සමෘද්ධි ගත් පිරිස කපා දැමීමත් සමඟය.

අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන බහුතරය (එනම් සමෘද්ධි ලාභීන්ගෙන් 51%) ක් ම වසර 15 කට වඩා සමෘද්ධි ලැබූ පිරිස ය. තමන්ට මේ දක්වා මාසික දීමනාව මෙන් තුන් ගුණයක් වෙනත් පිරිසකට ලැබී, තමන්ට නොලැබීමත් එයට හේතුවයි. (සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 35% ක්ම වසර 25කට වැඩි කාලයක සහන ලබා ඇත.) වසර 25 ක් සහන ලැබීමෙන් පසුවත් ඔවුන්ගේ දිළිඳුකම තුරන් වී නැති නම් පැහැදිලි ලෙසම සමෘද්ධිය වැඩසටහන අසාර්ථකය.

මේ දක්වා සමෘද්ධි රු. 3000 ක (සාමාන්‍ය අගය) ගෙවන්නට රටේ බදු මුදල් රු. 35,000 ක් වැය වන බවයි. සමෘද්ධිය යනු දීමනාව පමණක් නොවේ. තවත් ලොකු දේශපාලන පැකේජ් එකකි.

සමෘද්ධිය දේශපාලන වැඩසටහනකි. මාසික වැටුප් ලබන සේවකයන් 30,000 ක් තෝරා ගත්තේ දේශපාලන පදනමකිනි. ඔවුන් දිගටම එක් එක් පක්ෂයට දේශපාලනය කළ, රැස්වීම්වලට සෙනඟ රැගෙන ආ පිරිස බවට ඇති චෝදනාව බැහැර කළ නොහැකිය. ගමේ සමෘද්ධි ලාභීන් තෝරාගනු ලැබූවේ මේ නිලධාරි පිරිස විසිනි. එහිදී බොහෝ තැන්වල ප්‍රමුඛත්වය ලැබුණේ දේශපාලනයට බව බැහැර කළ නොහැකි සත්‍යයකි.

ජූලි මාසයේ දී ලක්ෂ 20කට සමෘද්ධි සහන ලැබේ. එයින් ලක්ෂ 4 කට රු. 15,000 ක් ද, ලක්ෂ 8 කට රු. 8,500 බැගින් ද, තවත් ලක්ෂ 4 කට රු. 5,000 බැගින් ද ලැබෙන්නේය. සරලවම, සහනාධාර මුදල දෙතුන් ගුණයකින් වැඩිවී ඇත. ඒ අනුව, සමෘද්ධි ලබන පිරිස අස්වැසුම නිසා ක්ෂණිකව අඩු වන්නේ නැත.

දුප්පත් නැතත් තනි පූජකවරුන්, විහාරස්ථාන, අනාථ නිවාස, වැඩිහිටි සහ දුප්පත් නොවන විශාල පිරිසකට සමෘද්ධි ගෙවීම් ද ප්‍රදානය කෙරිණි. ඔවුන් බහුතරය මේ උද්ඝෝෂණයන් ගේ නියමුවන් ය. සමෘද්ධි ලාභීන් බහුතරය ඕනෑම රැස්වීමකට, උද්ඝෝෂණයකට දක්කා ගෙන යෑමේ ඉතිහාසයක්, ව්‍යවහාරයක් ඉතිහාසය පුරාම තිබුණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලන වැඩේ මේ උද්ඝෝෂණ කප්පිත්තන්ගේ වැඩකි. ලංකාවේ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය නැතිනම් සමෘද්ධි බළකාය රට හොල්ලන උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කරමින් සිටී! සමෘද්ධි ලාභීන් දේශපාලන ව්‍යාපාරයන්ට හුළං ගැසීමට අති දක්ෂයන් ය.

සමෘද්ධි ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් මේ වන විට විරෝධතා 5,045 ක් සහ අභියාචනා 6383,232 ක් ලැබි ඇත. නියමිත කාලය අවසන් වන විට ලක්ෂ 10 කට වැඩි අභියාචනා ලැබෙනු ඇත!

අස්වැසුමේ මුදල් ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට යැවීම තුළින් මේ දේශපාලන බැදීම කඩා බිඳ වැටීම සිදුවන්නේ ය. දුප්පත්කම හා දේශපාලන වහල්භාවය අතර දම්වැල කඩා දැමීම යුගයේ අවශ්‍යතාවයකි.

● සහන වැඩි කිරීම

රජය අස්වැසුම මගින් සමෘද්ධි සහනය දෙතුන් ගුණයකින් වැඩි කර ඇත. රජයට අවශ්‍ය නම්, කිසිදු විරෝධයකට ලක් නොවී රු. 15,000 බැගින් ලක්ෂ 4 කට ලබාදීම වෙනුවට රු. 4500 බැගින් ඒ ලක්ෂ 13 කට බෙදිය හැකිය. රු. 8,500 යෝජිත ක්‍රමය වෙනුවට රු. 3,000 බැගින් තුන් ගුණයකට (ලක්ෂ 24 කට) සල්ලි බෙදිය හැකිය. මේ නොමිලේ සල්ලි බෙදන ප්‍රමාණය ලක්ෂ 36 ක් දක්වා යෝජිත පවත්නා අරමුදල් මගින් කළමනාකරණය කළ හැකිය. එවිට විරෝධය සමනය වේ. (සමහරවිට ඡන්ද ද වැඩි කර ගත හැකි වනු ඇත) නමුත්, කිසිදා දිළිඳු බව නම් නැති වන්නේ නැත. අන්ත අසරණයන් තවදුරටත් දේශපාලන වහළුන් වනු මිස ඔවුන්ට සහනයක් නොලැබෙන්නේය.

සමෘද්ධි ලබන අති බහුතරයක් අවු. 18 – 60 වයස් සීමාවේ එලදායී රැකියාවක නිතර විය හැකි පුද්ගලයෝ වෙති. රජය ලක්ෂ 35 කට නිකං සල්ලි බෙදා දේශපාලන වාසියක් ගැනීම වෙනුවට, ඉදිරි මැතිවරණයක තීරණාත්මක සාධකයක් බවට ‘සමෘද්ධි බළකාය’ පත් කර ගනිමින් නිකං සල්ලි බෙදිල්ල නැවැත්වීමට උත්සහ දරයි. දුප්පත්කම නඩත්තු කිරීම වළක්වන්නට උත්සහ දරයි. අස්වැසුම සැබෑ ප්‍රශ්නය, සහන හිමි විය යුතු නමුත් වත්මන් ලැයිස්තුවට ද ඇතුළත් නොවන විශාල පිරිස සම්බන්ධයෙනි. රට හමුවේ ඇති අභියෝගය මේ විදුලිය නැති, අතු පැලක, වැසිකිළියක් නැති, අධ්‍යාපනයක් ද, රෝග ආබාධ ද සහිත පිරිසට සෙත සැලසීම ය. තනි තනි පුද්ගලයන් සොයා අසාධාරණයක් සිදුව ඇති නම් ඔවුනට සහන දිය යුතුය.

එසේ නොවන්නේ නම්, සිදුවන මහා අනර්ථය දැන් වසර 10 ක් නැත්තම් 25 ක් සමෘද්ධිය ලැබූ නුසුදුස්සන්ගෙන් කොටසකටම දිගටම, අද ලැබෙන ගානට වඩා තුන් ගුණයක් ජූලි මාසයේ සිට ලැබීම ය. මේ සහන ලැබිය යුතුම පිරිසට එය අහිමිවීම ය.

බඩු සල්ලි බෙදන දේශපාලනය අවසන් කළ යුතුය! බඩු බෙදිල්ල, සල්ලි බෙදිල්ල ට දුප්පත්කම නැති කළ නොහැකිය. එය කාලයෙන් කාලයට දේශපාලනඥයින්ට ඡන්ද ගොඩවල් එක් කිරීමේ ව්‍යාපෘති පමණි.

රජිත් කීර්ති තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment