“ආසියානු 6 රෙඩ්” ශූරතාවලියට රිකාස් යවන්න කළ හැකි උපරිමය අපි කළා

236

ස්නූකර් හා බිලියඩ් සංගමයේ ලේකම් කුමාර ලැනරෝල්

මට අසාධාරණයක් වුණා ක්‍රීඩක එම්.එම්. රිකාස්

ඉරානයේ දී පසුගිය 22 වැනිදා සිට ආරම්භ වීමට නියමිතව තිබූ ආසියානු 6 රෙඩ් ස්නූකර් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් සහභාගී කරවීමට සංගමයක් ලෙස තමන්ට කළ හැකි උපරිමය ඉටු කළ බව ස්නූකර් සහ බිලියඩ් සංගමයේ ලේකම් කුමාර ලැනරෝල් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග සඳහන් කළේය.

ඔහු ඒ බව සඳහන් කළේ එම ශූරතාවලිය සඳහා සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටි එම්.එම්. රිකාස් නම් ක්‍රීඩකයාට එම අවස්ථාව අහිමි වීම පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

අදාළ ශූරතාවලිය සඳහා ක්‍රීඩකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වූ බවත් ක්‍රීඩකයන් හය දෙනකුගෙන් තරගාවලියට සහභාගී වෙනවාද යන්න සංගමයක් ලෙස විමසා සිටිය බවත් ලැනරෝල් මහතා සඳහන් කර සිටියේය.

එම ක්‍රීඩකයන් අතරින් ක්‍රීඩකයන් පස් දෙනකු විසින්ම තමන් තරගාවලියට සහභාගි නොවන බව දැනුම් දුන් බව ද ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැති වූ බැවින් ඔවුන් එසේ සඳහන් කර සිටිය බවත් ලැනරෝල් මහතා පැවසීය.

එහෙත් ඒ අතරින් එක් ක්‍රීඩකයෙක් තරගාවලියට තමා සහභාගි වන බව දැනුම් දුන් බවද බවද ඒ අනුව සංගමයක් ලෙස අදාළ ක්‍රීඩකයා එම තරගාවලිය සඳහා සහභාගි කරවීමට අවශ්‍ය සියලු කටයුතු නොවළහා ඉටු කිරීමට තමන් කැප වුණු බව ද ලැනරෝල් මහතා ප්‍රකාශ කළේය.

● වීසා අරන් දුන්නා

“අපි අදාළ ක්‍රීඩකයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරා. අවශ්‍ය නිර්දේශ ලබා ගත්තා. සංගමයේ තේරීම් කමිටුවට ක්‍රීඩකයාගේ පරිසාධන මට්ටම ඇතුළත් ලිපිය යොමු කර ගත්තා. අනතුරුව සංගමයේ තේරීම් කමිටුව විසින් ජාතික තේරීම් කමිටුව වෙත ඔහුව තරගාවලියට නිර්දේශ කර ලිපියක් යැව්වා. ඒ සඳහා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවෙන් අනුමැතිය ලැබුණා. ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ද මේ ක්‍රීඩකයාගේ සහභාගිත්වය අනුමත කර ලිපියක් ලබා ගත්තා. ඒ අනුව ආසියානු 6 රෙඩ් ශූරතාවලිය සඳහා අදාළ ක්‍රීඩකයාගේ සහභාගිත්වය පිළිබඳව දැනුම් දීමට ඔහුගේ නාමයෝජනා සහ ලිපි ලේඛන ආසියානු බිලියඩ් ක්‍රීඩා සංගමයට දැනුම් දුන්නා. ඊට පසුව ඉරානය විසින් ක්‍රීඩකයාට වීසා බලපත්‍රය ලබා දුන්නා.”

● නම සහ ඡායාරූපය සමරු පොතට

එහෙත් එම සියලු කටයුතු සම්පාදනය වී තිබියදීත් අදාළ ක්‍රීඩකයාට ආසියානු 6 රෙඩ් තරගාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව නොලැබුණි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ නියෝජනයක් මෙවර තරගාවලියේ දී සිදු නොවුණි.

තරගාවලිය සම්බන්ධයෙන් ආසියානු බිලියඩ් ක්‍රීඩා සංගමය මගින් නිකුත් කරන ලද සමරු පොතේ ද ශ්‍රී ලංකාවේ නියෝජනයක් දක්නට ලැබේ. එමතුද නොව ශ්‍රී ලංකා ධජය සමග අදාළ ක්‍රීඩකයාගේ ඡායාරූප සහ විස්තර ද එහි පළ වේ. සියල්ල එසේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර විසඳී තිබියදී ක්‍රීඩකයා මෙරට සිටිය දී තරගාවලිය පවත්වා අවසන් වුණි. ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද? එය ඇරඹෙන්නේ කොතැනින්ද?

ඒ පිළිබඳව අපි එම්.එම්. රිකාස් ක්‍රීඩකයාගෙන් විමසුවෙමු.

● මගේ නම “ඩ්‍රෝ” එකේ නැහැ

“මම තරගාවලියට යන්න ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. ටිකට් එකට අවශ්‍ය මුදල්වලින් රුපියල් ලක්ෂයක් සංගමය දෙන්නම් කියල කිව්වා. අන්තිමට මට ඒ මුදල් ලැබුණේ නැහැ. ඒ වගේම මගේ නම තරග කරන ලැයිස්තුවේ නැති බවත් මම පසුව දැන ගත්තා. මම මගේ අතින් සල්ලි වියදම් කරගෙන ගියා නම් මට ලොකු අපරාධයක් වෙන්නෙ. සල්ලිත් නැහැ. තරගත් නැහැ.”

2023 ආසියානු 6 රෙඩ් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයකු සහභාගී වන බව දැනුම් දීමෙන් පසු ඉරාන සම්මේලනයෙන් සහ ආසියානු බිලියඩ් ක්‍රීඩා

සංගමයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගත් බව ලැනරෝල් මහතා පවසයි. එසේ නොවුණේ නම් අදාළ ක්‍රීඩකයාගේ නම සහ ඡායාරූප ශූරතාවලියට අදාළ වාර්තාවට එන්නේ නැත. අනතුරුව ඉරාන සම්මේලනය ඉදිරි කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා සංගමයෙන් විමසා තිබුණි. ඊට අදාළ කටයුතු කර තිබුණේ සංගමයේ ලේකම්වරයා ලෙස බලය පැවරෙන කුමාර ලැනරෝල් මහතා ය.

● ගුවන් ටිකට් පත ඉදිරිපත් කළේ නැහැ

“ක්‍රීඩකයාගේ සහභාගිත්වය අපි ස්ථිර කළා. ඉන් පසු ඔවුන් ඉතිරි කටයුතු සම්පාදනය කිරීම සඳහා ක්‍රීඩකයාගේ ගුවන් ටිකට් එක ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ බව මම ක්‍රීඩකයාට කීප විටක් දැනුම් දුන්නා. ඒ වගේම ඉරාන සම්මේලනයෙන් මට යොමු කරන ඊමේල් පණිවිඩ සහ වට්ස්ඇප් පණිවිඩ සියල්ල මම එම ක්‍රීඩකයාට ද යොමු කරා. ඒත් ගුවන් ටිකට් පත ලබා දීම ඔහු දිනෙන් දින ප්‍රමාද කරද්දී මට සිදු වුණා අපේ ක්‍රීඩකයා එන්නේ නැති බව ඉරාන සම්මේලනයට දැනුම් දීමට. ඔවුන් මට කාලය ලබා දුන්නේ 19 වැනිදා වන තෙක් පමණයි. මේක ක්‍රීඩකයා ටිකට් එකට අවශ්‍ය මුදල් හොයා ගන්නම් කියලා කිව්වා. අපි ඊට අමතරව ඔහුගේ වියදම් සඳහා රුපියල් ලක්ෂයක් දෙන්න හිටියේ. ඒත් ඔහු ටිකට් එක ඉදිරිපත් කරේ නැහැ. 21 වැනිදා මේ ක්‍රීඩකයා තරගාවලියට සහභාගී වීම සඳහා එරටේ රැඳී සිටිය යුතු ව තිබුණා. අපේ ක්‍රීඩකයාගේ නම එරටදී කියවෙන විට ඔහු නොසිටියහොත් එය රටක් ලෙස අපට විශාල කැළලක්. මීට පෙර මැලේසියාවේ පැවති තරගාවලියක් අතරතුර අපි මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ තරගාවලියට අපෙන් ක්‍රීඩකයන් දෙදෙනකු නාමයෝජනා ඉදිරිපත් කර තිබුණා. කෙසේ හෝ අවසානයේ ඔවුන්ට ඒ සඳහා යන්න බැරි වුණා. නොදන්වා නොපැමිණීමේ හේතුව මත ආසියානු බිලියඩ් ක්‍රීඩා සංගමය සහ මැලේසියානු බිලියඩ් සම්මේලනය අප රට සහ සංගමය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන අසාදුගත ලේඛනයක් සඳහා නම් කිරීමට යෝජනා කළා. අපගේ බලවත් පෙරැත්ත මත එවර ඒ අවස්ථාවෙන් ගැලවෙන්න හැකි වුණා.

ඒ නිසා එන්නේ නැත්නම් මුලින්ම ඒ බව දැනුම් දෙන එක තමයි සුදුසුම දේ. ඒ අදාළ ක්‍රියා පිළිවෙළ අනුව අපි වැඩ කටයුතු කළා.”

එම්.ජේ.එම්. ලාෆීර් මීට වසර ගණනාවකට උඩදී ස්නූකර් සහ බිලියඩ් ලෝක ශූරතාවය ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ද වසර ගණනාවකට පෙරය. ස්නූකර් සහ බිලියඩ් ක්‍රීඩා සම්බන්ධයෙන් අපට ඇත්තේ එවැනි ශ්‍රේෂ්ඨ ඉතිහාසයකි. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ බිත්තියේ ඡායාරූපයකට පමණක් සීමා වී ඇතිදැයි හැඟෙන එම ජයග්‍රහණය මේ රටේ මිනිසුන්ට දැනෙන්නට ඉඩ සැලසිය යුතුය.

● බැංකු ගිණුමේ ශේෂය රුපියල් 4000 යි

තම සංගමය මගින් සාමාන්‍යයෙන් වසරකට ජාතික මට්ටමේ තරගාවලි 4 ක් සහ තවත් වෙනත් තරගාවලි කීපයක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති බව ද ඔහු අප හා පැවසුවේ ය. එම ජාතික මට්ටමේ තරගාවලි සඳහා ද අනුග්‍රාහකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවූ විට තමා සහ සභාපතිවරයා ඒ සඳහා පෞද්ගලිකව මුදල් යොදවන බවද ලැනරෝල් මහතා පවසයි. එමෙන්ම සංගමයේ සාමාජිකත්වය වාර්ෂිකව යාවත්කාලීන කිරීම සඳහා පමණක් ඩොලර් 1600 ක් ගෙවීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවට ප්‍රථම ලෝක කිරුළ දිනා දුන් සංගමයක් ලෙස අද අපේ සංගමයේ මූල්‍ය තත්ත්වය ගැන රටට ලෝකයට කියන්නත් ලැජ්ජයි. සංගමයේ බැංකු ගිණුමේ තියෙන්නෙ රුපියල් 4000 ටත් අඩු මුදලක්. මීට පෙර අපේ සංගමයේ පරිපාලන නිලධාරියාට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැටුපක් ලබා දුන්නා. දැන් ඒ මුදලත් ගෙවන්නේ සභාපති ශියාම් හුසේන් සහ මගේ පෞද්ගලික මුදලින්.”

ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා සම්බන්ධ කරවීමේදී පැනනැගී ඇති මූල්‍ය දුෂ්කරතා සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ දැඩි කනගාටුවක් බවද සම්පූර්ණ මුදලම නොව හැකි පමණින් ඒ සඳහා ක්‍රීඩකයන්ට මූල්‍ය උපකාර කිරීමට සංගමය මඟින් කටයුතු යොදා ඇති බවද ඔහු පැවසුවේය.

● ක්‍රීඩා අමාත්‍යාංශයේ කටේ තියෙන්නෙම සල්ලි නැහැ කතාව

මෙම ශූරතාවලියේ තරග වැදීම සඳහා ඉදිරිපත් වූ එම්.එම්. රිකාස් මෙරට ස්නූකර් සහ බිලියඩ් ජාතික ශූරයා වේ. ඔහු එම තත්ත්වයට එන්නේ විශාල කැපකිරීම් මධ්‍යයේය. දස්කම් අතින් ඔහුට අඩුවක් නොවේ. එහෙත් රටම පෙළෙන ආර්ථික අහේනිය ඔහුට ද ඔහු නියෝජනය කරන ක්‍රීඩාවට ද බලපා තිබේ. රිකාස් මෙම තරගාවලියට ගොස් පදක්කමක් රැගෙන ආවේ නම් ඒ ජයග්‍රහණයේ වටිනාකම රටටය. එවැනි දක්ෂකම් ඇති ක්‍රීඩකයන් නියමිත තරගාවලි සඳහා යෙදවීමට අමාත්‍යාංශය පැත්තෙන් කුමන හෝ දායකත්වයක් තිබිය යුතුමය.

“අපි ක්‍රීඩා අමාත්‍යාංශයේ දොර අරිනකොටම ඇහෙන්නේ සල්ලි නැහැ සල්ලි නැහැ කියන හඬ. ඒ නිසා මේ ක්‍රීඩාව නඟා සිටුවීමට අපිට විශාල ප්‍රයත්නයක් දරන්න සිදු වී තිබෙනවා. අදාළ ක්‍රීඩකයාගේ ප්‍රශ්නය පැන නගින්නේ ද මුදල් මූලික කරගෙන තමයි. සංගමයට හෝ රටට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයට ප්‍රමාණවත් තරම් මුදල් තිබුණ නම් මේ ක්‍රීඩා තරගාවලියට එක් අයෙකු නොව ක්‍රීඩකයන් තිදෙනෙක්ම සම්බන්ධ කරන්න තිබුණා. ලාෆීර් ලා වැනි ශ්‍රේෂ්ඨයන් බිහිවුණු රටක් ශ්‍රී ලංකාව කියන්නේ. ඉතින් මෙහෙම තරගාවලිවලට සම්බන්ධ වෙන්න නොහැකිව අපි කොහොමද ආපහු ලාෆීර් ලා බිහි කරන්නේ” යැයි ලැනරෝල් මහතා අවසාන වශයෙන් සඳහන් කර සිටියේය.

සාකච්ඡා කළේ
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment