පාන් ලොරියේ යකඩ දොර කඩා වැටී සයිකල් පදිමින් සිටි දරුවා මරුට

70

සයිකල් පදිමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවකු පාන් ලොරියක යකඩ දොරක් ගැලවී ශරීරය මත පතිතවීමෙන් ඊයේ (25 දා) මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව, හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ගුණරත්න ගගන කාවින්ද මෙන්ඩිස් නමැති 13 හැවිරිදි වාද්දුව මධ්‍ය විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

ඔහු සිය බාල සොහොයුරා සමග සයිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් කරමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ පපුවේ වැදී දරුවා විසිවී බිම ඇද වැටී දොර ශරීරය මත පතිතව ඇතැයි පොලිසිය කීය.

බරපතළ තුවාල ලබා සිටි දරුවා පානදුර මූලික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දහවල් මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

වාද්දුව, වේරගම ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කළ බව පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් සංජීව (69124), කොස්තාපල් වරුන් වන ගමගේ (35236) සහ සයුරංග (94059) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment