ජිනීවා තර්ජනය

919

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර මෙහෙයුම තීරණාත්මක අදියරකට, පැමිණ ඇත. ඇමෙරිකාවේ බළල් අතක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ නැවත කිසිදා එයින් මිදීමට නොහැකි ආකාරයට හිරවී ඇති ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක බව ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව 2020 පෙබරවාරි-මාර්තු මානව හිමිකම් සැසියේදී එවකට විදේශ අමාත්‍ය වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකාව ජිනීවා ක්‍රියාමාර්ගයෙන් ඉවත් වන බව එහිදී ප්‍රකාශයට පත් කළේ මහත් ආඩම්බරයෙනි. දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් යෝජනා කළ ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත් වීම ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ ජන්ද පොරොන්දුවක් විය. 2019 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයේදී මෙන්ම 2020 අගෝස්තු මහා මැතිවරණයේදී ද ජිනීවා මෙහෙයුම ව්‍යර්ථ කිරීම මහත් ආකර්ෂණීය ජන්ද පොරොන්දුවක් විය. එය කිසිදා ඉටු නොවෙන පොරොන්දුවක් බවට අද වන විට ඔප්පු වී ඇත.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකා දේශපාලන සහ හමුදා නායකත්වය විදේශ රටවල් කීපයකම විමර්ශනවලට භාජන වන බවත් ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය තුළ දැනට ක්‍රියාත්මක විශේෂ කණ්ඩායමක් එම ක්‍රියාවලියට පූර්ණ සහයෝගය දෙන බවටත් පසුගියදා ප්‍රකාශයට පත් විය. ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නවතම සැසිවාරයේදීය. එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව බලාපොරොත්තු වන ආකාරයට ශ්‍රී ලංකාව නිසියාකාරව කටයුතු නොකිරීම නිසා මෙම පියවර ගෙන ඇති බවද අවධාරණය විය. එම තත්ත්වය තුළ ශ්‍රී ලංකාව විදේශ රටවල් කීපයකම අධිකරණ ක්‍රියාවලියට ලක්වන බවද එහි ප්‍රතිඵලවලට මුහුණ දීමට අදාළ පුද්ගලයන්ට සිදුවන බවද ජිනීවා අධිකාරිය අනතුරු ඇඟවිය. මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාව ලෙස හඳුන්වන්නේ බටහිර බලවේගය බව අමුතුවෙන් කිවයුතු නැත.

ඉන්දියාව ස්ථාපිත කළ බටහිර පෝෂණය කළ ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ පසුව මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව නිකුත් කළ ප්‍රබලම ප්‍රකාශය මෙයයි. ශ්‍රී ලංකා දේශපාලන සහ හමුදා නායකත්වයට එරෙහිව විදේශීය අධිකරණ ක්‍රියාත්මක බව අවධාරණය වීම ඇමෙරිකා – චීන ගැටුමට මැදිවී ඇති ශ්‍රී ලංකාවට සුළුපටු තර්ජනයක් නොවේ.

නමුත් තවදුරටත් වේගයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික -දේශපාලන – සමාජීය අර්බුදය තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ‘අස්වැසුම’ සමාජ සුබසාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතිවී ඇති අතිශය අර්බුදකාරී තත්ත්වය, නීතිය සහ සාමයට නන්නාඳුනන තුවක්ක්කුකරුවන් එල්ල කරන තර්ජනය හමුවේ ජිනීවා අභියෝගය යටපත් විය.

පාර්ලිමේන්තුවේ තනි ආසනයක් (එයද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි) පමණක් හිමි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුට දේශපාලන අනුග්‍රහය සපයන පොහොට්ටු පක්ෂය අතර ඇති විරසකය රටේ පැත්තෙන් බැලූවිට සැලකිය යුතු ප්‍රශ්නයකි. නොනවතින අභ්‍යන්තර ගැටුම්වලට මැදිවී සිටින පක්ෂවලට ජිනීවා අභියෝගය අදාළ නැත.

● පාර්ලිමේන්තුව නිහඬයි

ජිනීවා ප්‍රකාශය ශ්‍රී ලංකාවට ඇතිකරන තෙරපුම මාධ්‍යයේ ද නිසි අවධානයට යොමු නොවීය. ඇත්ත වශයෙන්ම වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවට එම තත්ත්වය මහත් අස්වැසිල්ලක් විය. යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල වන චෝදනා පිළිබඳව කවදත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ පාර්ලිමේන්තුව තවදුරටත් ඒ ආකාරයටම ක්‍රියාකරන බවටද සැකයක් නැත.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මෙම අභියෝගයට මුහුණ දීමට නව ක්‍රියාමාර්ගයක් වහාම ගත් බවක් පෙනෙන්නේ නැත. නීතිඥ සංගමයද නිහඬය. රාජ්‍ය නොවන සංවිධාන ජාලයද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනේ. ඒ ආණ්ඩුව රටට එරෙහි ක්‍රියාවලිය බාධාවකින් තොරව ඉදිරියට යෑමට අවශ්‍ය වාතාවරණය ඇති කර තිබෙන නිසාය. සමස්තයක් ලෙස මාධ්‍යයට ජිනීවා හරහා ශ්‍රී ලංකාවට කරන බලපෑම සම්බන්ධයෙන් උනන්දුවක් නැත. කෙටියෙන් කිවහොත් ජිනීවා තොණ්ඩුව තවදුරටත් පාර්ලිමේන්තුව තුළ හෝ එයින් පිටත මාතෘකාවක් නොවේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ බලය රැකගැනීමට හෝ කෙසේ හෝ බලය ලබා ගැනීමට ක්‍රියා කිරීමේ තත්ත්වයක් තුළ ජිනීවා අභියෝගය වුවමනාවෙන්ම අමතක කර දැමීම ද පුදුමයක් නොවේ. වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එයමය.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේ නායකයන් දෙදෙනකු වූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ (2005-2014) සහ යුද හමුදාපති වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (2005-2009) වර්තමාන පාර්ලිමේන්තුවේ සිටියත් එම මන්ත්‍රීවරු දෙදෙනා ද ජිනීවා අභියෝගය සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පුදුමාකාරය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ එවකට යුද හමුදාපති ෆොන්සේකා දුන් නායකත්වය නොවන්නට ද්‍රවිඩ ත්‍රස්තවාදය කිසිදා පරාජය කිරීමට නොහැකි වනු ඇත. එම දේශපාලන – හමුදා නායකත්වය ඉතාමත් ගෞරවයෙන් සහ භක්තියෙන් මතක් කළ යුතුව ඇත. නමුත් බටහිර ප්‍රජාව ශ්‍රී ලංකාවට එරෙහිව ඉතාමත් අන්තරාදායක ආකාරයට පාවිච්චි කරන මානව හිමිකම් අවියට එරෙහිව පාර්ලිමේන්තුව තුළ යමක් කිරීමට එම මන්ත්‍රීවරු දෙදෙනාට හෝ ඔවුන් නියෝජනය කරන පිලිවෙලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටු පක්ෂය) හෝ සමගි ජන බලවේගයට අවශ්‍යතාවක් තිබෙන බවක් නොපෙනේ.

● ජිනීවා පාවාදීම

ජිනීවා තර්ජනය

එදා යහපාලන අග්‍රාමාත්‍යවරයා ලෙස 2015 ඔක්තෝබර් පළමුවන දින ජිනීවාහිදී අත්සන් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සම දායකත්වය දීමට නියෝගය දුන් රනිල් වික්‍රමසිංහ (2015-2019) අද ජනාධිපතිය. එලෙසෙම සන්නද්ධ හමුදා ප්‍රධානි සහ ආරක්ෂක අමාත්‍ය ධුරයද දරයි. එලෙසෙම මුදල් අමාත්‍ය ධුරයද දරයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කරයුතුවලට සම්බන්ධ වෙයි. ජනාධිපතිවරයාට ජිනීවා අභියෝගය සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටිය නොහැක.

යහපාලන ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය මෙන්ම සන්නද්ධ හමුදා ප්‍රධානි වූ මෛත්‍රිපාල සිරිසේනද (2015-2019) මන්ත්‍රීවරයෙකි. ඔහු පොහොට්ටුව නියෝජනය කරයි. ඔහුටද ජිනීවා අභියෝගය සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටිය නොහැක. ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ‘අස්වැසුම’ සමාජ සුබසාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතිවී ඇති අතිශය අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට ආණ්ඩුවට ඇති උනන්දුව අනිවාර්යෙන්ම ජිනීවා අභියෝගය සම්බන්ධයෙන්ද තිබිය යුතුමය. ඒ වගකීමෙන් පැන යෑමට ආණ්ඩුවට හැකියාවක් නැත. විපක්ෂයද ජිනීවා තර්ජනය පිළිබඳව නිසියාකාරව අවධානය කළ යුතුය. ද්‍රවිඩ ත්‍රස්තවාදය 2009 මැයි 19 වැනිදා සම්පූර්ණයෙන්ම පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කළ යුතුය. කවුරු ජනාධිපති ධුරය දරුවත් ශ්‍රී ලංකාව ජිනීවා පෙරමුණේදී රට වෙනුවෙන් කළ යුතු කාර්ය ඉටු කිරීමට අපොහොසත් වීම දේශපාලනිකද යන බව අවධානයට ලක්විය යුතුය.

● කැනඩාවෙන් දැඩි පීඩනයක්

ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාවලිය ජිනීවා මෙහෙයුමෙන් ඔබ්බට ගොස් ඇති බව තේරුම් ගෙන කටයුතු කිරීමටවත් ත්‍රස්තවාදී යුද්ධයට මුහුණ දුන් කිසිදු දේශපාලන පක්ෂයකට වුවමනාවක් නැත. රටට එරෙහි ජාත්‍යන්තර මෙහෙයුම තීව්‍ර වෙමින් පවතින මෙම අවස්ථාවේ රටේම උත්තරීතර ආයතනය වශයෙන් සැලකෙන පාර්ලිමේන්තුව පළාත් පාලන ආයතනයක් ලෙස ක්‍රියා කරන බව අමුතුවෙන් කිව යුතු නැත.

ත්‍රස්තවාදය පරාජය කළ පසුව බලයේ සිටි සියලුම පක්ෂ ජිනීවා තර්ජනය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් කවදත් ද්‍රවිඩ ත්‍රස්තවාදයට මහත් රුකුලක් වූ කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහිව ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කළ බවට යෝජනාවක් 2022 මැයි මාසයේදී සම්මත කර ගත්තේය. ඒ හේතුවෙන් ජිනීවා ගැටලුව බටහිර රටවල අභ්‍යන්තර දේශපාලන ක්‍රියාවලියේ කොටසක් බවට නිල වශයෙන්ම පත්වී ඇත. එය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඒ ඒ රටවල පුරවැසි භාවය ගත් ද්‍රවිඩ ප්‍රජාව වෙසෙන සැම දේශයකටම අදාළය. කැනඩාව ක්‍රියා කළේ ඒ රටේ ජන්දය පාවිච්චි කරන ද්‍රවිඩ ජනතාව සන්තර්පණය කිරීමට බව පැහැදිලිය. වර්තමාන කැනඩා ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවයේ දිග පළල තේරුම් ගැනීමට අපහසු නැත. ඒ දෙවරක් ජනාධිපති ධුරය දැරු මහින්ද රාජපක්ෂ සහ යුද සමයේ ආරක්ෂක ලේකම් සහ 2019 නොවැම්බරයේ ජනාධිපති ධුරයට 69 ලක්ෂයකගේ ජන්දයෙන් පත්වූ 2022 ජුලි මාසයේ ජනතා බලයෙන් ඉවත්කළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද 2023 ජනවාරි මාසයේදී යුද අපරාධ සහ ද්‍රවිඩ සමූල ඝාතනයට වග කිවයුතු බවට ප්‍රකාශ කිරීමේ අතිශය දේශපාලනික තීන්දුවට අවධානය යොමු කිරීමේදීය.

කැනඩා පාර්ලිමේන්තුව ගනු ලැබූ මෙම නින්දිත ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව නිසි ප්‍රතිචාරයක් දැක්විය යුතු නොවේද? නමුත් කිසිදු හිරිකිතයක් නොමැතිව පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ මෙහෙයුමේ නිර්මාතෘ වූ 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් වූ දකුණු කොරියානු ජාතික බැන් – කී – මුන් මහත් හරසරින් මේ වසරේ පෙබරවාරි මාසයේදී පිළිගත්තේය. ඒ කැනඩාව හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු යුද අපරාධකාරයන් ලෙස නම් කර සති කිහිපයකට පසුවය. කිසිදු දේශපාලන පක්ෂයක් මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත අදහසක් පළ කළේ නැත. වෙළෙඳ පොළේ බිත්තර හිඟය සම්බන්ධයෙන් පවා දේශපාලන වාසි ගැනීමට උත්සුක වන මහජන නියෝජිතයන් ඇමෙරිකාවේ අවශ්‍යතාව මත ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට කටයුතු කළ බැන්- කි – මුන් පාර්ලිමේන්තුවට පැමිණීම නොදැක්කා සේ සිටියේය. ඇත්තටම අවස්ථාවාදී කිසිදු දේශපාලන පක්ෂයක් රට වෙනුවෙන් පෙනී නොසිටින බව රහසක් නොවේ.

කැනඩාවේ දේශපාලන තීන්දුව ජිනීවා මෙහෙයුමට නව ශක්තියක් දී ඇත. කැනඩාව ගත් ක්‍රියාමාර්ගයට විරෝධය පළ කිරීම හැර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයට සහ අප ජනතාවට කළ යුතු කරුණු දැක්වීම කරන්නේම නැත. තම රටේ ආරක්ෂක හමුදා යුද අපරාධවලට වගකිව යුතු බවට ස්ව කැමැත්තෙන් ජාත්‍යන්තර යෝජනාවකට අත්සන් කළ වෙන රටක් නැත. එලෙසෙම රට වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි, එලෙස ඉදිරිපත් කළ යුතු කරුණු කාරණා කිසිවක් ජිනීවා නුවරට නිල වශයෙන් භාර දීම දිගින් දිගටම මග හරින රටක්ද ලෝකයේ නැත. මේ සියල්ල රටට එරෙහිව සිදුවීම එදා ත්‍රස්තවාදී ද්‍රවිඩ කොටි සංවිධානය ද්‍රවිඩ කතා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් ද්‍රවිඩ ජාතික සංවිධානය පාර්ලිමේන්තුව තුළ කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීම තුළ අවධාරණය කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේ අසාර්ථක භාවය නොවේද ?

● ප්‍රභාකරන්ගේ පාර්ලිමේන්තු හස්තය

ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදී ‘හමුදාව’ අතිශය ප්‍රබල තත්ත්වයක සිටින අවස්ථාවක ද්‍රවිඩ ජනතාව ත්‍රස්තවාදයට භාර කළ ආර්. සම්බන්ධන්ගේ පක්ෂයට කිසිදා ජිනීවා ප්‍රශ්නයක් නැත. ජිනීවා කවුන්සිලයට දොස් පවරා වැඩක් නැත. සම්බන්ධන් මන්ත්‍රීවරයාගෙන් (2015-2019 ඔහු විපක්ෂ නායකයා බව අමතක නොකරන්න) 2001 ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට වුවමනාවක් තිබුණේ නැත. සියලුම දේශපාලන නායකයන්ට වුවමනා වූයේ සම්බන්ධන්ගේ අනුග්‍රහයෙන් උතුරු සහ නැගෙනහිර ජන්ද දිනා ගැනීමය. කෙසේ හෝ ජනාධිපතිවරණය ජය ගැනීමය (මෙම චෝදනාව ගෝඨාභය රාජපක්ෂ ගේ ජනාධිපති ජන්ද ව්‍යාපාරයට පමණක් අදාළ නැත). දේශපාලන අවශ්‍යතාව ඕනෑම තත්ත්වයක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීමටය.

මෙම තත්ත්වය පහදා දීමට සුදුසුම උදාහරණය 2010 ජනාධිපතිවරණයයි. ද්‍රවිඩ ජාතිකයන් දස දහස් ගණනක් ජයග්‍රාහී යුද හමුදාව 2009 දී මරා දැමූ බවට එවකට ලුතිනන් ජෙනරාල් ෆොන්සේකාට චෝදනා කළ ද්‍රවිඩ ජාතික සන්ධානය 2010 ජනාධිපතිවරණයේ දී ෆොන්සේකාව උතුරු සහ නැගෙනහිර ඉහළින්ම දිනවූ බවයි. ජනාධිපතිවරණය ජන්ද මිලියන 1.8 කින් මහින්ද රාජපක්ෂට පරාජය වූ ෆොන්සේකා උතුරු නැගෙනහිර පළාත් දෙකම ඉහළින්ම ජයග්‍රහණය කළේය. ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා කොටි ත්‍රස්තවාදීන් බව ප්‍රකාශ කළ ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ 2010 ජනාධිපතිවරණයට කඳවුරු බැඳීම එජාපය සහ ජවිපෙ මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද කිසිදු හිරිකිතයක් නොමැතිව කළේය.

ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, බාල්රාජ් සහ පදුමන් සමඟ එක අරමුණකට කටයුතු කළ ආර්. සම්බන්ධන් 2015 දී විපක්ෂ නායකයා ලෙස පිළිගැනීම විමසා බැලිය යුතු වන්නේ එජාපය-ද්‍රවිඩ ජාතික සන්ධානය-ජවිපෙ-ශ්‍රීලමුකෝ එක හවුලක් ලෙස ෆොන්සේකාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමද සැලකිල්ලට භාජන කිරීමෙනි. දේශපාලන පක්ෂවල අවස්ථාවාදී සහ ලැජ්ජාසහගත හැසිරීම මෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම් විරහිත ක්‍රියාදාමය විමසීමට ලක්කළ විට, ජිනීවා අභියෝගය සම්බන්ධයෙන් කවුරු කවුරුත් ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් පුදුමයට පත්වීමට හේතුවක් ද නැත.

යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට නැතහොත් අභියෝගයට ලක් කිරීමට ඉදිරිපත් කළ හැකිව තිබූ කිසිදු කරුණක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ නොතැබීමට 2011 සිට සියලුම ආණ්ඩු වග බලා ගත්තේය. එම චෝදනාව මේ ආණ්ඩුවටද අදාළය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපහාසයට ලක් කරන ජිනීවා ක්‍රියාවලිය සහ කැනඩාව ගෙන ඇති සම්පූර්ණයෙන්ම දේශපාලනික තීන්දුව සාර්ථකව අභියෝගයට ලක් කළ හැකි කරුණු කාරණා හෙළිදරව් වී ඇත. නමුත් විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශ අනුගමනය කරන අදහා ගත නොහැකි නිග්‍රශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අන්ත අසරණ වී ඇත. මෙම තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ ජුනි 2011 සහ ඔක්තෝබර් 2017 පිළිවෙළින් හෙළිදරව් වූ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය රහස්‍ය වාර්තා අනුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා යුද අපරාධ නොකළ බවට කර ඇති ප්‍රකාශ අධ්‍යනය කිරීමෙනි. ඇමෙරිකානු ප්‍රකාශය කොළඹ පිහිටි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කළ අතර බ්‍රිතාන්‍ය හෙළිදරව්ව සාමි මණ්ඩලයේදී පක්ෂ විය. ඉදිරිපත් කළ හැකි කරුණු කාරණා ගොන්නක් තවත් ඇත. එම කරුණු අතර ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ කළ ත්‍රස්තවාදී මැදිහත් වීම (1980-1987) සහ ඊට පසුව කළ හමුදාව යෙදවීම (1987-1990) සඳහන් විය යුතුමය. ප්‍රශ්නයේ ආරම්භය අමතක කර නිසි කරුණු කාරණා දැක්වීමක් රට තුළ හෝ ජාත්‍යන්තරය ඉදිරියේ කළ නොහැකි බව හොරට නිදා සිටින දේශපාලන පක්ෂවලට නොපෙනෙන්නේද ?

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment