හර්තාලයේ දෙවැන්න අඛණ්ඩ අරගලයක්

552

‘ජනපීඩක ආණ්ඩුව හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහා ඉවත්වෙනු’ යන තේමාව යටතේ රටපුරා ගෙන යන උද්ඝෝෂණ හා හර්තාල්වලට බලධාරීන් ඇහුම්කන් නොදී තවදුරටත් කල් මරනවා නම් එළඹෙන බදාදා (11දා) සිට වෘත්තීන් රැසක සහභාගීත්වයෙන් අඛණ්ඩ වැඩ වර්ජනයක් රටපුරා ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

අඛණ්ඩ වැඩ වර්ජනය සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, බැංකු, පෞද්ගලික, වතු, ගුරු – විදුහල්පති ඇතුළු වෘත්තීය සමිති 2000කගේ පමණ සාමාජිකයින් එක්වන බවද කුමුදේශ් මහතා පැවසීය.

රජයේ අකාර්යක්‍ෂම වැඩපිළිවෙළ නිසා ජනතාව අසීමිත ලෙස පීඩාවට පත්ව සිටින බවත් මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉවත්ව යනතෙක් වෘත්තීය සමිති බහුජන සංවිධාන ආරම්භ කර ඇති විරෝධතාවය නතර නොකරන බවත් ඔහු කීවේය.

මෙම අඛණ්ඩ වැඩ වර්ජන සඳහා 06 වැනිදා රට පුරා වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනයට සහ හර්තාල් ව්‍යාපාරයට එක්වූ වෘත්තීය සමිතිවල සහය ලැබෙන බවත් ඔහු කීවේය.

පෙරේදා (06දා) පැවැත් වූ වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය ඉතා සාර්ථක වූ බවද කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බලකරමින් පෙරේදා (06 දා) ක්‍රියාත්මක කළ හර්තාල් ව්‍යාපාරය සහ වැඩ වර්ජනය හේතුවෙන් මුළු රටේම ක්ෂේත්‍ර රැසක කටයුතු ඇනහිටියේය.

හර්තාලයේ දෙවැන්න අඛණ්ඩ අරගලයක්

1953 ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත හර්තාලයට වසර 69කට පසු මෙරට ක්‍රියාත්මක වුණු දැවැන්තම හර්තාල් ව්‍යාපාරය සහ වැඩ වර්ජනය ලෙස පෙරේදා (06 දා) ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය සහ වැඩ වර්ජනය හැඳින්විය හැකිය. වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය සඳහා විශාල ජන සහභාගිත්වයක් පැවතීම ද දක්නට ලැබිණි.

වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සම්බන්ධීකරණය කරමින් ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය සහ එක්දින වැඩ වර්ජනය සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු, ගුරු – විදුහල්පති, ඇඟලුම් ක්ෂේත්‍රය, බැංකු සේවා සංගමය, ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක සාමාජිකයන් සහභාගි වී සිටි බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.

හර්තාල් සහ වැඩ වර්ජනය හේතුවෙන් බැංකු සේවාවන් අඩාළ වීම, ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීම, නගර ඇතුළු විවිධ ප්‍රදේශවල කඩ සාප්පු වසා තැබීම, ආයෝජන කලාප සේවකයින් වැඩ වර්ජනයේ නිරතව විරෝධතා දැක්වීම, ඇතැම් ප්‍රදේශවල කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වැඩ වර්ජනයේ නිරත වීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකම පිරිස් වැඩ වර්ජනයට සහාය දීම නිසා වැඩ වර්ජනය ඉතා සාර්ථක බව ද කුමුදේශ් මහතා කීය.

මෙම වර්ජනයට ගුරු විදුහල්පති සේවාවල පිරිස් ද සහාය දැක්වීම නිසා පාසල්වලට දරුවන් නොපැමිණීම නිසා පාසල් වෑන් රථ සේවාවන් අඩාළ වුණි. පාසල් අධ්‍යයන කටයුතු සියල්ල අඩාළ වී තිබිණි.

හර්තාලයේ දෙවැන්න අඛණ්ඩ අරගලයක්

වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවත් ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 4500කට වැඩි ප්‍රමාණයක් සහ දුම්රිය ගමන් වාර 50ක් පමණ ධාවනය වූ බවට වාර්තා වී තිබිණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතා කියා සිටියේ වරාය අධිකාරියේ කටයුතු ද බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකි වූ බවය.

කොළඹ දිස්ත්‍රික්කයේ පැවති ප්‍රධාන හර්තාලය වෘත්තීය සමිති නායකයන්ගේ, සිවිල් සංවිධාන, වෙළඳ සංවිධානවල සහභාගිත්වයෙන් බොරැල්ල මංසන්ධියේදී පැවැත්විණි. එහිදී නගර මධ්‍යයේ ‘මළ බතක්’ උයමින් වත්මන් පාලනයට එරෙහිව කටයුතු කළ විරෝධතාකරුවෝ එම බත කපුටන් සහ සුනඛයින්ට ලබාදුන්හ.

අරගලයට සහාය දක්වමින් සිද්ධස්ථානවල ඝන්ඨාර නාද විය. අධිකරණ ශාලාවලින් ඉවතට පැමිණි නීතිඥවරු රෝහල්වලින් ඉවතට පැමිණි වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල ද විරෝධතාවට එක්ව සිටිනු දක්නට ලැබුණි.

චමින්ද සිල්වා – ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment